3 වන කොටස

ළමා පැවිද්ද අරඹයා මූලික අයිතිවාසිකම් සම්බන්ධව විවිරණය කෙරෙන ලිපි මාලාවේ තුන් වැන්නයි මේ ඔබ අසන්නේ කියවන්නේ.
යම් මානව අයිතිවාසිකමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ විට එය මූලික අයිතිවාසිකමක් ලෙස සැලකෙනවා.
1972 පළමු වරට මූලික අයිතිවාසිකම් නමින් ඇතුළත් කරන ලද්දේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට.
නමුත් එහි මූලික අයිතිවාසිකම් කඩ වූ විට නෛතිකව බලාත්මක කර ගැනීමේ ක්‍රමවේදයක් එදා තිබුණේ නැහැ.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ හදිසි තත්ත්වයක් යටතේ වුවද මෙකී අයිතිවාසිකම් යටපත් කිරීමට ඉඩක් තිබුණේ නැහැ.
ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයන් ඇතුළත් කර තිබෙනවා.
අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයක් එය.
මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් හා සමාන වූවත් ඒ දෙක අතර යම් වෙනස්කම් ද තියෙනවා.
ඒ නෛතික දණ්ඩනය මත සහ අධිකරණයකදී නීතිය බළාත්මක කරවාගැනීම සම්බන්ධයෙන්.
මානව අයිතිවාසිකම්වලට එවැනි නෛතික හැකියාවක් නොමැති මෙන්ම අධිකරණය ඉදිරියේ නීති බලාත්මක කරගැනීමට ඇති ඉඩකඩ සීමිත වෙනවා.
ඊට යම් සාධකයක් තියෙනවා.
ජාත්‍යන්තරව ආයාචනය කිරීමේදී මේ දෙඅංශය අතර ඇති වෙනස මෙහෙමයි.
මූලික අයිතිවාසිකම් රටකට විශේෂිත වන අතර රටේ ඉතිහාසය හා රටේ සංස්කෘතිය මත එය සකස් වෙනවා.
මානව අයිතිවාසිකම් බොහෝ විට ඒ සමාන තත්ත්වයක පවතින නමුත් එය විශ්වීය බව පිළිගත යුතුයි.
මෙතැන තමයි දැනට උද්ගත වී ඇති ගැටලු‍ව පැන නැගෙන්නේ.
මේ සංස්කෘතිය ඉලක්ක කරගෙන ළමා පැවිද්ද එක් අවස්ථාවකට පාදඩ දේශපාලනය දහසක් දෙදසක් වශයෙන් බිහි කළ යුතුයි කියල කියන අය ඉන්නවා.
තවත් මොහොතක මෙය අදාළ නීති පනවන්න ඕන කියන පිරිස්ද පාදඩ දේශපාලනය තුළ ඉන්නවා.
2001 වසරේදී මේ රටේ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක දරුවන් දෙදෙහසක් පැවිදි කිරීමට කළ උත්සාහය ඒ පාදඩ දේශපාලනයේ තවත් සාධකයක්.
ඒ රත්නසිරි වික්‍රමනායගේ පුත්‍රයා මේ වන විට ලංකාවේ සංස්කෘතික හා බෞද්ධ ආගමික අමාත්‍යවරයා වශයෙන් පත් වී ඉන්නවා.
ඔහු මේ වන විට කියා සිටින්නේ සිය පියාගේ 2001 වසරේදී කියපු 2000ක් සාමනේර භික්ෂූන් බිහිකර ගත යුතුයි කියන අදහසට පරස්පර අදහසක්.
ළමා පැවිද්ද නිසා ළමුන්ගේ අයිතිවාසිකම් නැති වන බව විටින් විට ප්‍රකාශ කරමින් ඉන්නවා.
නමුත් නෛතික විධිමත් ක්‍රියාදාමයක් සිදු වන්නේ නැහැ.
මෙය ලංකාවේ සම්ප්‍රදායන් සංස්කෘතික ලක්ෂණ ආගමික මුහුණුවරක් සමඟ යැපෙන පාදඩ දේශපාලන සංස්කෘතියේ පෝෂිත අවස්ථා මතු කිරීම සඳහා ගන්නා වෑයමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
පෞද්ගලික සබඳතාවලදී රජයන් සමඟ වන මූලික අයිතිවාසිකම් තුළ වැදගත්කමක් හඳුනාගන්න පුළුවන්.
සෑම පුරවැසියකුටම ජීවිතය පිළිබඳ නිදහස සතුට ආදී අයිතීන් සහතික කර තිබෙනවා.
එය හුදෙක්ම නාමික වශයෙන් ද යන්න තහවුරු වෙන්නේ ළමා පැවිද්ද අරඹයා විමසීමේදී.
රජයට එරෙහිව ක්‍රියාත්මක මූලික අයිතිවාසිකම් නඩුවලදී රජයේ අත්තනෝමතික බලය හා කාර්යයන් යම් දුරකට සීමා කර තිබෙනවා.
මූලික අයිතිවාසකම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විශේෂ ස්ථානයක් ලබාදී තිබීම පිළිබඳව විශ්වීය හඳුනා ගැනීමට අපට පුළුවන්.
ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෘද සාක්ෂිය ලෙස පාලකයින් සැලකිය යුතුයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආත්මය ලෙසත් පවතින ආණ්ඩුව හා ජනතාව පිළිගන්නේ නම් ළමා පැවිද්ද අරඹයා යුක්තිය ඉටු විය යුතු නොවේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලාංකීය ජනතාවගේ අභිමානය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා නිදහස සමානාත්මතාවය, සාධාරණත්වය, මූලික අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබෙනවා.
නමුත් එය හුදෙක්ම නාමික වශයෙන් ද යන්න ගැටලු‍ සහගත තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාවට අනුව සිතීමේ නිදහස, සිතීමේ අයිතිය, හෘද සාක්ෂියේ නිදහස, ආගමේ අයිතිය පාදඩ දේශපාලනයේ පැවැත්ම සඳහා යහමින් ක්‍රියාත්මක වන සමාජ පරිසරයක් අපට උරුම වී තිබෙනවා.
ළමා පැවිද්ද අරඹයා පෙර ලිපිවලින් ඔබට ළමා අයිතිවාසිකම් අරඹයා ශ්‍රී ලංකාවේ ඇති නෛතික තත්ත්වය යම් දුරකට පැහැදිලි කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා සාමානේර භික්ෂූන් 2000ක් පැවිදි කිරීමට 2001 වර්ෂයේදී ඇයදීම තුළ ඒ කාලයේ ජනමාධ්‍ය ඒ පිළිබඳව පුළුල්ව අවශ්‍ය ප්‍රචාරය ලබාදී තිබුණා.
ඒ කියන්නේ බුද්ධ ශාසනයේ දරුවන් පැවිදි කිරීමේ ප්‍රයත්නයට ජනප්‍රිය දේශපාලන සංස්කෘතියේ කැමැත්තට ලංකාවේ ජනමාධ්‍යයත් එදා පුළුල් සහයෝගයක් ලබාදීම.
නමුත් ළමා පැවිද්ද තුළින් ළමුන්ගේ හිමිකම් අහිමි වීම පිළිබඳව මනාව සාකච්ඡාවට බඳුන් කළේත් නැහැ.
අද බඳුන් කරන්නෙත් නැහැ.
ගැටලු‍ව ඇත්තේ එතනයි.
භික්ෂූන් සඳහා විනය නීති සහිත අධිකාරි මූලාශ්‍ර මත ථේරවාද විනය හරය සහ එහි සඳහන් වගන්ති උල්ලංඝනය වන තත්ත්වයක් මේ ළමා පැවිද්ද තුළ දක්නට ලැබෙනවා.
නමුත් ඒ පිළිබඳව මනාව ඓතිහාසික හෝ වර්තමාන පුළුල් සංවාදයකට සමාජය යොමුවෙන්න උනන්දුවක් නැහැ.
බොහෝ විට ළමයින් ඇතැම විට ඔවුන්ගේ කැමැත්ත නැතිව ශාසනයට ඇතුළු කරන අවස්ථා තියෙනවා.
එය මනාව පෙන්වන්නේ එම ළමා පැවිද්දට යොමු වූ දරුවන්ගේ මුහුණවලින් හැසිරීම තුළ දක්නට ලැබෙන අවස්ථා නිසා.
නමුත් ළමා භික්ෂූන් ඉලක්ක කරගෙන ටෙලිනාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් ඒ සඳහා සමාජයට අයුතු බලපෑමක් සිදු කරන්නේ තවත් වෙනස් ආකාරයකට.
එනම් ඒ තුළ ළමුන්ගේ දඟකාරකම් ඒ ටෙලිනාට්‍ය තුළින් නිරූපනය වීම මත.
ඒ නිසා බහුතර ජනතාවක් ඊට රුචිකත්වය දක්වනවා.
වැඩිහිටි භික්ෂූන් ඕන තරම් පැවිදි කිරීමට අවස්ථාව තිබෙනවා.
වැඩිහිටි ජනයා වඩාත් උනන්දුවෙන් භාවනා කටයුතුවලට විවිධ ආකාරය ගැඹුරු හා නොගැඹුරු ධර්ම කටයුතුවලට මැදිහත්වන අවස්ථා අප සමාජයේ කොතෙකුත් දකින්න ලැබෙනවා.
නමුත් ඒ සඳහා සංඝ සමාජයේ උනන්දුවීම අවම තත්ත්වයේ තියෙන්නේ.
භික්ෂූන් වඩාත් උනන්දු වන්නේ ළමා පැවිද්ද වර්ධනය කරගැනීම සඳහා.
හේතුව ළමා පැවිද්ද තුළින් ඉතාම ළමා වයසේ සිටින ළමුන් විවිධ ලිංගික ක්‍රියාකාරකම් සඳහා භික්ෂු සමාජයට යොදාගත හැකි අවස්ථා බහුලවන නිසා.
ඒ පිළිබඳව නීතියෙන් ආවරණය කර ගැනීමේ මුක්තියක් ද පංසල් ආරාම ආශ්‍රිතව අදාළ භික්ෂු සමාජවලට තිබෙන නිසයි.
නමුත් දරුවන්ට බිය උපදවන අත්දැකීම් විහාරස්ථානවල අත්විඳිමින් ඒවා සියල්ලක් දරාගෙන යැපෙන කුඩා සාමනේරවරුන් සිටීම පිළිබඳව මනා විධිමත් සමාජ සමික්ෂණයක් කරන්න කිසිම රාජ්‍ය ආයතනයක් මෙතෙක් මැදිහත් වෙලා නැහැ.
විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට මෙවැනි මාතෘකවක් තෝරාගෙන සිය නිබන්ධනය සකස් කර ගැනීමෙන් ඒ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් සමාජයට මීට වඩා පුළුල් දායකත්වයක් ලබාදෙන්න පුළුවන්.
නමුත් එවැනි අවස්ථා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවර නොකරන්නේ සම්ප්‍රදායික භික්ෂු සමාජය තවදුරටත් යැපීම විද්වත් කථිකාචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාල ප්‍රධානීන් සලකන නිසාද?
ඒ නිසා පොදු මහජනතාවගේ සැලකිල්ලට වඩාත් යොමුවිය යුතු ගැටලු‍ කිහිපයක් ළමා පැවිද්ද අරඹයා පැහැදිලි කිරිම ඉතා වැදගත්.
පැවිදි කිරීමට අනුබලදීම සිදුවන්නේ දේශපාලනඥයන්ගේ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරින්ගේ ආශිර්වාදය මතයි.
දරුවන් පැවිදි කිරීමට අනුබල දෙන නිලධාරින් අනෙක් අයට ආදර්ශයක් සැපයීමට ඔවුන්ම පැවිදි දිවියට ඇතුළු වනු ඇති බවත් එසේ නැත්නම් නුදුරේම ඔවුන්ගේ දරුවන් හෝ මුණුබුරන් පැවිදි දිවියට ඇතුළත් කිරීමට උනන්දුවනවාද යන්න මෙහිදී මතුවෙන තවත් ප්‍රශ්නයක්.
පරමාදර්ශවලින් මෙහෙයවන නිලධාරින්ගෙන් පරිභාහිර දුප්පතුන්ගෙන් අන්ත දුප්පත් පවුල්වලින් එන විශේෂයෙන්ම පසුගිය කාලයේ යුද්ධයෙන් අනාථ වූ සහ පීඩාවට පත් පවුල්වලින් මෙම දරුවන් පැවිදි කරගැනීම ඉතිහාසයේ පටන් සිදුවන දෙයක්.
පැවිද්ද නරක දෙයක් නොවේ.
නමුත් නීතියෙන් ව්‍යවස්ථානුකූලව ළමා වයසේ ළමුන්ගේ සංවර්ධනය සඳහා තිබෙන හිමිකම් උල්ලංඝනය කරමින් ළමා පැවිද්ද සිදු කිරීමයි ගැටලු‍ සහගත තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ.
ළමා වයසේදී ළමුන්ට අවශ්‍ය සමකාලීන ඇසුරු හා ඥාති සම්බන්ධතාව නැතිව ඔවුන්ගේ දිවි සරු වන්නේ කෙසේද යන්න රජය තේරුම්ගත යුතුයි.
දුප්පත් දරුවන්ගේ සුබසාධනය ගැන ආණ්ඩුව උත්සුක වන්නේ නම් නිවාස, ළමා නිවාස, අනාථ පවුල්වලට, ආහාර, ජීවන ආධාර, අධ්‍යාපනය සැලසීම වැනි විකල්ප ප්‍රතිපාදන ඇති කිරීම කළ යුතු බව ඔවුන් තේරුම්ගත යුතු නොවේද?
කොහොම වෙතත් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිදු කරන ලද අවස්ථාවලදී අපරාධමය වරදක් නොවන්නේ නම් එවැන්නකට වරදකරු නොවීය යුතුය.
එය 14 වන ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් කර තියෙනවා.
භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස, තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය, සාමකාමිව රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස, වෘත්තීය සමිති පිහිටුවීමේ හා බැඳීමේ නිදහස, තම ආගම ඇදහීමට, පිළිපැදීමට, ප්‍රගුණකිරීමට හා ඉගැන්වීමට නිදහස.
තනිව හෝ අන් අය සමග සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩිදියුණු කිරීමේ හා ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස.
නිත්‍යානුකූල රැකියාවක වෘත්තියක කර්මාන්තයක, වෙළෙඳාමක හෝ ව්‍යවස්ථාදායක නිරතවීමේ නිදහස ලංකාව තුළ ඕනෑම පළාතකට යාමේ හා පදිංචි වීමේ නිදහස.
කැමැති ස්ථානයක ජීවත් වීමේ නිදහස.
ලංකාවේ සිට කුමන රටක ගියත් නැවත පැමිනීමේ නිදහස.
මේ සියලු‍ කරුණු කාරණා අරඹයා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නිතිය යටතේ මෙහෙම අනාවරණයක් ද තිබෙනවා.
තම ශරීරය ශාරීරික හා මානසික නොමේරූ භාවය නිසා ළමයින් පහසුවෙන්ම පීඩාවට ලක්වීමට හැකියාව ඇති බව ද ඔවුන් කෙරෙහි විශේෂිත සුරක්ෂිතතාවයක් සැපයිය යුතු බව ද සඳහන් වෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකාව අදාළ සම්මුතියට අත්සන් තැබූ රටවල් කෙරෙහි ළමයින් කෙරෙහි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ලංකාව ජාත්‍යන්තර වශයෙන් වගකීමකට බැඳී ඉන්නවා.
එසේ නම් ළමා පැවිද්ද අරඹයා නෛතික වශයෙන් පමණක් නොව සදාචාරාත්මක වශයෙන් නීතිය මනාව ඉටු කරන්න විධායක ඇතුළු වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
ඒ නිසා මේ ගැන සම්ප්‍රදායන් සංස්කෘතික ආගමික වශයෙන් නොසලකා පවතින නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකා රජය මීට වඩා වගකීමකින් ක්‍රියා කළ යුතුයි.
එහිදී ළමුන්ගේ හිමිකාරත්වය සඳහා නෛතික වශයෙන් බැඳී සිටින ආයතන ගණනාක්ම තිබෙනවා.
ඒ ආයතන පිළිබඳව අපි මීට පෙර කරුණු සඳහන් කර තිබෙනවා.
නමුත් ඒ ආයතන බොහෝ විට සිය වගකීම මනාව සිදු නොකිරීම ගැටලු‍ සහගත තත්ත්වයක්.
නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 352 වගන්තියට අනුව ළමා පැවිද්ද තුළින් ඒ නීතිය උල්ලංඝනය වීමක් සිදු වෙනවා.
වයස අවුරුදු 16 අඩු ගැහැණු ළමයෙකු හෝ අවුරුදු 14ට පිරිමි ළමයෙකු නිත්‍යානුකූල භාරකාරත්වයෙන් එකී භාරකරුගේ කැමැත්තෙන් තොරව ගෙන ගියහොත් හෝ යාමට පෙළඹවුහොත් එකී දඬුවම කැමැත්ත දී තිබුණ ද එය නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම නම් වරද වෙනවා.
මෙය පූජ්‍ය පක්ෂයෙන් මනාව ඒ වරද සිදුවන්නේ ශ්‍රී ලාංකාවේ දැනට තිබෙන දරිද්‍රතාවය නිසා.
එහෙම නැත්නම් දරිද්‍රතාවය නිසා අඹුසැමියන් රට යාමේ ඉලක්ක කරගෙන දරුවන් විහාරස්ථානවලට ලබාදීම සිදු කරනවා.
මේ මැත කාලයේදී සිය මව විදේශ රටකට රැකියාව සඳහා ගොස් සිටියදී පියා විසින් සිදු කරන්නේ කුමක්ද?
2023 වෙසක් පොහෝ දින සිය දරුවා මහණකමට භාරදී පිටත්ව යන විට ඔහු පිටත්ව යන්නේ විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට.
නමුත් දෛවයේ සරදම වන්නේ හදිසි අනතුරකින් ඒ අදාළ පියා මියයෑම.
මෙවැනි තත්ත්වයන් දෛවයේ සරදම් ලෙස ක්‍රියාත්මක වන අවස්ථා තියෙනවා.
දරුවන් බොහෝ විට ආගමික පූජ්‍ය පක්ෂවලින් අපයෝජනයට ලක් වූ විට ඒ සඳහා මූලිකම ග්‍රාමීයව හා ප්‍රාදේශීය නාගරිකව මැදිහත් වන්නේ පොලිස් නිලධාරින්.
මේ පොලිස් නිලධාරින් බොහෝ විට අදාළ කොට්ඨාශයේ විහාරස්ථාන සමඟ බොහොම සමීප සබඳතා තියෙනවා.
ඒ සමිප සබඳතා බොහෝ විට භෝජන සංග්‍රහ වලට හා වෙනත් උපයාමාර්ගික ක්‍රියාවන් පිළිබඳව අහුබුළු තොරතුරු පසුව ඉදිරිපත් කිරීමට අප බලාපොත්තු වෙනවා.
කොහොම හරිම ළමයා කෙරෙහි උපේක්ෂා සහගත වීම එවැනි දරුවන් ඒ අපයෝජන අත්දැකීමට ලක් වූ විට පොලිසියේ වගකීමක්.
එවැනි අපයෝජනයට ලක් වූ දරුවකු ළමයා තුළ පවතින බිය තුරන් කිරීමට අදාළ ග්‍රාමීය හෝ ප්‍රාදේශීය පොලිසිය සමත්වෙන්න ඕනැ.
නමුත් එවැනි තත්ත්වයක් අපේ පොලිස් දෙපාර්තමෙන්තුව තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ළමයා තුළ බිය නැති කිරීම ළමයා සමඟ මිත්‍රශීලී සම්බන්ධතාවයක් ගොඩනැගීමට පොලිස් නිලධාරින් ඉතාම සංවේදීව අපයෝජනයට ලක්වූ දරුවන් හමුවේ හැසිරෙන්න අවශ්‍යයි.
නමුත් වැඩිහිටි ලාංකික පුරවැසියන්ටත් බොහෝ විට පොලිසිය පිළිබඳ ඇත්තේ අවම විශ්වාසයක්.
එවැනි පරිසරයක් තුළ අපයෝජනයට ලක්වූ දරුවෙකුට පොලිසිය කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීමට පුළුවන්ද?
මෙවැනි අපයෝජනයට ලක් වූ දරුවෙක් ග්‍රාමීය හෝ ප්‍රාදේශීය නාගරික පොලිසියකට පැමිණ විට පොලිස් නිලධාරින්ගේ විනෝදාංශය විවිධ ආකාරයෙන් ඒ පිළිබඳව ළමයාගෙන් ප්‍රශ්න කිරීම.
ළමයාගෙන් තොරතුරු විමසීම.
එය හුදෙක්ම ළමයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වන අවස්ථා තිබෙනවා.
ඒ නිසා මෙවැනි අපයෝජනයට ලක්වූ දරුවන් ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් තිබෙන නිසා සිය පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගැනීම සඳහා මේ සඳහා අදාළ තොරතුරු හෙළි නොකර සිටින අවස්ථා ද තිබෙනවා.
එවැනි අපයෝජනයට ලක් වූ දරුවන්ගේ තත්ත්වයන් අවශ්‍යතා ගැන පොලිසියේ නිලධාරින් හෝ පොලිස් කාන්තාවන් සංවේදී වන අවස්ථා අවම තත්ත්වයක් තියෙන්නෙ.
එවැනි කරුණුවලදී බොහෝ විට අපහසුතාවයට පත්වන්නේ දරුවන්.
ළමයා සමඟ දරුවාට තේරෙන සහ වචනවලින් සංනිවේදනය කර ගන්න පොලිසිය සමත් වෙන්න ඕන.
නමුත් මෙවැනි අපයෝජනයට ලක් වූ දරුවන් පොලිසිය වෙතට පැමිණීමේදී ඔවුන්ට සිය අදහස් සන්නිවේදනය කරගන්න මනා හැකියාවක් ඇති වන්නේ නැහැ කාකි සූට්වලින් සැරසී සිටින පොලිසියක් තුළ.
පොලිස් නිලධාරියකු පළමුවෙන්ම අපයෝජනයට ලක් වූ දරුවෙක් සිය දෙමාපියන් හෝ වෙනත් භාරකරුකු සමඟ පැමිණි විට පොලිසිය කිරීමට යන දෙය හා ඒ පිළිබඳ පුර්ව පැහැදිලි කිරීමේ සංනිවේදන රටාවක් ලංකාවේ පොලිසිය සකස් කර ගත යුතුයි.
ඒවගේම අපයෝජනයට ලක් වූ දරුවාගේ සැබෑ අත්දැකීම විස්තරාත්මකව සංවේදීව ප්‍රශ්න කර තොරතුරු ලබාගත යුතුයි.
මේ පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත ගෙන එන්න ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න