1 වන කොටස
ළමා අයිතිවාසිකම් පිළිබඳ දේශීය නීතියට අනුව මේ වන විට රාජ්‍ය ආයතන ගණනාවක්ම පිහිටුවලා තිබෙනවා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(4) ව්‍යවස්ථාවට අනුව රටක මූලික හා උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
වර්තමානයේ එය ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(4) මගින් දරුවන්ගේ අයිතිවාසිකම් රැකගැනීම හා ආරක්ෂා කිරිම සඳහා විශේෂිත විධිවිධාන සලසමින් නීති සම්පාදනය කිරීමට රජයට බලය ලැබී තිබෙනවා.
මෙවැනි පරිසරයක් තුළ ලියුම්කරුගේ මතකය හැටියට 2000 වසර හෝ 2001 වසර ඇතුළත එවකට අග්‍රාමාත්‍ය වූ රත්නසිරි වික්‍රමනායක දරුවන් 2000ක පැවිදි කිරීමට අවශ්‍ය බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තිබුන.
ළමයාගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අගතියට පත් කරන සංඝ සමාජය ඉතාම නින්දිත විදිහට ළමයාගේ හිමිකම් වසා දමන සමාජ වපසරියක් තිබෙනවා.
ඒ 2001 දී එහෙම කියපු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුතෙක් තමයි මේ වන විට ලංකාවේ ආගමික සංස්කෘතික අමාත්‍යවරයා වෙන්නේ.
ඔහු මෙහෙම කියනවා.
බාල අපරාධ කරන භික්ෂූන් සිවුරෙන් ඉවත් කළ යුතුයි කියලා.
එවැනි වැරදි කරන හිමිවරුන්ට නීතියෙනුත් දඬුවම් කළ යුතුයි කියල වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ 2022 ඔක්තෝබර් 25 වන අඟහරුවාදා මවුබිම පුවත්පතට ප්‍රකාශයක් කරමින්.
මහණ කමට යැයි කියා පන්සල්වලට ගෙනත් අඩන්තෙට්ටම් කරන බව අදාළ සංස්කෘතික ඇමැතිවරයා පිළි ගන්නවා.
මේ සඳහා බුද්ධ ශාසන කොමසාරිස්ගෙන් වහාම වාර්තාවකුත් ඔහු කැඳවනවා.
හැබැයි අවසානයේ කිසිවක් සිදු වුණාද කියලා ගැටලු‍ සහගත තත්ත්වයක් උද්ගත වන්නේ මේ වන තෙක් ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති නිසයි.
විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තෙට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන්
තමා වහාම වාර්තාවක් කැඳවී යැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසන්නේ 2022 ඔක්තෝබර් 25 වන අඟහරුවාදා.
මේ වන විට ඒ ප්‍රකාශය කරල වසරකුත් ආසන්න ළං වෙලා තියෙනවා.
කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි සලකා බලා එම වාර්තාව කැඳ වූ බව ඇමතිවරයා එදා ප්‍රකාශ කර තිබුනා.
නමුත් ඒ සඳහා මේ වන තෙක් ක්‍රියාකාරී දායකත්වයක් බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් සිදු වුණාද?
ඒ සඳහා සක්‍රීය ක්‍රියාකාරිත්වයක් අමාත්‍යවරයා සිදු කළාද යන්න පාඨක ශ්‍රාවක ඔබ තේරුම්ගත යුතුයි.
මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බවත් විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් බොහොම ගාම්භීරව එදා බුද්ධ ශාසන අමාත්‍යවරයා සිදු කර තිබුණි.
මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නිත්‍යානුකුලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවසූ වික්‍රමනායක මහතා මේ සම්බන්ධව ත්‍රෛනිකායික සංඝ රත්නය සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවත් කියා තිබුනා.
ඇත්තටම මේ සම්බන්ධව කිසිවකු සමඟ සාකච්ඡා කළ යුතු නැහැ.
නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවක්ම තිබෙනවා.
ඒ ආයතන වලට අදාළ උපදෙස් ලබාදීම පමණයි සිදුවිය යුත්තේ.
නමුත් එවැනි දෙයක් සිදුවන බවක් පේන්න නැහැ.
විහාර හා දේවාලගම් පනතට හා ථේරවාදී භික්ෂු කථිකාවක් පනතට සංශෝධන ගෙනවිත් මෙවැනි අකටයුතුකම් වැලැක්වීමට හැකියාව පවතීදැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා සැලසුම් කරල තිබෙනවා කියල කියල තිබුණේ 2022 ඔක්තෝබර් 25 වන අඟහරුවාදා.
නමුත් දැන් මේ ගෙවීය යන්නේ වසර 2023 වෙසක් මාසයයි.
කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත් විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් වැඩිදුරටත් ඇමතිවරයා සඳහන් කර තිබුනා.
මෙවැනි කරුණුවලදීත් සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂූන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වාදී තිබුනා.
නමුත් එවැනි මැදිහත්වීමක් තවමත් සිදුවෙලා නැති නිසා අපට මේ පිළිබඳව මනා සමාජ විවරණයක් කිරීමට සිදුවෙනවා.
බුද්ධ ශාසනයේ හෝ අනිකුත් ආගම්වලින් ප්‍රායෝගික මිනිසෙකු බිහි කරගැනීමට නොහැකි වී තිබෙන බව අමාත්‍යවරයා පිළිගෙන තිබුනා.
භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයින් ප්‍රතිසංස්කරණවලට ලක් විය යුතු බවත් වික්‍රමනායක මහතා කීවත් ඒ සඳහා ප්‍රබලව මැදිහත් නොවීම තුළ පෙනී යන්නේ තවදුරටත් දේශපාලන ප්‍රචාරය සඳහා බෞද්ධ කම පිළිබඳව බෞද්ධයින්ගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීමක් ද යන ප්‍රශ්නය මතුවෙන සුළුයි.
පුද්ගලයන් අවබෝධයකින් තොරව මහණකමට ඇතුළත් වන තාක් කල් කොතරම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බව ද අමාත්‍යවරයා එහිදී පවසා තිබුනා.
ඇත්තටම මේ රටේ බෞද්ධ ජනතාවට සැබැවින්ම අවබෝධයක් නැතිකම නිසා සංඝ සමාජයේ තියෙන ඉතාම දුරාචාර ක්‍රියාවන් සමාජයට පෙන්වාදීම හා ඒවා හෙළිදරව් කිරීම ඊට අදාළ භික්ෂූන් නිරුවත් කිරීම සඳහා අමාත්‍යංශය වහාම මැදිහත් වෙන්න අවශ්‍යයි.
තමන් චීවරය දරන්නේ කුමක් සඳහාදැයි ශාසනයට ඇතුළත් වන පුද්ගලයින් කල්පනා කළ යුතු බව පළමුරවෙන්ම ඔවුන්නොවුන් තේරුම්ගත යුතුයි.
දුප්පත්කම හේතුවෙන් කුඩා දරුවන් මහණ කිරීම නිසා ද විහාරස්ථානවල ඇති වන ගැටලු‍ ඇතිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු සඳහන් කරල තිබුනා.
විහාරස්ථානවල නායක පදවිය හෝ විහාරස්ථානයේ දේපළ බෙදාගත නොහැකිව භික්ෂූන් වහන්සේලා අධිකරණවල එකිනෙකාට චෝදනා කර ගන්නා බවත් මෙවැනි කටයුතු පිළිබඳව තවදුරටත් කල්පනා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා කියා තිබුනා.
ජනතාව විහාරස්ථානවලින් ඈත් වීම සම්බන්ධව සියලු‍ දෙනා සොයාබැලිය යුතු බවත් සෑම විටම රෝග නිධානයට විසඳුම් සොයාගැනීම අවශ්‍ය බවත් වික්‍රමනායක මහතා පෙන්වා දී තිබුනත් ඔහු හුදෙක්ම බොරු දේශපාලන මායාකාරී තවත් චරිතයක් ද යන්න මතුවෙන සුළුයි.
බොහෝ ගැටලු‍වලට විසඳුම් ලෙස ස්වාමින් වහන්සේලාට වෙන වෙනම නිවාස ඉදි කරදීමට තමාගේ යෝජනාවක් තිබෙන බවත් මේ සම්බන්ධව මහ නායක හිමිවරුන්ගේ අදහස දැනගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුනා.
මහජන මුදල්වලින් භික්ෂූන්ට ගොඩනැගිලි ඉදිකිරීමට වෙහෙසෙන පරිසරය තුළින් නම් මනාව ප්‍රදර්ශනය වන්නේ කුමක්ද?
තවදුරටත් තමන්ගේ දේශපාලන අරමුණු සඳහා භික්ෂු සමාජයේ හැකියාව ධර්මදේශනාව, කථිකාව ප්‍රයෝජන ගැනීම නොවේද?
මේ සම්බන්ධව තවදුරටත් අපි කතා කළ යුතුයි.
හේතුව ඊට හේතු ගණනාවක්ම තියෙනවා.
නීතිය ක්‍රියාත්මක කරන්න ඒ සඳහා ඇති ආයතන ව්‍යුහය සහ නීතිමය තත්ත්වය පිළිබඳව පුළුල් විවරණයක් කිරීම මෙහිදී ඉතාම වැදගත්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 පරිච්ඡේදයේ 13 වන ඡේදය රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය පිළිබඳව සඳහන් වෙනවා.
එහිදී මේ කරුණු සිහිපත් කර ගත යුතුයි.
ළමයාගේ හා යෞවනයාගේ ශාරීරික හා මානසික සදාචාරාත්මක ආගමික හා සමාජයීය අංශ ආවරණය වන පරිදි පූර්ණ වර්ධනය තහවුරු කිරීමටත්, සූරාකෑමෙන් හා වෙනස්කම්වලින් ආරක්ෂා කිරීමටත් රජය ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් හා වැඩපිළිවෙළක් තහවුරු කරනු ඇතැයි එහි සඳහන් වෙනවා.
කෙසේ වෙතත් මෙවන් ප්‍රතිපත්තියකින් රජය බැහැරවන අවස්ථාවලදී එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව ද අදාළ ව්‍යවස්ථාවේම සඳහන්.
මේවා හුදෙක් ප්‍රතිපත්ති පමණක් වන බැවින් නෛතික අයිතිවාසිකම් හෝ බැඳීම් ඒ නිසා ඇති වන්නේ නැහැ.
එහෙම නම් යතාර්ථය ඔබට පැහැදිලියි නේද?
ළමා අයිතිවාසිකම් රැකගැනීම සඳහා ආණ්ඩුවේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු අරභයා ඊට අදාළ අධිකරණමය විනිශ්චයකට භාජනය කිරිම සඳහා පුරවැසියන්ට හෝ ආයතනයකට හිමිකම් අහිමි කරල තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නේද?
ඒනිසා නේද රාජ්‍ය ආයතන ගණනාවක් මේ සඳහා තිබෙන පරිසරයක් තුළ මහණ අඩු වයසින් මහණ කරන දරුවන්ගේ හිමිකම් රැකගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන විධිමත් නෛතික වැඩසටහන් සඳහා මැදිහත් නොවන පරිසරය අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැති කර තිබෙන්නේ පාදඩ දේශපාලන සංස්කෘතිය නොවේද?
කොහොම වෙතත් ළමා අයිතිවාසිකම් සඳහා බලපාන මූලික අයිතිවාසිකම් නීතිය අපි තේරුම්ගන්න අවශ්‍යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය අනුව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකමක් කඩ වූ විට හෝ කඩවීමට ආසන්න වූ විට දින 30ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන පෙත්සමක් මගින් එකී මූලික අයිතිවාසිකම් කඩවීමෙන් සිදුවූ හානියට යම් සහනයක් ලබාගන්න පුළුවන්.
නමුත් එහිදී ඇතිවන ගැටලු‍ අපමණයි.
මෙවැනි සිද්ධියකට මුහුණ දෙන ළමයා පළමුවෙන්ම ඒ පිළිබඳව අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට අසමත් වන්නේ කුමක් නිසාද?
සිය දෙමාපියන් දොහොත් මුදුනින් වඳින භික්ෂුව තමන්ට අපචාර ක්‍රියාවක් කළා යැයි සිය දෙමාපියන්ට ප්‍රකාශ කිරීමට තරම් මානසිකත්වය ඔහු තුළ ප්‍රවර්ධනය වෙනවාද?
ඒ නිසා බොහෝ විට සංඝ සමාජයෙන් සිදුවන බාල අපචාර ක්‍රියාවන් කාලයාගේ ඇවෑමෙන් වැසී යන තත්ත්වයක් දකින්නට තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21(1) ව්‍යවස්ථාවට අනුව යම් ළමයෙකුට සිංහල හෝ දෙමළ යන කවර හෝ ජාතික භාෂාවකින් අධ්‍යාපනය ලැබීමට අයිතිය තියෙනවා.
මේ කොහොම වුණත් අවසානයේ ළමා හිමිකම් සංඝ සමාජය අයුතු ලෙස භාවිතා කරන සමාජ පරිසරයක් තියෙනවා.
මේ නිසා බොහෝ විට විද්වත් භික්ෂුන් වහන්සේලා සමාජයේ පරිනත සමාජ තත්ත්වයක් දරන බහුතරයක් ඒ සම්බන්ධව චෝදනා මුඛයෙන් ප්‍රසිද්ධියේ කතා කරපු අවස්ථා තියෙනවා.
ඒ අතර රුහුණු විශ්වවිද ්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි මැතක දී සිදු කළ ප්‍රකාශයක් අනුව වයස 12 ට අඩු දරුවන් මහණ නොකළ යුතු යැයි කියල උන් වහන්සේ ප්‍රකාශ කරල තිබුනා.
සාමනේර හිමිවරු රකින්න සෑම නිකාය මූලස්ථානයක්ම වහාම මැදිහත් විය යුතු බව තවදුරටත් ප්‍රකාශ කර තිබුනා.
විහාරස්ථානවල පැවිදි කරන සාමනේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථා වහාම මැදිහත් විය යුතු යැයි කොළඹ නවතොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියෝ ඒ ප්‍රකාශ කර තිබුණි.
කුලදරුවන් සසුන්ගත කිරීමේදී ඉතාම ලාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරම් වයස අවු 12 ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු යැයි ද නාහිමියෝ අවධාරණය කර තිබුනා.
යම් දරුවකු ගුරු හාමුදුරු නමක් යටතේ පැවිදි දිවියට ඇතුළත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වන්සේ සාමනේර හිමියන් රැක බලා ගනු ඇතැයි විශ්වාසයකින් යුතුව බව ද උන්වහන්සේ පවසා තිබුනා.
කුඩා දරුවකු මහණ කරගත්තේ නම් මාතෘ පීතෘ සෙනෙහයන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බවත් එය වැඩිහිටි භික්ෂූන් වහන්සේ වගකීමක් හා යුතුකමක් බවත් නාහිමියෝ අවධාරණය කර තිබෙනවා.
එහිදී මැතක සිදුවුණු සිදුවීමක් මේ සඳහා ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා.
12 හැවිරිදි ගිම්හාන නමැති දරුවෙක් පන්සලේ පෝයට සිය පියා සමඟ පන්සල් ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුරුදු වෙලා තිබුනා.
හොරණ ගෝනපොල ගොඩිගමුවේ බුද්ධික කුමාර පියාගේ හා ඉනෝකා සමන් කුමාර මවගේ දරු තිදෙනා අතරින් දෙවැනි දරුවා වූ 12 හැවිරිදි යෙසිත් ගිම්හානට පැවදිවීමට මවුපිය වරම ලැබුණේ ඔහුගේ දැඩි ඉල්ලීම නිසයි.
දරුවා ඒවන විට බණ්ඩාරගම වල්ගම ජාතික පාසලේ 6 වසරේ ඉගෙනුම ලබමින් සිටියා.
දරුවා මහණ කිරීමට සුදුසු පන්සලක් සෙවූ පියාට තමන්ගේ හිතවතකුගෙන් ඒ සඳහා මගපෙන්වීමක් ලැබුණා.
පියා තම පුතු කල්පට ලෙනවර රජමහ විහාරය කරා කැඳවාගෙන ගියේ ඉන් පසුවයි.
මහණ දම් පිරීමට අදාල මූලික පියවර ඉගෙනුම ලැබීමට දරුවා එහි හිමියන් වෙත භාර කෙරුණා ඉන් පස්සේ.
මහණවීමට ඒ සා මහත් ආශාවක් පෙන්නමින් සිටි මේ පුංචි කුළ දරුවාට සිදුවූ විපත ඇත්තටම බෞද්ධයින්ගේ සිත් කම්පා කරන සුළුයි.
ඒ කියන්නේ පන්සලේ මහණවීමටත් පෙර පන්සල් පරිසරය ආශ්‍රිතව අවශ්‍ය පුරුදු පුහුණුවීම් පරිසරය ලබා ගැනීමට දරුවා විහාරස්ථානයේ නවත්වා තිබියදී ඔහු පන්සලේ බාල්කයක එල්ලී මියගොස් තිබුනා.
එය අහස පොළොව නුහුලන අපරාධයක් නොවේද?
වයස අවුරුදු 14ක පුංචි එකෙකු එල්ලී මිය ගිය කතාවක් පුරවැසි ඔබ මීට පෙර අසා තිබෙනවාද?
තමන්ගේ මවුපියන් සිවුරු පොරවාගෙන ගෙට ගොඩවනවා දකින්න හරි ආසාවෙන් බලා සිටි සිය පුතාගේ සිවුර වෙනුවට අදාළ දෙමාපියන්ට තමන්ගේ නිවස වෙත ගෙන යන්න සිදු වූයේ මළ මිනියක්.
මේ අභිරහස් මරණය ගැන මළ ගෙදරට ආපු බහුතරයක් ඒ අදාළ කාලපරිච්ඡේදයේදී විවිධ දේ කිව්වා.
දෙමව්පියන් කිව්වේ පොඩි එකාට එල්ලාලා මැරෙන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා.
එය ඉර හඳ මෙන් විශ්වාසයෙන් යුතුව ඒ දෙමව්පියන් ප්‍රකාශ කර තිබුනා.
නමුත් විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වගකීමක් ගත්තා නම් දරුවට එහෙම දෙයක් වෙන්න පුළුවන්ද?
පරිස්සමින් දරුවා බලාගන්න කියලා විහාරස්ථානයකට දරුවන් දෙන දෙමාපියන්ට උරුම වන්නේ දරුවාගේ මරණීය ඛේදවචාකය නම් මේ රටේ භික්ෂු සමාජයේ හැසිරීම භාවිතය පිළිබඳව යතාර්ථය කුමක්ද?
දරුවව පණපිටින් විහාරස්ථානයට භාරදීල මෙවැනි ඛේදවචාක වුණු අවස්ථා අප්‍රමාණව රට පුරා වාර්ෂිකව සිදුවෙනවා.
නමුත් ඒ සඳහා විධිමත්ව නීතිය ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලු‍ව ප්‍රශ්න කරන්න අවශ්‍යයි.
ඒ නිසා බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා මේ පිළිබඳව අදාළ විධිමත් පරීක්ෂණයක් කරපු බවක් හෝ පොලිසිය ඒ සඳහා නීතිය මැනවින් ඉටු කරනවාද යන නිහඬතාවය තුළ පෙනී යන්නේ කුමක්ද?
අපක්ෂපාතී පරික්ෂණයක් පැවැත්වුණාද?
ගිම්හානගේ පියා පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ඒ කාලය තුළ දී අදාළ පැමිණිල්ල සිදු කර තිබුනා.
සියල්ල යහපත්ව පැවතියත් මෙවැනි ඛේදවාචක අපමණව රට පුරා සිද්ධ වෙනවා.
ඒ සඳහා අවශ්‍ය නීතියක් අදාළ ආයතනත් පිහිටුවා තියෙනවා.
නමුත් ඒවා මැනවින් සජීවීකරණය වී ක්‍රියාත්මක වනවාද යන්න ගැටලු‍ සහගතයි.
විහාරස්ථාන නායක හිමියන්ගේ සිට බාලවයස්වල වෙනත් සාමනේර හිමිවරුන්ගේ නොයෙකුත් බාල අපචාර සිදුවෙන තත්ත්වයක් රට පුරා තිබෙනවා.
එවැනි අවස්ථා පිළිබඳව කොතෙකුත් ජනමාධ්‍ය වාර්තා සිදු කරමින් තිබෙනවා.
නමුත් ඒවා මනාව රට පුරා තවදුරටත් සිදුවීම කනගාටුවට කරුණක්.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව එහි දෙවැනි වගන්තිය වෙනස්කමකට භාජනය නොකිරීම අන්තර්ගතයි.
ඒ වගේම ළමා ප්‍රඥප්තියේ අයිතිවාසිකමට අදාළ මූලික අයිතිවාසිකම් නීතියේ ව්‍යවස්ථාවට අනුව 12(2) ව්‍යවස්ථාව වෙනස්කමකට භාජනය නොකිරීමට සඳහන් වෙනවා.
ඒ අනුව 12 සහ 13 වගන්තිවල අදහස් ප්‍රකාශ කිරීම සඳහා අයිතිය සඳහන් වෙනවා.
ඒ වගේම 12, 14, 9 ව්‍යවස්ථාවට අනුව භාෂාමය නිදහසට හා ප්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහස තියෙනවා.
14 වගන්තියේ සිතීමේ නිදහස හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස තියෙනවා.
10 වන ව්‍යවස්ථාවට අනුව සිතීමේ නිදහස හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස තිබෙනවා.
නමුත් ඒ අනාවරණයවලින් නීතිය මැනවින් ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටලු‍සහගත තත්ත්වය උදා වන්නේ මෙවැනි සිද්ධීන්වලට අනුවයි.
2023 මාර්තු මාසයට පෙර සිදුවීමක් මීට තවත් උදාහරණයක් වශයෙන් ගෙන දක්වන්න පුළුවන්.
මහණ කිරීමට භාරදී සිටි අවුරුදු 11 ක් වයසැති දරුවෙකුට ලිංගික අතවරයක් කළේ යැයි කියන සාමනේර හිමිනමක් මැණික්හින්න පොලිසිය මගින් පසුගියදා මාර්තු මාසයේ අත්අඩංගුවට ගෙන තිබුනා.
සාමනේර හිමි නමක් තමන්ගේම වයසේ භික්ෂුවකට ලිංගික අතවරයක් කරනවා කියන්නේ ඒ තුළ ඒ අදාළ සාමනේර හිමි නම ලැබූ අත්දැකීම් පෙරළා සෙසු සාමනේර හිමිවරුන්ටත් ආත්මගත කිරීමට යොමුවීමක් නොවේද? එහිදී විහාරස්ථානයේ විහාරාධිපති ඇතුළු සෙසු භික්ෂූන් ඊට වගකිව යුතු නොවේද?
මේ සැකකාර හිමිනම අවුරුදු 14ක වයසේ පසු වූ කෙනෙක්.
ඒ කියන්නේ ඔහු පෙර එවැනිම ලිංගික අතවරවලට ලක්වෙලා අත්දැකීම් ලබලා ඒ අනුව තමයි අවුරුදු 11ක වයසැති ළමයෙක් ඒ සඳහා යොදා ගන්නේ.
ලිංගික අතවරයට ලක් වූ බව කියන 11 හැවිරිදි දරුවා බක්කිඇල්ල පොලිස් වසමේ පදිංචිව සිටි අයෙක්.
මහණ කිරීමට මවුපියන් විසින් මැණික්හින්න ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදී තිබියදී මහණ කිරීමට කළින් ලිංගික අතරවයට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
ඒ කියන්නේ බොහෝ වෙලාවට මහණ කිරීමට පෙර විහාරස්ථානය ආශ්‍රිතව ජීවත් වීමට හුරු කරන්නේ පූර්ව ලිංගික අභ්‍යාසවල යෙදීමෙන් බව එවැනි අතවරයන්වලට ළමුන් ගොදුරු වෙන බව ඒ අනුව තහවුරු වෙනවා නේද?
පසුකලෙක මෙම දරුවා පැවිදිවී විහාරස්ථානයේ වැඩ වාසය කරන අතරවාරයේ එහි හිමිනමකගේ පහරදීමට ලක්වීම නිසා සිවුරු හැර නිවසට පැමිණීමෙන් පසුව තමයි අදාළ මහණ වීමට ගිය සාමනේර භික්ෂුව අතවරයට ලක් වුණා කියල හෙළි වූයේ.
මෙම දරුවා නැවත මහණ කිරීමට පිල්ලු‍මලේ විහාරස්ථානයකට භාරදී සිටියදී නිතර කැස්ස සෑදීම නිසා මව විසින් දරුවා මඩකලපුව මහ රෝහලේ වෛද්‍යවරයකු හමුවට රැගෙන ගොස් තිබෙනවා.
වෛද්‍යවරයා දරුවාගේ තොරතුරු විමසීමේදී මෙම දරුවා වෛද්‍යවරයා සමඟ තමාට සිදු වූ ලිංගික අතවර ගැන දැනුම් දී තිබෙනවා.
ඉන් පසුව වෛද්‍යවරයා මගින් අදාළ පොලිසිය වෙත වාර්තා වෙලා තියෙනවා.
ඉන්පසුව මව දරුවා කැටුව බක්කිඇල්ල පොලිසියට ගොස් මේ ගැන පැමිණිලි කර තිබෙනවා.
බක්කිඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසියට දැනුමිදීමෙන් පසු 14 හැවිරිදි සාමනේර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියනවා.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම බක්කිඇල්ල පොලිසියට භාරදීමට මැණික්හින්න පොලිසිය කටයුතු සූදානම් කරපු බව පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වුණා.
මේ ළමයින්ට වෙන අපරාධ වැරදි ළමා අපයෝජන හා ළමා අපචාර මොනවද කියල අපි තේරුම්ගත යුතුයි.
ඒ සඳහා ඊළඟ කොටසින් සෙසු තොරතුරු බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න