නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතිය යටතේ නීතියට යටත් තත්ත්වයට පත් කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු සාධකයක් විය හැකියි.
එම ක්‍රියාවලියේදී එය හුදෙක් නීතියට අනුකූල විය යුතුයි.
ජනාධිපති නීතියට ඉහළින් තබා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැහැ.
මේ තත්ත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 12(1) වගන්තියට අනුව නීතිය පසඳලීම හා ක්‍රියාත්මක කිරීම නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතුයි.
නමුත් ඒ සර්ව සාධාරණත්වය සැබැවින්ම ලාංකික ප්‍රජාවට හිමි වෙනවාද?
ඒ නිසා නීතිය පිළිබඳව අදාළ ඓතිහාසික ඈත මෑත තොරතුරු සහ ඊට අදාළ නඩු වාර්තා මගින් ප්‍රජාව වෙත අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාවගේ ජයග්‍රහණයයි තේමාව ඉලක්ක කරගෙන අප වඩාත් තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
යම්කිසි පුද්ගලයකුගේ පුරවැසි වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත වෙනසකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) යටතේ සඳහන්ව තිබෙනවා.
එමෙන්ම 12(3) වගන්තියට අනුව වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය මත වෙළෙඳසැල් භෝජනාගාර, ආපනශාලා, පොදු විනෝද ස්ථාන හෝ තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළු වීම සීමා කරන්න බැරි බවත් වැඩිදුරටත් තහවුරු කරල තියෙනවා.
ඒ අනුව මෙය සාමානාත්මතාවයේ අයිතිය ලෙස පොදුවේ දකින්න පුළුවන්.
රජයේ රැකියා සම්බන්ධව සිදුවන අසාධාරණකම්වලට අදාළව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී මේ නිතිමය ප්‍රතිපාදන නිතර භාවිතා වන බව පෙනෙන දෙයක්.
නමුත් අධිකරණයේ පරිපාලනය ඉතාම යහපත් තත්ත්වයක මේ මොහොත වන විට තියෙනවද කියන එක ප්‍රශ්නයක් මතු වෙනවා.
ඊට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළ අධිකරණය දක්වා නියම වන තීන්දු ප්‍රකාශ ක්‍රියාත්මක නොවීමේ පරිසරයක් මේ වන විට උද්ගත වෙමින් තිබීම.
මේ ඛේදජනක තත්ත්වය ඇද වැටෙන්න රටේ ජනාධිපතිවරයා සිට අමාත්‍යවරු, පොලිස් නිලධාරින් සහ සෙසු සියලු නිලධාරින් වගකිව යුතුයි.
අධිකරණ නිලධාරින් ආරක්ෂා කරන හා වන්දි භට්ටයන් ලෙස ක්‍රියාකිරීමට සූදානම් නැති ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරින් බහුතරයක් අපට ඉන්නවා.
නමුත් කිසියම් වරෙන්තුවක් පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට බොහෝ විට අපහසු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ පිළිබඳව මේ ළඟම උදාහරණය පිළිබඳ එක් සටහනකින් කියන්න පුළුවන්.
ඛනිජ තෙල් ගෙන්වීම බෙදාහැරීම හා විකිණීම සම්බන්ධයෙන් වූ වෙළෙඳපොළ විවෘත කිරීමේදී එම කටයුතු නියාමනය සඳහා ආයතනයක් ඇති කරන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කරන ලද නිර්දේශය වර්තමාන විෂය භාර ඇමැති කාංචන විජේසේකර මේ වන තෙක් ක්‍රියාත්මක කරල නැහැ.
ඛනිජ තෙල් සංශෝධිත පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ එහි නිලධාරින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ 51/2022 පෙත්සමේ තීන්දුව තුළ මේ නියෝගය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙනවා.
ඛනිජ තෙල් ක්‍ෂේත්‍රය නියාමනය සඳහා ආයතනයක් ඇති කළ යුතු බවට වූ එම නිර්දේශය ඇතුළත් බව නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් අරුණ නිශාන්ත රණවීර පවසනවා.
එම ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශය ක්‍රියාත්මක නොකරමින් ඛනිජ තෙල් වෙළෙඳපොළ විදේශ සමාගම්වලට විවෘත කරමින් හැසිරෙන සමාජ වටපිටාවක් වර්තමාන ආණ්ඩුවෙන් මේ වන විට ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
ඛනිජ තෙල් මිල සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් නියාමනය කිරීමට මෙතෙක් ආයතනයක් නැහැ.
ඛනිජ තෙල් සංස්ථා මිල සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ මේ වන විට ඇමතිවරයා ඇතුළු කිහිපදෙනෙක් පමණයි.
නමුත් වෙළෙඳපොළ විවෘත කිරීමෙන් පසු ඉදිරියේදී විදේශ සමාගම් සම්බන්ධයෙන් එසේ මිල තීරණය කිරීමේ අවස්ථාව ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට නොලැබෙන බව මේ අනුව පැහැදිලිවන කරුණකි.
දැනටමත් අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන විකිණීම සම්බන්ධයෙන් මිල තීරණය කිරීමේ හැකියාවක් ඛනිජ තෙල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට නැහැ.
ඛනිජ තෙල් ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණයි.
ඒ නියාමනය කිරීම සඳහා විධිමත් ආයතනයක් නෛතිකව පිහිටුවා නැති නිසයි.
ඒ නිසා රසායනාගාර පහසුකම් දැනට ඛනිජ තෙල් සංස්ථාවට පමණක් තිබෙනවා.
කොහොම වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඇති කරවූයේ විදුලිය, ජලය හා ඛනිජතෙල් නියාමනයටයි.
නමුත් එම කොමිසම යටතට මේ දක්වා ඇතුළත් කර තිබෙන්නේ විදුලිබල ක්‍ෂේත්‍රය පමණයි.
මේ අනුව පෙනී යන්නේ කුමක්ද?
අධිකරණය හා ආණ්ඩුව නැත්නම් විධායකය අතර කිසියම් ගැටීමක් තිබෙනවාද?
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සඳහා ස්වාධීන හා ගරු කටයුතු අධිකරණයක් බිහි වෙන්න ඕන.
නමුත් මේ වන විට රටේ තත්ත්වය කනපිට හැරෙමින් තිබෙන පරිසරයක් දකින්නට ලැබෙනවා.
අධිකරණයේ ස්වාධීනත්වය සේම ගරු කටයුතු බව රැකීමටත් මහජනතාව මැදිහත් වෙන්නත් අවශ්‍යයි.
එය සමාජයේ යහපැවැත්ම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදියේ පැවැත්ම සඳහාත් අත්‍යවශ්‍ය වැදගත් නිර්දේශයක් නොවන්නේද?
එහෙනම් අප පළමුවෙන්ම අධිකරණය පිළිබඳව කිසියම් නිර්වචනයක් එහෙම නැත්නම් අධිකරණ ධුරාවලිය පිළිබඳ කිසියම් සවිස්තර නිර්වචන පැහැදිලි කිරීමක් කරගත යුතුයි.
ලංකාවේ ප්‍රාථමික අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන යම් ධුරාවලියක් තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා තිබෙන්නේ කොළඹ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ කොළඹ සිටයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසීම විනිසුරුවරුන් තිදෙනෙක් ඉදිරියේ සිදු කරනවා.
අග්‍රවිනිශ්චයකාරතුමා සමඟ විනිසුරුවරුන් පෙර 17යි මැතකදී වුණ සංශෝධනය අනුව ඒ තත්ත්වය තවත් දිගු වුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1(7) ව්‍යාවස්ථාව අනුව පත්වීම් සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසින්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග කරනු ලබන්නේ විනිසුරුවරුන් තිදෙනෙක් ඉදිරියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ ස්වාධීනත්වය යනු ප්‍රජාවගේ පරම ජයග්‍රහණයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංශයක්.
ප්‍රජාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම භාරදී ඇත්තේ පාර්ලිමේන්තුවටයි.
ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාවේ දැක්වෙනවා.
එකී විධිවිධාන යටතේ නීතිය අනුව පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිබාර හා බලතල සම්බන්ධයෙන් වන ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට අනුව නීති ප්‍රකාරව පනවන එකී වරප්‍රසාද පරිබාහිර හෙවත් මුක්තියට හා බලතලවලට මැදිහත්ව කිසිදු අධිකරණයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් නැහැ.
එම විධානයෙන් ප්‍රකාශිත අනෙක් කොටසින් කියැවෙන්නේ අධිකරණයෙන් විනිශ්චය අධිකාරි හා ජනතාව සමඟ අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවයි.
මේ ව්‍යවස්ථාමය විධිවිධාන දෙකම අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලධාරියා බවට පාර්ලිමේන්තුව පත් වෙනවා.
වැදගත් කරුණ වන්නේ අධිකරණයට අධිකරණ කටයුතු මෙහෙයවිය හැක්කේ අධිකරණයේ අභිමතය අනුව නොව රටේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලබන නීති පනත්වලට සම්පූර්ණයෙන් අනුකූල වීමෙන්.
ජනතාවගේ එම ව්‍යවස්ථාදායක බලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) දැක්වෙනවා.
කොහොමහරිම අධිකරණයේ බලය ගැන විග්‍රහ කරනව නම් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූල බලය විමර්ශනය කිරීමයි.
ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියයි.
්ජඑ 1 (120) මූලික අයිතිවාසිකම් (්ජඑ 10, 12, 13) අභියාචනාධිකරණ බලය උපදේශනාත්මක අධිකරණය බලය (ජනාධිපති විසින්) යොමු කරනු ලබනවා.
ජනාධිපතිවරණ හා ජනමත විචාරණ පෙත්සම්.
පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීම පිළිබඳව.
පාර්ලිමේන්තුව සතුව ඇති වෙනත් බලයක් පිළිබඳව උපදේශාත්මක බලය.
නීතිඥවරුන් පත් කිරීම ඉවත් කිරීම හා නීතිඥවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග පිළිබඳ නඩු විභාග කිරීම.
ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ බලයට එම කරුණු අයත් වෙනවා.
අභියාචනාධිකරණ බලය.
අභියාචනාධිකරණ බලය ප්‍රතිශෝධනය කිරීමේ බලය.
රටේ ආඥා නිකුත් කිරීමේ බලය.
මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය.
අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාග කිරීමේ බලය.
අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් 20කගෙන් සමන්විත වෙනවා.
මෙහිදී ව්‍යවස්ථාවක් යනු කුමක්ද කියල පැහැදිලි කරගමු පළමුවෙන්ම.
යම් මානව සංවිධානයක සාර්ථක සංවිධානාත්මක පැවැත්මක් උදෙසා මෙන්ම අනපේක්ෂිත අවස්ථාවකදී හෝ අර්බුදකාරී අවස්ථාවක ඇතිවන ගැටලු‍ සඳහා මූණපෑමට ප්‍රයෝජනයට ගතහැකි අන්දමේ නීති සැලැස්මක් තිබීම ඉතා වැදගත්.
සමාජයක හෝ සංවිධානයක පැවැත්මට ලිඛිත නීතිය ඉතාම වැදගත්.
ප්‍රයෝජනවත් වන්නේ පැන නගින ගැටලු‍ නිරාකරණයට පිළියම් සෙවීමට පමණක් නොවේ.
ගැටලු‍ නිරාකරණයට අවශ්‍යව පවතින නීති රීති ප්‍රමාණවත් නොවන්නේ නම් අවස්ථාවෝචිතව නව නීති රීති ඇති කිරීමට හෝ පවතින නීති සංශෝධනයට කිරීමටත් එයින් පිටුවහලක් ලැබෙනවා.
ඒ අනුව ව්‍යවස්ථාවක් යනු වැඩිදුරටත් විවරණය කරනවා නම් මෙහෙම කියන්න පුළුවන්.
කිසියම් සංවිධානයක සාමාජිකයන්ගේ බලතල අයිතිවාසිකම් හා යුතුකම් දක්වා තිබෙන නිශ්චිත අරමුණු සහිත ලියැවිල්ලක් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
එම ලියැවිල්ලේ ඇති හිමිකම් දිනැගැනීමට අවශ්‍ය ආයතන හා නිලධාරින් සිටින එම ආයතන පාලනය කිරීමට පනවා ඇති නීති සමුදායක් ලෙස හඳුනාගන්න පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටක මහජනතාවගේ යහපත සඳහා කටයුතු කිරීමේදී ඉතාම වැදගත්ම මූලධර්මයක්.
රට කරවීමේදී රාජ්‍යයකට ද නීති රීති සම්පාදනය කර තිබීම අත්‍යවශ්‍යයි.
රටක කරවීම සඳහා රාජ්‍යයක් විසින් සකස් කර ඇති නීති රීති සමුදායන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් විවරණය වෙනවා.
සංවිධානයක සාමාජිකයින් ඒ ව්‍යවස්ථාව පසුපස සිටිනවා.
නූතන රාජ්‍යයක ජනතාව රාජ්‍යයේ ව්‍යවස්ථාව පසුපස සිටිනවා.
රටේ පාලන ක්‍රමයක් ඇති කර පවත්වා ගෙන යෑම සේම රජයකට ඇති බලය සීමා කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් නීති රීති තුළ අන්තර්ගත වෙනවා.
නමුත් එය හුදෙක් පාලකයින්ගේ සුබසිද්ධිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බොහෝ නීති සහ රීති අන්තර්ගත බව අප තේරුම්ගන්න අවශ්‍යයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යම් ලෝකයේ රටවල්වල විවිධ ආකාරයෙන් තිබෙනවා.
එය ලිඛිත අලිඛිත වෙන්න පුළුවන්.
එමෙන්ම නම්‍ය අනම්‍ය වෙන්නත් පුළුවන්.
ලංකාවේ තිබෙන්නේ ලිඛිත ව්‍යවස්ථාවක්.
නම්‍ය අනම්‍ය ව්‍යවස්ථාත් ලෝකයේ තියෙනවා එය පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථා.
එමෙන්ම ඒකීය හා සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත් ලෝකයේ තියෙනවා.
ස්වස්ථානික ව්‍යවස්ථාව තිබෙනවා.
උදාහරණයක් විදියට ඉන්දියාව සලකන්න පුළුවන්.
මධ්‍යම බලය හා සන්ධීය බලය සහිත ආණ්ඩුක්‍රම පවතින රටවල ප්‍රාන්ත රාජ්‍ය දකින්නට ලැබෙනවා.
උදාහරණයක් විදියට ඉන්දියාව කියල දකින්න පුළුවන්.
මේ පිළිබඳව පසුව වැඩි විස්තරයක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.
දැනට අධිකරණවල භූමිකාවන් මොනවද කියල කෙටියෙන් විමසාගෙන මේ පිළිබඳව කරුණු දක්වන්න පුළුවන්.
මහාධිකරණය අපරාධ නඩු විභාග කර මරණීය දණ්ඩනය නියම කිරීමේ බලය තිබෙනවා.
ජූරියක් සහිතව හෝ රහිතව නඩු විභාග කිරීමේ බලය තිබෙනවා.
මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදීමට නොහැකි නඩු තීන්දුවලදී ඇප ලබාදීමේ හැකියාව මහාධිකරණයට තියෙනවා.
මහේස්ත්‍රාත් අධිකරණයේ දෙන ලද තීන්දුවලට එරෙහිව අභියාචනා කිරීමේ බලය පුරවැසියන්ට තියෙනවා.
කම්කරු විනිශ්චය සභාව විසින් යොමු කරන අභියාචනා බලයත් මහාධිකරණයට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා.
පළාත්බද සිවිල් අධිකරණය 2006 අංක 54 දරණ පළාත්බද මහාධිකරණය විශේෂ විධිවිධාන පනත යටතේ පළාත්බද සිවිල් අධිකරණය පිහිටුවා තිබෙනවා.
දිස්ත්‍රික් අධිකරණයකින් දෙන ලද නඩුවල තීන්දුවලට එරෙහිව අභියාචනා විභාග කිරීමේ හැකියාව සිවිල් පළාත්බද මහාධිකරණයට හිමි වෙනවා.
එමෙන්ම පළාත් මහාධිකරණය ද තියෙනවා.
කම්කරු විනිශ්චය සභාවෙන් දෙන තීන්දුවලට එරෙහිව අභියාචනා කිරීමේ බලය පළාත් සීමාව තුළ රීට් අධිකරණය බලය ක්‍රියාත්මක කිරීම.
මේ රීඩ් යනු කුමක්ද යන්න ඉදිරියේදී අපි තවදුරටත් නිර්වචනය කර ගමු.
වානිජ මහාධිකරණය ලක්ෂ 50ට වඩා වැඩි වටිනාකමකින් යුතු මූල්‍ය ගනුදෙනුවලට අදාළව නඩු කටයුතු වෘත්තීය දේපලවලට අදාළ නඩු කටයුතු එමගින් දෙනු ලබන තීන්දුවකට අනුව අභියාචනය කිරීමට හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින්.
දිස්ත්‍රික් උසාවි
සියලු‍ම සිවිල් නඩු කිරීමේ බලය තිබෙනවා.
උදාහරණයක් විදිහට, ගෙවල් කුලී, ඉඩම්, දික්කසාද, බෙදුම්, භාරකාරත්වය, තෙස්තමේන්තු, වන්දි, අපහාස කිරීමේ නඩු වලට වන්දි ලබාගැනීම ආදී ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් උසාවිවලට පුළුවන්.
මහෙස්ත්‍රාත් අධිකරණය
මහේස්ත්‍රාත් අධිකරණය යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විශේෂිතව දක්වා ඇති අපරාධ.
අවුරුදු දෙකට අඩු සිරදඬුවමක් හා රු. 1500ක දඩයක් නියම කළ හැකි අපරාධ.
මෝටර් රථ වාහන වැරදි
ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන වෙනත් පනත්වලින් දක්වා ඇති වැරදි සඳහා ක්‍රියාත්මක කිරිමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණය සතුයි.
කම්කරු විනිශ්චය සභාව 1950 අංක 43 පනත යටතේ ස්ථාපිත කර තිබෙනවා.
සේවයෙන් ඉවත් කර මාස 6ක් ඇතුළත ඒ සඳහා ඉල්ලීම් කම්කරු විනිශ්චය සභාවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
සමථ මණ්ඩලය
රුපියල් ලක්ෂ 5ට අඩු සියලු‍ම සිවිල් නඩු සඳහා ස්ථාපිත කර තිබෙන මෑත බිහි වූ ආයතනයක් තමයි සමථ මණ්ඩලය.
මේ සඳහා නීතිඥවරුන්ට පෙනී සිටින්න බැහැ.
පුරවැසියන් පුරවැසින්ගේ ප්‍රශ්න සමථය කරගැනීමක් තමයි සමථ මණ්ඩලය පිහිටුවීමේ ඉලක්කය.
ක්වාසි අධිකරණය
ක්වාසි අධිකරණය 1951 අංක 13 දරණ පනත මගින් මුස්ලිම් දික්කසාද හා නඩත්තු නඩු පිළිබඳව විභාග කිරිම සඳහා ස්ථාපිත කර තිබෙනවා.
නීතිඥවරුන් ඉදිරියේ පෙනී සිටීමක් නොකරන අතර මෙහි අභියාචනය ක්වාසි මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න පුළුවන්.
මේ පිළිබඳව තවදුරටත් අපි ඉදිරි ලේඛනවලින් තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලධර්මය සම්බන්ධයෙන් එහි මූලික මූලධර්ම හතරකින් සමන්විතයි.
නීතියේ ආධිපත්‍යය, බලතල බෙදාහැරීම, ව්‍යවස්ථාදායකගේ උත්තරීතර භාවය, අධිකරණයේ ස්වාධීනත්වය මේ සියල්ලක් මනාව ලංකාවේ අධිකරණය පද්ධතිය තුළින් ක්‍රියාත්මක වනවාද යන්න අප සැලකිලිමත් විය යුතු කරුණක්.
ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක් වන බණ්ඩාරනායක මැතිණියගේ නඩු තීන්දුවකට අදාළ සියලු‍ වාර්තා අප ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
ඒකට හේතු සාධක වූ පසුබිමත් මෙහිදී යම් දුරකට පැහැදිලි කරන්න අවශ්‍යයි.
අධිකරණය හා විධායකය අතර මතු වූ ගැටලු‍වක් අරඹයා 2008 වසර වගේ කාලය තුළ ඇතිවුණු ගැටලු‍වක් මත දුරාචාර රාජ්‍ය නායකයකු වන මහින්ද රාජපක්ෂ විසින් පත් කරගන්නා ලද අගවිනිසුරුවරියව ඔහුගේ මෙහෙයවීම මතම ඉවත් කිරීමක් සිදු වෙනවා.
ඊට පෙර එහි පසුබිම හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතායි.
අධිකරණය හා විධායකය අතර 2008 වර්ෂය තුළ දී මතු වී තිබුණු ගැටුම වර්ධනය වෙමින් තිබුණා.
එම ගැටුම බලවත් ලෙස ප්‍රකාශ වූ අවස්ථාවක් වූයේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමයි.
ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩු ඉතිහාසයේ ජනාධිපතිවරයකු වගඋත්තරකරුවකු කෙරුණු හා ඒ පිළිබඳව අධිකරණය පිළිගත් පළමු අවස්ථාව සරත් එන්. සිල්වා අගවිනිසුරු වශයෙන් සිටියදී සිදු වුණා.
ජනාධිපති පෙත්සමේ වගඋත්තර කරුවකු කර තිබෙන නිසා පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා කිව්වේ මෙහෙම කරුණක්.
නීතියට ඉහළින් කිසිවකුටත් සිටිය නොහැකි බවයි.
නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතියට යටත් තත්ත්වයට ගත හැකි නම් එය වඩාත් හොඳ සමාජ රටාවකට පසුබිමක්.
නමුත් ඒ සිද්ධිය අරඹයා ඇති වූ තත්ත්වයේ ගැටලු‍ව තිරය පිටුපස කතාව පසුවට ප්‍රකාශයට පත් කිරීමේ හිමිකම දැනට ලියුම්කරු තබාගන්නවා.
මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී ක්‍රියාත්මක වූ සම්ප්‍රදාය අනුව මොන තරම් පෙරළිකාර අදහස් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූවත් ජනාධිපති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරු කරන්නේ නැහැ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ වගඋත්තරකරුවකු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය ඒ වන විට භාරගන්නා තත්ත්වයක් ද තිබුණේ නැහැ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව තිබූ පෙත්සම විභාගයට ගැනීම සරත් එන්. සිල්වා එදා තීරණය කළා.
එය අධිකරණය විසින් විධායකයට දෙන ලද සංඥාවක් ලෙස සලකන්න පුළුවන්.
භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර ඒ වන විටත් වරදකරුවකු ලෙස නම් කිරීමට සරත් එන්. සිල්වා පියවරගෙන තිබුණා.
පසුව ඔහු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාරදුන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා එය භාරගත්තේ නැහැ.
ඒ මගින් විධායකය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කිසියම් සංඥාවක් එදා ලබාදුන්නා යැයි කියන්න පුළුවන්.
අධිකරණය විසින් දෙන ලද නියෝගයකට එරෙහිව බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම චෝදනාවක් යටතේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත භික්ෂුන් වහන්සේලා පිරිසක් අගවිනිසුරුට එරෙහිව උද්ඝෝෂණයක කරන තත්ත්වයට තල්ලු‍ වුණා.
අගවිනිසුරු දී තිබෙන නඩු තීන්දු පරීක්ෂා කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් උන් වහන්සේලා ජනාධිපතිගෙන් එදා ඉල්ලා සිටියා.
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගෙන සිටි එම භික්ෂූන් වහන්සේ නිදහස් කිරීමෙන් පසු භික්ෂු උද්ඝෝෂණ ව්‍යාපාරය වාෂ්ප වුණා.
ඒ සමඟම පී. බී. ජයසුන්දර ආරවුල ඉන් පසුව කරලියට ආවා.
අධිකරණය විසින් දෙන ලද තීන්දුවෙන් පසුත් ජයසුන්දර මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ලේකම් තනතුරේ රැඳී සිටීමයි.
ඊට එරෙහිව ඔහු නිතිමය වශයෙන් කොටු කරන ක්‍රියාමාර්ගයක් අධිකරණයෙන් යම් දුරකට ක්‍රියාත්මක වෙමින් තිබුණා.
එනපොට හොඳ නැති බව තේරුම්ගත් ජයසුන්දර තනතුරෙන් එදා ඉවත් වූවා පමණක් නොව එවර ඔහුගේ ඉවත්වීම පසුව ජනාධිපතිවරයා පිළිගත්තා.
එම ආරවුලේදී අගවිනිසුරු ලබාගත් ජයග්‍රහණයක් එදා කියල කිව්වොත් වඩා නිවැරදියි.
නමුත් මේ වන විට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාත් මහින්ද රාජපක්ෂත් නැවත අඹ යහලුවන් වී තිබෙනවා.
ඊළඟට විධායකට බලපාන තවත් නඩු කිහිපයක් 2008 සැප්තැම්බර් 22 තිබුණා.
එක් නඩුවක් හෙළ උරුමයට අදාළ වුණා.
අතීතයේ හා අගවිනිසුරු හා හෙළ උරුමය අතර වූයේ සමීප මිත්‍ර සම්බන්ධතාවයක්.
මොන මොන හේතු නිසා හෝ ඒ මිත්‍ර සම්බන්ධතාවය ටික කලකට පසු පළිදු වී තිබුණා.
පරිසර අමාත්‍යංශය පනවා තිබූ පරිසර බදු හතරකට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් අගවිනිසුරුවරයා එම පරිසර බදු හතරට එරෙහිව අතුරු තහනම් නියෝගයක් එදා ලබාදුන්නා.
රාජ්‍ය නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයකට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම එදිනම සලකා බලන ලද තවත් වැදගත් නඩුවක් වුණා.
නීතිපති සිය එවකට නීතිපතිව සිටියේ සී. ආර්. ද සිල්වා මහතායි.
ඔහුගේ සේවය දීර්ඝ කර තිබුණේ ද මේ යටතේය.
අගවිනිසුරු සරත් එන් සිල්වා විශ්‍රාම ගැනීමෙන් පසුව එම පුරප්පාඩුව පිරවීමට නියමිතව සිටි පුද්ගලයා වූයේ සී. ආර්. ද සිල්වා මහතායි.
අගවිනිසුරු හා නීතිපති අතර යම් නොහඳකමක් තිබුණු බවට එවකට වාර්තා වුණා.
පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ තර්කය වූයේ සමස්තයක් වශයෙන් ගෙන මිස තනි පුද්ගලයන් වශයෙන් ගෙන සේවය දීර්ඝ කිරීමක් නීතියට පටහැනි බවයි.
ඒ මගින් ජනාධිපතිවරයා තමන්ට ලැබී තිබෙන විධායක බලය ඉක්මවා ක්‍රියා කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබුණා.
අගවිනිසුරුවරයාගේ මතය වූයේ ද නීති සම්පාදනය ඇත්තේ ව්‍යවස්ථාදායකට නිසා ඒ බලය විධායක වෙත පවරා ගත නොහැකි බව අගවිනිසුරුවරයා ප්‍රකාශ කරා.
ඒ අනුව නීතිපතිගේ සේවය දීර්ඝ කිරීම නීතිමය වශයෙන් අභියෝගයට ලක් කිරීමක් සිදු වුණා.
නීතිපති වශයෙන් ඔහු ඉදිරිපත් කළ නඩු තවදුරටත් අභියෝගයට ලක් විය හැකි බවත් එවකට හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළා.
ඒ අනුව භාණ්ඩාගාර ලේකම් ජයසුන්දර අවලංගු කෙරෙනු ආකාරයට නීතිපති සී. ආර්. ද සිල්වා අවලංගු කිරීමට සරත් එන්. සිල්වා එදා ක්‍රියා කරා.
ඔහුගේ සේවය දීර්ඝ කිරීම නීති විරෝධී බව ප්‍රකාශ වුණොත් නීතිපති තනතුර අහෝසි වනවා පමණක් නොව අගවිනිසුරු වීමට හැකි වන්නේද නැති බව මේ තත්ත්වය අනුව ඔබට දැන් පැහැදිලි ඇති.
ඒ අනුව මෙවැනි අධිකරණය හා විධායකය අතර ගැටුම උග්‍ර වන පරිසරය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරියක් අලුතින් පත් කිරීමට කාලය එනතුරු එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ තටමමින් සිටියා.
කොහොම වෙතත් නඩු ගණනාවක තීන්දු අදහස් ප්‍රකාශ කිරීම 2008 සැප්තැම්බර් 22 තවත් සිද්ධියක් සිදු වුණා.
ඒ ආරක්ෂක අමාත්‍යංශයේ කොළඹ ජීවත් වන දෙමළ ජනතාවට අදාළව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්තියක් බල රහිත කරන්නට සරත් එන්. සිල්වා අගවිනිසුරු වරයා එදා ක්‍රියා කරා.
හේතුවක් නැතිව කොළඹ රැඳී සිටින දෙමළ ජනයා සිය ගම් බිම්වලට යා යුතුව බව ආරක්ෂක අමාත්‍යාංශයේ එදා මතය වුණා.
කොළඹ නගරයේ ආරක්ෂව සඳහා එවැනි ප්‍රතිපත්තිය මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය බව එවකට ආරක්ෂක ලේකම් වරයාගෙන් ප්‍රකාශ වුණා.
නමුත් එදින සලකා බලන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේදී කිසිදු දෙමළ මිනිසෙක් සිය කැමැත්තෙන් තොරව උතුරට පිටත් නොකළ යුතු බව අගවිනිසුරුවරයා නියෝග කළා.
මෙසේ දිගින් දිගටම විධායකය නොරිස්සන තත්ත්වය තීන්දු ප්‍රකාශය කරන වර්ෂයක් බවට 2008 වර්ෂය පත් වුණා.
හිටපු අගවිනිසුරු එදා මෙසේ හැසිරුණේ සිය පෞද්ගලික න්‍යායපත්‍රයක් නිසයි.
හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද රාජපක්ෂ නිදහස් කිරීම අරඹයා සරත් එන්. සිල්වා සුවිශාල ලාභයක් මහින්දගෙන් එදා අපේක්ෂා කළා.
එනම් මහින්දගේ රජයේ අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීම යැයි එදා මහජනතාව හා විද්වතුන් අතර ප්‍රචලිත මේ පිළිබඳ නිමිත්ත යැයි කීම වඩාත් නිවැරදියි.
ඒ පිළිබඳ පුළුල් සාකච්ඡා කිරීම හා විග්‍රහ කිරීම විචාරයට ලක් කිරීම පසුවට දැනට තබාගැනේ.
එදිනම 17 වෙනි ව්‍යවස්ථාවට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් පත් නොකිරීමෙන් රාජ්‍ය සේවාව හා පොලිස් සේවාව අවුල් ජාලයක් බවට පත් ව තිබෙන බවත් අග්‍රවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘතව ප්‍රකාශ කළා.
ව්‍යවස්ථාව සභාව පත් කිරීමට සඳහා ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා එකඟතාවයකින් ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් අවශ්‍ය පාර්ශ්වයන් එක්වී සාකච්ඡා කොට සභිකයින් නම් කිරීම පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙස මෙදින නියෝග කරා.
ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව මහින්ද එදා වෙනත් ආයතනවලට පමණක් නොව අභියාචනාධිකරණයට පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයටද පුද්ගලයින් පත් කර තිබෙනවා.
එහෙත් මීට පෙර 17 වන ව්‍යවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් වුණ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලදී ද ව්‍යවස්ථා සභාවෙන් තොරව ඒ යටතේ ඇති තනතුරුවලට හා කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කිරීම වරදක් ලෙස එදා අධිකරණය ද සැලකුවේ නැහැ.
එවැනි දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ අධිකරණයක් සුපුරුදු ගමන් මග හදිසියේ සරත් එන්. සිල්වා වෙනස් කරේ කුමක් සඳහා ද?
ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථයන් සඳහා ද? යනුවෙන් වගකිව යුතු ජනමාධ්‍ය මනාව විවරණය කළේ නැහැ.
ඒ පිළිබඳ දීර්ඝ හෙළිදරව්වක් ඉදිරියේදී ඔබ බලාරොත්තු වන්න.
කොහොම හරිම මේ දෙපක්ෂයේ ගැටුම අවසන් වූයේ ශිරණි බණ්ඩාරනායක පසු කලක අග විනිසුරුකමට පත් කිරීමෙන්.
කෙසේ වුවද අගවිනිසුරු බවට පත් වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙන් තවදුරටත් රාජ්‍ය දුරාචාරය මහින්ද රාජපක්ෂ ක්‍රියා කිරීමට යාමේදි ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුණා.
එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?
ඒ පාර්ලිමේන්තුව නඩු අසා ඇයව තනතුරෙන් පහ කිරීමයි.
ඒ පහ කිරීම සම්බන්ධව සම්පුර්ණ නඩු වාර්තාව ඔබට කියවීමට අවස්ථාව ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.
ඉන් පසුව ඒ පිළිබඳව විධිමත් වෘත්තීමය සංවාදයක් අප ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
එය ඔබට සෞන්දර්යාත්මක කියවීමක් මෙන්ම ඔබේ මනස බුද්ධිමය සංවාදයකට හැරවුම් කිරීමේ රටාවක් ද විය හැකියි.

ශිරාණි බණ්ඩාරනායක නඩු වාර්තාව කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න