• රුපියල් මිලියනයක සීමාව දක්වා මුල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සදහා යොමු කිරීම අනිවාර්යයි.
  • සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සමථ මුල මණ්ඩල පිහිටුවා තිබෙනවා
  • රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල සදහා යොමු කළ යුතුයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබදව පැහැදිලි කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ඒ.එස්.පී.වීරසුරිය මහත්මියමේ බව සදහන් කළාය
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී නීතිඥ චින්තක හේරත් මහතා සහ සමථ පුහුණු නිලධාරීනි නීතිඥ නිලුෂා පත්ම කුමාරී මහත්මිය ද මෙහිදී අදහස් පළ කරන ලදී.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ඒ.එස්.පී.වීරසුරිය මහත්මිය මෙහිදී අදහස් පළ කරමින් මෙසේ ද සදහන් කලාය.
එක් දහස් නවසීය අසු අටේ අංක 72 දරණ සමථ මණ්ඩල කොමිෂන් සභා පනත අනුව 1990 වසරේදී සමථ මණ්ඩල ස්ථාපිත කිරීම ආරම්භ කළා. ඒ අනුව මේ වන විට දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සමථ මුල මණ්ඩල පිහිටුවා තිබෙනවා. ඒවායෙහි සමථ මුල මණ්ඩල සාමාජිකයින් 8500 ක් ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා. 2003 අංක 21 දරණ සමථ මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පනතට අනුව දිස්ත්‍රික් මුල්‍ය සහ ඉඩම් සමථ මුල මණ්ඩල පිහිටුවීම ආරම්භ කළා. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 16 ක ඉඩම් සමථ මුල මණ්ඩල පිහිටුවා ඇති අතර, මුල්‍ය ආරවුල් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 06 ක ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙනවා. සමථ මණ්ඩල සදහා වාර්ෂිකව යොමු වන ආරවුල් ප්‍රමාණයෙන් සීයයට 70 ක් සදහා විසදුම් ලබාදීම කරනු ලබනවා. අධිකරණය සදහා යොමු වීමේදී ජනතාවට ඒ සදහා මුදල් කාලය කැප කිරීමට සිදු වෙනවා. එහෙත් සමථ මණ්ඩල සදහා යොමු වීමේදී අවම වියදමකින් විසදුම් ලබා ගත හැකියි.
ඒ නිසා තම ආරවුල් සම්බන්ධ විසදුම් ලබා ගැනීමට සමථ මණ්ඩල සදහා යොමු වන ලෙස ඉල්ලා සිටින බව ද ලේකම්වරිය සදහන් කළාය.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී, නීතිඥ, චින්තක හේරත් මහතා අදහස් පළ කරමින් මෙසේ සදහන් කළේය.
වසර 33 ක කාලයක සිට මේ රටේ සමථ මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 2003 අංක 21 දරණ සමථ මණ්ඩල විශේෂ ආරවුල් නිරාකරණ කිරීමේ පනත අනුව ඉඩම් සහ මුල්‍ය ආරවුල් විසදීමට විශේෂ වර්ගවල සමථ මණ්ඩල ස්ථාපිත කිරීම ආරම්භ වුණා. විශේෂයෙන් යුද්ධයෙන් අවසන්වීමත් සමග උතුරු සහ නැගෙනහිර ජනතාවට පැවති ඉඩම් ආරවුල් විසදීම සදහා එම පළාත් දෙක තුළ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් පිළිබදව වු සමථ මණ්ඩල ස්ථාපිත කලා. මේ වන විට උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, පොලොන්නරුව හා රත්නපුර යන දිස්ත්‍රික්කවල විශේෂ ඉඩම් සමථ මණ්ඩල පිහිටුවා තිබෙනවා. එමෙන්ම කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල,අනුරාධපුර, කුරුණෑගල, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් සම්බන්ධ විශේෂ මුල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට ආරම්භ කර තිබෙනවා. මෙම සමථ මණ්ඩල සදහා පත් කරනු ලබන සමථ මූල මණ්ඩල සාමාජිකයින්ට ඉඩම් පිළිබදව විශේෂ පුහුණුව ලබා දෙන අතරම ආරවුල් පිළිබදව පැමිණිලි විසදීමේදී ඔවුන්ට ඇති වන ගැටළුවලට උපදෙස් ලබා ගැනීම සදහා විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරනු ලබනවා. ඒ අනුව රුපියල් මිලියනයක මුල්‍ය සීමාවක් දක්වා පැමිණිලි පිළිබදව ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සදහා අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල සදහා ඉදිරිපත් කළ යුතුයි. මෙම මුල්‍ය සීමාවන්ට වඩා වැඩි වු පැමිණිලි වුවද පාර්ශ්වයන්ගේ එකගතාවය අනුව විශේෂ සමථ මණ්ඩල සදහා ඉදිරිපත් කළ හැකියි. 2023 වසරේ ඔක්තෝම්බර් මස 31 වන දින වන විට පැමිණිලි එක් ලක්ෂ හතලිස් එක් දහස් දෙසිය පනස් අටක් සමථ මුල මණ්ඩල සදහා යොමුව තිබෙනවා. ඉන් පැමිණිලි, අසු හය දහස් හයසිය විසි හතරක් බැංකු සහ මුල්‍ය ආයතනවලින් යොමුව තිබෙනවා. පොලීසියෙන් ආරවුල් සම්බන්ධ පැමිණිලි තිස් එක් දහස් දෙසිය අනු අටක්, අධිකරණයෙන් පැමිණි පහලොස් දහස් හාරසිය හැට නවයක් සහ පෞද්ගලිකව පැමිණිලි හය දහස් අට සිය හැත්තෑ පහක් යොමුව තිබෙනවා. එමෙන්ම මේ වසරේ ඔක්තෝම්බර් 31 දක්වා ලැබී ඇති පැමිණිලි වලින් 63218 ක් සාකච්ඡා කර තිබෙනවා. ඉන් 43819 ක් සදහා විසදුම් ලබා දීමට කටයුතු කළා. විශේෂයෙන් සමථ මණ්ඩල සදහා පෞද්ගලිකව ආරවුල් පිළිබදව පැමිණිලි යොමු වීම සිදු වන්නේ ඉතා අවම වශයෙන් බව ද සමථ පුහුණු නිලධාරීවරයා සදහන් කළේය.
සමථ පුහුණු නිලධාරී නීතිඥ නිලුෂා පත්ම කුමාරී මහත්මිය අදහස් පළ කරමින් මෙසේ සදහන් කළාය.
පෞද්ගලිකව සමථ මණ්ඩල සදහා පැමිණිලි යොමු කළ හැකි වුවත් එසේ පැමිණිලි යොමු වන්නේ ඉතා අඩුවෙන් බව සදහන් කළ හැකියි. තමන්ට පවතින ආරවුලක් සම්බන්ධ පැමිණිලි සමථ නිලධාරී මාර්ගයෙන් හෝ සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීමෙන් ලබා දිය හැකියි. බොහොමයක් සාමාන්‍ය ජනතාවට සමථ මණ්ඩල තුළින් ලබා ගත හැකි සේවාව පිළිබදව නිසි අවබෝධයක් නැහැ.
අඩු වියදමකින් තමන්ට පවතින ගැටළුවට විසදුම් ලබා ගැනීමේ හැකියාව සමථ මණ්ඩල තුළින් පවතිනවා. විශේෂයෙන් පාසැල් ළමුන්ට සමථ මණ්ඩල ක්‍රමය පිළිබදව අවබෝධය ලබාදීම සදහා පාසැල් සමථකරණ ඒකක පිහිටුවීමට කටයුතු කර ඇති බව ද ඇය සදහන් කළාය.
අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණි. සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සහකාර ලේකම් තක්ෂිලා නයන්ති සිල්වා මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුවාය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න