(අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා නොගැනීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපති ජනතාවට වගකිව යුතු තැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම බව මෙම කෙටි ලිපියෙන් පෙන්වා දී ඇත) විධායක ජනාධිපතිවරයාව ජනතාව විසින් තෝරා පත් කරගත්තද, ජනතාවට ජනාධිපති සමඟ නීත්‍යානුකූලව සම්බන්ධ වීමට ඇත්තේ එකම නීතිමය මාර්ගයකි. ඒ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පමණි. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති එයට පිළිතුරු ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය යුතුය. නඩුව දින්නද, පැරදුනද ජනාධිපතිට එරෙහිව පවරන මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිට නඩු පවරන්නාගේ ඉල්ලීම ඇසීමට සහ පිළිතුරු දීමට නීතිමය බැඳීමක් ඇත. මේ ආකාරයටම ජනතාවගේ වෙනත් ඉල්ලීම්, ගැටළු, යෝජනා සම්බන්ධවත් ජනාධිපතිවරයා ජනතාවට පිළිතුරු, විසදුම් දීමට නීතිමය යාන්ත්‍රණයක් ඇතිකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. වත්මන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ “ගම සමඟ පිළිසඳරක්” යන්න ව්‍යවස්ථාවෙන් පිළිගත් නීතිමය යාන්ත්‍රණයක් නොවේ. එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිතිවිල්ලකි. විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයා ජනතාවට වගකියන සහ ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනතාවට විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය ක්‍රියා පිළිවෙලක් ඉදිරිපත් කිරීමය. එවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී ඔවුන්ගේ පුද්ගලික අදහස් අනුව ජනතා ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිගේ විසඳුම්, යෝජනා ඉදිරිපත් කරන වත්මන් ක්‍රමය වෙනස් කළ හැකිය. ජනතාවගේ ඉල්ලීම්, ගැටළු, යෝජනා සඳහා ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු ඉදිරිපත් කිරීම දින 30ක් ඇතුළත කිරීමට ජනාධිපතිට නියම කළ හැකි අතර, ජනාධිපතිවරයාගේ විසඳුම්, පිළිතුරු වලින් අතෘප්තියට පත්වන තැනැත්තාට එයට එරෙහිව නීතිමය සහන ලබා ගැනීමට යාන්ත්‍රණයක් පවතින අධිකරණ ක්‍රමය හරහා ඇති කළ යුතුය. දැනට පවතින ජනාධිපතිට එරෙහිව පවතින මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය තව දුරටත් පුළුල් කළ යුතු අතර “විශේෂ දිසා අධිකරණය” පිහිටුවා එහි නඩු පැවරීම දක්වා මෙය ව්‍යාප්ත කළ යුතුය. ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි “විශේෂ දිසා අධිකරණය” පිහිටුවීම ජනාධිපති, ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගය වන අතර, ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට හෝ අගමැතිවරයාට ලබා දීමෙන් හෝ මාරු කිරීමෙන් ජනතාවට අත්වන සෙතක් නැත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න