2 වන කොටස
ලංකාවේ මේ වන විට දිගින් දිගටම පොදු මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ අල්ලස් ගැනීම, දූෂණය හා මහජන මුදල් මංකොල්ලකෑම පිළිබඳව.
මේ මහජන මුදල් කොල්ලකෑම පිළිබඳව රටක පාලනය සමබරව පවත්වාගෙන යන හා නොයන තත්ත්වය පැහැදිලි කරනවා.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන තුන මගින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණත් රටේ දූෂිත දේශපාලන සමාජ ව්‍යුහය දිගින් දිගටම දිගුවෙමින් තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු බහුතරයක් ද දූෂණය පැහැදිලිව දිගින් දිගටම අරගෙන යනවා.
ස්වාධීන කොමිෂන් සභා තිබුණත් එහි බලතලනය මනාව සිදුවෙනවාද කියන ගැටලු‍වත් මහජනතාවට ප්‍රශ්නකාරී වෙමින් තිබෙනවා.
මේ අතර බලය බෙදීමක් සම්බන්ධවත් ජනාධිපතිවරයා මේ වන විටත් මැදිහත් වෙලා තියෙනවා.
රාජ්‍ය පාලනයේදී විශේෂිත වූ ඉහත සඳහන් ආයතන පොදුවේ සාමුහිකව ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් සිදු කරනවාද කියන එක ගැටලු‍ සහගත තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා.
රාජ්‍ය බලය සම්බන්ධයෙන් ආයතන අතර ගැටලු‍ සහගත තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය ප්‍රකට කරුණක්.
ඊටත් වඩා රාජ්‍ය දූෂණය, මහජන දේපල කොල්ලකෑම පිළිබඳව විධිමත් නීති ලංකාව සතුද කියන ප්‍රශ්නය තවදුරටත් ඉස්මතු වෙමින් තිබෙනවා.
ඒ නිසා ලංකාවේ නීති පැනවීමේ කාර්යසාධනය පිළිබඳව අප පළමුවෙන් කතා කළ යුතුයි.
ඒ වගේම දූෂණයෙන් ඉපැයූ දේපළ පවරාගැනීමට විධිමත් නීති ලංකාව සතුද කියල මෑතකදීත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී පනතක් සම්මත වුණා.
නමුත් ඊටත් ඔබ්බට යනකොට 1917 අංක 09 දරණ භාර ආඥාපනත ප්‍රතිපාදන මනාව රාජ්‍ය අංශය යොදා ගන්නවද අධිකරණ ක්‍රියාවලදී යන ප්‍රශ්නය අරඹයා මේ ලේඛනය ඉදිරියට ගෙන යන්න බලාපොරොතතු වෙනවා.
මීට පෙරත් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරල තියෙනවා.
ලංකාවේ රාජ්‍ය නායකයා විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්
උපරිමාධිකරණයක් සහිත අධිකරණ පද්ධතියකින් යුක්තිය පසඳලීම සිදුවෙනවා.
මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලතල පැවරී තියෙනවා.
ඒ කියන්නේ නීති සෑදීමේ පරම හිමිකම තිබෙන්නේ පාර්ලිමේන්තුවට.
අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත්කරගනු ලබනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තෝරාගත් පිරිසකගෙන් තමයි එය සිදුවන්නේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය නැහැ.
පාර්ලිමේන්තුවේ කටයුතුවලට සම්බන්ධ වීමේ අයිතිය තියෙනවා.
උපරිමාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීමේ අවසාන බලධාරියා වන්නේ ජනාධිපතිවරයායි.
යම් ප්‍රමාණයක බලය බෙදීමක් මෙන්ම බලතුලනයක් සහිත පාලන තන්ත්‍රයක් මෙරට ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලු‍ව මතුවී තිබෙන්නේ මෙන්න මේ කරුණු අරඹයායි.
බොහෝ වෙලාවට විවිධ හේතු මත පාර්ලිමේන්තුවේ පනත් කල් දැමීම දිගුවීම සිදුවෙනවා.
මෙම පනත් සකස් වන විට විමර්ශන බුද්ධියෙන් කටයුතු කරලා තියෙනවාද කියන ප්‍රශ්නය මතු වන්නේ අධිකරණ ක්‍රියාවලියකදී බොහෝ දූෂණ නඩු ප්‍රතික්ෂේප වන පරිසරයක් නිසා.
ඒ නිසා ඒ සම්බන්ධව ඕනෑකමින් කටයුතු කිරීමේ නීතිපති දක්වා වන ක්‍රියාවලියේදී ඒ දිගුව දක්වා යන නීති සම්පාදනයේදී ක්‍රමානුකූල බවක් තියෙනවාද කියන ගැටලු‍ව මතුවෙනවා.
ඒ වගේම අවංකකම මේ රාජ්‍ය අංශයේ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතර තියෙනවාද?
ඒ වගේම දූෂිත සමාජ වටපිටාව ඉවත් කිරීම සඳහා පරම ස්ථිර වූ අධිෂ්ඨානයෙන් කටයුතු කරනවාද කියන එකත් ගැටලු‍වක්.
කොහොම හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් එහෙම නැත්නම් රාජ්‍ය සේවකයාටත් රාජ්‍ය බලධාරියාටත් පමණක් ප්‍රයෝජනවත් වන නෛතික කරුණු ගැන සැලකිල්ලක් මේ රටේ මහජතාවට සිදුවනවාද?
සුදුසු අවස්ථාවන්වලදී මේ අවශ්‍ය ප්‍රජාවගේ සහයෝගය නීති සම්පාදනයේදී ලබාගන්නවාද?
ඒ වගේම පක්ෂපාතීත්වය එහෙම නැත්නම් ලැදිකමින් තොරව නිදහස් තීරණ ගැනීමේ සමාජ සංස්කෘතියක් ලංකාව තුළ තිබෙනවාද?
එහෙම තත්ත්වයක් නැත්තේ ඇයි?
ලංකාවේ යහපත් ජීවන වටිපිටාවකට බොහෝ වෙලාවට කරුණු කියා පාන්නේ ආගමික සමාජය.
ආගම තුළ ඇතිකරන විනය කාර්ය සාධනය මනාව ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂයෙන් සිදුවෙලා තිබෙනවාද?
එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂය ඒ කාර්යභාරය නොතකා තමන්ගේ පැවැත්ම සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලය මේ දූෂිත සමාජ පරිසරයක් ඉස්මතුව තිබෙන්නේ පූජ්‍ය පක්ෂ සිය රාජකාරි වගකීම් පැහැර හැරීම නිසා.
ඒ පිළිබඳව භික්ෂු සමාජයේ කාර්ය භාරය මනාව ඉටු වී නැති බව නම් පන්සල් ආශ්‍රිත බොහෝ කරුණුවලින් පැහැදිලිවන සත්‍යයක්.
ඒ වගේම ලංකාවේ වෘත්තීය සමිති මුවාවෙන් ඇතැම් වෘත්තීය වේදීන් බොහෝ වෙලාවට තමන්ගේ පැවැත්ම සඳහා ඕන එකත් එපා එකත් විරුද්ධ වන සමාජ සංස්කෘතියක් රට තුළ දක්නට ලැබෙනවා.
ඒ පිළිබඳව කරුණු ඉදිරියට තබමින් අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු.
මේ නීති පනවන ආකාරය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ඔබ දැනගත යුතුයි.
නීති සෑදීම නැතිනම් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හොඳ අධ්‍යයනයක් පුරවැසියන් කළ යුතුයි.
රටේ උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුවට පවරා තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙනවා.
75 අතීතයට ද බලපාන නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිචින්න කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා හෝ ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය යනුවෙන් 75 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ඒ වගේම එසේ වූවද කියල තව දුරටත් 75 (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ යම් කොටසක හෝ ක්‍රියාකාරිත්වය අත්හිටුවන්නා වූ නීතියක් පැනවීම හෝ
(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිචින්න කරන්නවූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින කරන්නා වූ නීතියක් පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය යන්නත් සඳහන් වෙනවා.
නීති සෑදීමේදී පාර්ලිමේන්තුවට ඇති බලතල මෙන්ම එහි සීමාවන් ද මේ අනුව පැහැදිලිව දක්වා තිබෙන බව ඔබට තේරුම් යනවා ඇති.
සියලු‍ම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද එහි සියලු‍ම නීති සහ අනු නිති පළ කිරිමද පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්ථනයක් ද ඇතුළුව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විය යුත්තේය යනුවෙන් නීති පැනවීමේදි යොදාගත යුතු භාෂා පිළිබඳ විධිවිධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.
නමුත් අවාසනාවකට මෙන්න මෙහෙම පැතිත් තියෙනවා.
යම් පනතක් පිළිබඳව ලංකාවේ පුරවැසියෙක් එහෙම නැත්නම් වෘත්තීයවේදියෙක් නැත්නම් පෞද්ගලික අංශයේ සමාගම් අධිකාරි වරයෙක් ඊට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන පනතක් පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට යන අවස්ථාවකදී ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බොහෝ වේලාවට නීතියෙන් බැඳීසිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ කතා නායකවරයාට දැනුම්දෙන්න.
කතානායකවරයා එය වාක්‍යයක් සිංහලෙන් කියවන අතර සෙසු අධිකරණ තීරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත්වෙනවා.
මෙය රාජ්‍ය භාෂාව එහෙම නැත්නම් සිංහල දෙමළ භාෂාවට ලබාදී තිබෙන හිමිකමේ මූලධර්මය කෙළසීමක් නොවන්නේද?
ඒ පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡාවට බඳුන් වුණා.
අප ඒ පිළිබඳව අපගේ යූටියුබ් මගිනුත් කරුණු ඉදිරිපත් කළා අදාළ නීතිඥවරුන් සමග.
කොහොම හරිම රටේ රජයේ හෝ සමාජයේ යම් අවශ්‍යතාවයක් සඳහා පොදු නීතියක් පැනවීමේදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්.
ඒ පිළිබඳ ගනු ලබන මූලික පියවර වන්නේ අදාළ සියලු‍ම කරුණු ඇතුළත් කර පනත් කෙටුම්පතක් සකස් කර ගැනීම.
එසේ සකස් කරනු ලබන පනත් කෙටුම්පත් මූලිකව රජයේ පනත් කෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කොට දක්වන්න පුළුවන්.
රජයේ පනත් කෙටුම්පත් සකස් කිරීමේ මූලික කටයුතු සිදු කරනු ලබන්නේ අදාළ අංශය හෝ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අනුබද්ධ ආයතනයක් විසින්.
අදාළ නීතිය බලපාන සියලු‍ම පාර්ශ්වයන්ගෙන් අදහස් විමසා අවසාන යෝජනාව ඉදිරිපත් කිරීම අදාළ අංශය හෝ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙන වගකීමක්.
අදහස් හෝ යෝජනා පදනම් කරගෙන පනත් කෙටුම්පත් කිරීමේදී කාර්ය ඉටු කරනු ලබන්නේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකයා විසින්.
එසේ කෙටුම්පත් කරන කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ වෙනත් නීතියකට පටහැනිද යන්න සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ රජයේ නීතිපතිවරයාටු එහෙමත් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට.
බොහෝ වෙලාවට ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව බොහෝ වෙලාවට රජයේ පනත් පිළිබඳව සොයා බැලීමේදී ගරු අධිකරණයට වාර්තා කරන්නේ රාජ්‍ය අංශයට ලැදියාව මතයි.
නමුත් මේ මෑතකදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවට නීතිපතිගේ අදහස වුණේ එය හුදෙක් ව්‍යවස්ථානුකූල නැති බවයි.
ඒ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභා ආදී පළාත් පාලන ආයතනවල ඡන්දයක් නොපවත්වා තවදුරටත් අදාළ හිටපු අයම කැඳවීමෙ බලය ලබාදීම සඳහා යෝජනා කරන කෙටුම්පතක් සම්බන්ධයෙන්.
කොහොම හරි නීතිපතිවරයාගේ වගකීම ඒ විදියට නිවැරදිව ඉදිරිපත් කරන වපසරියක් මතුවී තිබීම අගය කළ යුත්තක්.
දේශපාලනඥයන් විසින් රාජ්‍ය දේපළ වංචා කිරිම එහෙම නැත්නම් සාපරාධි සාවද්‍ය පරිහරනය හෝ අල්ලස් ලබාගැනීම මගින් සිදුකරන විනාශය පිළිබඳව මෙතෙක් ලංකාවේ සකස් කරන ලද පනත් කෙටුම්පත්වලින් මනාව නීතිය සවිබල ගැන්වීමට ලංකාවේ පාර්ලිමේන්තුව ශක්තිමත් වී තිබෙනවාද කියන ගැටලු‍ව මතු කරන්නේ බොහෝ නඩු කාර්යන්වල නිදොස්කොට නිදහස් කිරීමේ කාර්ය දැන් රට පුරා ව්‍යාපත් වී තිබෙන නිසයි.
ඒ නිසා ජනතාවගේ දේපළ පවරා ගැනීම සඳහා අප රටේ තිබෙන නීති ප්‍රතිපාදන 1917 දක්වා දිව යනවා.
1917 අංක 9 දරණ භාර ආඥා පනතේ ප්‍රතිපාදන දූෂණයෙන් හෝ වංචාවෙන් උපයාගත් දේපළ නැවත රජයට පවරාගැනීමට ඇති හැකියව පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු.
දේශපාලනඥයන් විසින් මහජනයා සමගඇති කරගන්නා විශ්වාසනීය සම්බන්ධතාවය නිසා බොහෝ වෙලාවට බොහෝ කරුණු සිදු වෙනවා.
ස්වෙච්ඡාවෙන් අඩු මුදලකට ඩෙන්ඩරයක් ලබාදී රාජ්‍ය එම ටෙන්ඩරය අඩු මුදලට ලබාදීම නිසා ඒ ටෙන්ඩරය ගන්නා පුද්ගලයාට හිමිවන ලාබයෙන් කොටසක් වැනි කිසියම් මූල්‍යමය වාසියක් දේශපාලනඥයා හෝ රාජ්‍ය නිලධාරියා ලබාගන්නා අවස්ථාවල ඔහු විසින් එළෙස ලබාගත් වාසිය භාර ආඥා පනතේ 90 වන වගන්තිය ජනතාවගේ නමින් ජනතාවගේ වාසියට පවතින බවට අධිකරණයට ප්‍රකාශ කළ එලෙස අයථා ලෙස උපයාගන්නා ලද මුදල් දේපලක් මිලදී ගත් අවස්ථාවල එකී ජනතාවගේ වාසියට භාරයට යටත් බව භාර ආඥා පනතේ 90 වන වගන්තියේ සඳහන් වෙනවා.
ඒ අනුව ඒ පිළිබඳව අනූවන වගන්තිය පිළිබඳව රජයේ නීතිපතිවරයාට එහෙම නැත්නම් වෙනත් පාර්ශ්වයකට පැමිනිල්ල, පොලිසියට, පුරවැසියකුට කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන්.
නමුත් 1917 මේ ආඥා පනත අපේ නීති අංශ ප්‍රයෝජනයට ගන්නව ද යන ගැටලු‍වකුත් මතු වී තිබෙනවා.
දේශපාලඥයන් හෝ රාජ්‍ය නිලධාරින් ලබාගත් බලය හේතුකොටගෙන රජයේ නිලධාරින් අයුතු බලපෑම් කිරීම මගින් ඉතා අඩු මුදලට ලබාගන්නා රජයේ දේපල හෝ රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද මුදල් ආදිය නිලධාරින්ට අයුතු බලපෑම් කිරීම මගින් පොත්පත් වල වැරදි සටහන් තබා ලබාගන්නා වාසි අයුතු බලපෑමට යටත් වෙනවා.
පොදු මහජනයා රජය වෙනුවෙන් භාරයක් ඇති කිරීමට භාර ආඥා පනතේ 91 වන වගන්තිය යටතේ අධිකරණයට බලයක් තියෙනවා.
නමුත් ඉහත කී නීති තත්ත්වය පිලිබඳව අවධානයක් භාර ආඥා පනත යටතේ පැනවූ 1917 දී පටන් අද දක්වාම ලංකාවේ නීති අංශ අවධානය යොමු කරලා නැහැ.
එය අභාග්‍ය සම්පන්න කරුණක්.
මේ රට ආර්ථික අවපාතයට යන්න ඒ අමතක කිරිම මගහැරීම කනගාටුවට දායක තත්ත්වයක්.
එමෙන්ම මෙම භාර පනත පිළිබඳව මනා සංවාදයක් රට තුළ ඇති නොවීමත් බුද්ධිමතුන් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරිමත් ගැටලු‍ සහගත තත්ත්වයක්.
එහෙම වුණත් මේ ප්‍රගතිශීලීපියවර ලංකාවේ බාර නීතිය දායාද කළ බි්‍රතාන්‍ය රජයේ පිළිගැනීමට ලක්වී තිබීම පිළිබඳව සඳහන් කළ යුතුයි.
ඒ කරුණ මෙහෙම කියන්න පුළුවන්.
1994 ඒ කියන්නේ මීට අවුරුදු 30කට ආසන්න කාලයක් තුළ හොංකොං නීතිපතිට එරෙහිව රීඩ්ස් සහ තවත් අය යන ෆ්‍රී කවුන්සිල් විසින් දෙන ලද නඩු තීරණය පිළිබඳ වැදගත් සාධකයක් මතු වෙනවා.
1994 (1) A.L.L.E.R. 1 වන පිටුවේ මේ වාර්ථාව හොංකොං නීතිපොතේ සඳහන් වෙන්නේ.
මේ නඩුවේ විත්තිකරු වූයේ නවසීලන්ත ජාතිකයකු වෙනවා.
හොංකොං රටේ රාජ්‍ය සේවයේ වැඩ බලන මහජන පැමිණිලි මෙහෙයවීමේ අධ්‍යක්ෂක වරයෙක්.
ඔහු විසින් කිසියම් අපරාධකරුවන් පිරිසක් වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම අඩාල කරවීම සඳහා රීඩ් හොංකොං ඩොලර් මිලියන 12.4ක අල්ලසක් ලබාගෙන තිබුණා.
ඒ කරුණ සම්බන්ධයෙන් පැවති නඩුවකදී විත්තිකරු වැරදිකරු වුණා.
අවුරුදු 7ක සිරදඬුවමක් සහ අල්ලස් මුදලට සමාන දඩයක් නියම කෙරුණා.
නමුත් විත්තිකරු විසින් දඩ මුදල ගෙව්වේ නැහැ.
විත්තිකරු අල්ලස් මුදල යොදවා ලබාගත් නවසීලන්තයේ පිහිටි දේපොල තුනක් වෙනුවෙන් කේවියට් පත්‍රිකාවක් ලියාපදිංචි කෙරුණා.
නමුත් මේ කේවියට් පත්‍රිකාව නැවත අලු‍ත් කිරිමට නවසීලන්ත මහාධිකරණයට හොංකොං රජය වෙනුවෙන් එහි නිතිපති ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට විරෝධතා එල්ල වුණා.
එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කළේ විත්තිකරු විසින් ලබාගෙන ඇති දේපල හොංකොං රජය වෙනුවෙන් අනුමිත භාරයක් පවතින බවයි.
නමුත් නවසීලන්ත මහාධිකරණය සහ අභියාචනාධිකරණය වන අධිකරණ දෙක විසින්ම මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
නවසීලන්ත මහාධිකරණය සහ අභියාචනාධිකරණය.
අවසානයේදී හොංකොං නීතිපතිවරයා විසින් රාජාධිකරණය වෙත අභියාචනා කළ විටදී එහිදී තීරණය වුණේ විශ්වාසනීය තත්ත්වයේ සිටිය යුතු පුද්ගලයකු එකී විශ්වාසය ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් අල්ලසක් ලබාගෙන ඇති විට එකී අල්ලස ඔහු විසින් විශ්වාසනීය යුතුකම ඉටු කළ යුතු පුද්ගලයාගේ එසේ නැත්නම් රජයේ වාසියට භාරයක් ලෙස දැරිය යුතු බවත් එලෙස ලබාගත් අල්ලස් මුදල කාලයාගේ ඇවෑමෙන් වටිනාකමින් වැඩි වී තිබුණත් එකී මුළු මුදල භාරයට යටත් බවයි.
එසේ වන්නේ යුතුකම කඩකිරීම මත අයුතු ලාබයක් ඔහුට හිමිකම් නොමැතිවිම නිසයි යනුවෙන් නවසීලන්ත රාජාධිකරණය තීරණය කළා.
කරුණු කොහොම වුණත් අවසානයේ සිදුවූයේ මොකක්ද?
නඩුවේ තීරණය අපේ ලංකාවේ භාරනිතියේ 90 වන වගන්තියේ හැටියට යොදාගත හැකි වෙනවා යන කරුණ අපි තේරුම් ගන්න ඕනැ.
නඩු තීරණය අනුගම්‍ය බලයක් ඇති තීරණයක් වුනා.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජයේ නීතිපතිවරයා භාර ආඥා පනතේ 90 වන වගන්තිය හෝ 91 වගන්තියට යටතේ දූෂිත දේශපාලනඥයින්ටත් රාජ්‍ය නිලධාරින්ටත් එරෙහිව නඩු පවැරීමට පියවර ගත්තොත් මේ දූෂණයෙන් ජනතාවගේ මුදල් මංකොල්ල කා තිබෙන තත්ත්වය බොහෝ දුරට මැඩ පැවැත්වීමට අවකාශයක් ලැබෙන සුළුයි.
ඒ පිළිබඳව තවදුරටත් ඉදිරි ලේඛනයක් තුළින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න