වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අරගල නිර්මාණය විය.අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය 1815 සිටම මෙරට නීතියට ඇතුළත් විය. 1948 සිට ස්වදේශිකයන් විසින් වසර 74ක් තිස්සේ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. දේශීය නිෂ්පාදන දිරිමත් නොකරන විදේශීය නිෂ්පාදන දිරිමත් කරන නීති පැනවීමට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙමින් අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. අල්ලස, දූෂණය, අක්‍රමිකතාවය සහ බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතියේ ලක්ෂණයකි. වසර 74 ක් තිස්සේ දේශීය නීති යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වූ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය පුපුරා යාමේ උච්චතම අවස්ථාව ගෝඨාභය ජනාධිපතිවරයා 2022 ජූලි 09 දින නෙරපා දැමීම බවට පත් විය. අධිපරිභෝජන සමාජ කොටස් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවූ අරගලයට විවිධ අයුරින් දායකත්වය සැපයීය. 1815 සිටම අධිපරිභෝජන රටාවට ජනතාව හුරු කළේ ඉංග්‍රීසීන් ය. 1948 සිට වසර 74ක් ඉංග්‍රීසි අධිපරිභෝජන සමාජ සංස්කෘතියකට ශ්‍රී ලාංකිකයන් හුරු කරවමින් සිටියේය. වසර 2500ක් ඈත සංස්කෘතික ඉතිහාසයක් ඇති දේශීය සංස්කෘතියේ ජීවිත පැවැත්ම සකස් වී ඇත්තේ අධිපරිභෝජනයට නොව මධ්‍යම ප්‍රතිපදාවටය. වර්තමානයේ අධිපරිභෝජකයන්ට සංකීර්ණ ප්‍රශ්න ඇති වී තිබුණද නමට බෞද්ධයන් නොවන සැබෑ බෞද්ධයන්ට එය සාමාන්‍ය තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තේ අධිපරිභෝජකයන්ට තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාව නැවත ලැබේයැයි බලාපොරොත්තුවෙනි. නැතහොත් ඩොලර් ගෙනවිත් තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාවට අවශ්‍ය විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආහාර නැවත ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකි වේයැයි බලාපොරොත්තුවෙනි. ඔහුට එය කළ නොහැකි වුවහොත් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් නෙරපීමට මුල්වූ අධිපරිභෝජන සමාජ කොටස්ම රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධූරයෙන් නෙරපීමටද පාරට එනු ඇත. ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් මධ්‍යම ප්‍රතිපදාවකට සමාජය මෙහෙයවීමට නායකත්වය දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටදුර දැක්මක් ඇත්නම් පවතින ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයාටහැකි වේ. ඔහු ඒ සඳහා සූදානම්ද? අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ඔහුගේ කැපවීම කෙසේද? දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ජනතාව පෙළගස්සවන ආකාරය කෙසේද? නිෂ්පාදන ආර්ථිකයකට සමාජය දිශානති කිරීමට ඔහුට දර්ශනයක් තිබේද? යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ධූර කාලයේ සාර්ථකත්වය තීරණය කෙරේ. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න