8 කොටස
2012 නොවැම්බර් මස 14 වැනි බදාදා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරොදියම් සම්බන්දන් මහතා
ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්
කේ. ඒ. රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

  1. අංක 78අ දරන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව සිදු කරන ලද දැනුම්දීමට අනුව කාරක සභාව රැස්විය.
  2. කාරක සභාවේ ගණපූර්ණය සාමාජිකයින් හය දෙනෙකු (06) විය යුතු බවට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
  3. විශේෂ කාරක සභාව විසින් ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි සභාපතිවරයා විසින් කෙටි පැහැදිලි කිරීමක් සිදු කළ අතර ස්ථාවර නියෝග අංක 78අ, විශේෂයෙන්ම ස්ථාවර නියෝග අංක 78අ (6), ප්‍රකාරව නියම කර ඇති අවශ්‍යතාවයන් පිළිබඳව සාමාජිකයින්ගේ අවධානය යොමු කරවන ලදී.
  4. කාරක සභාව විසින්-
    (අ) ස්ථාවර නියෝග 78අ (3) ප්‍රකාරව සතියක් ඇතුළත (එනම් 2012 නොවැම්බර් මස 22 වැනි දින හෝ ඊට පෙර) ලිඛිත විත්ති වාචකයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් 2012 නොවැම්බර් මස 6 වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති යෝජනාවෙහි සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 78අ හි පිටපත් අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියට යැවිය යුතු බවට ද,
    (ආ) කාරක සභාවේ මීළග රැස්වීම 2012 නොවැම්බර් මස 23 වැනි සිකුරාදා පූ. භා. 10.30ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමටද,
    (ඇ) ස්ථාවර නියෝග අංක 78අ(5) ප්‍රකාරව, 2012 නොවැම්බර් මස 23 වැනි සිකුරාදා පූ. භා. 10.30ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිත කාරක සභාවේ මීළග රැස්වීමේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරාණි බණ්ඩාරනායක මහ්තමියගෙන් ඉල්ා සිටීමටද,
    (ඇ) කාරක සභාවේ මීළග රැස්වීම් වාරයේදී අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය පෞද්ගලිකවම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට අපේක්ෂා කරන්නෙහිද නැතහොත් නියෝජිතයකු ඉදිරිපත් කරන්නෙහිද යන්න සහ එසේ නියෝජිතයකු නම් කරන්නේ නම්, එකී නියෝජිතයාට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළත් වීමට පහසුකම් සැලසීම පිණිස එසේ නම් කරනු ලබන නියෝජිතයා පිළිබඳ විස්තර කාරක සභාවේ ලේකම්තුමා වෙත දැනුම්දෙන ලෙස අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙන් ඉල්ලා සිටිමටද,
    සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන ලදී.
    (මෙදින අ.භා. 4.25ට රැස්වීම 2012 නොවැම්බර් මස 23 වැනි සිකුරාදා පූ.භා. 10.30දක්වා කල් තබන ලදී.)
    2012 නොවැම්බර් මස 16 වැනි සිකුරාදා
    පැමිණ සිටි අය
    ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
    ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
    ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
    ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
    ගරු විමල් වීරවංශ මහතා
    ගරු නියෝමාල් පෙරේරා මහතා
    ගරු ජෝන් අමරතුංග මහතා
    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    ගරු විජිත හේරත් මහතා
    ගරු රාජවරොදියම් සම්බන්දන් මහතා
    ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්
    කේ. ඒ. රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්
  5. දැනුම්දීමට අනුව කාරක සබාව රැස්විය. කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුලසුන ඉසිලීය.
  6. ගරු ඩිලාන් පෙරේරා මහතා, නොවැලැක්විය හේතූන් මත මෙදින රැස්වීමට සහභාගි විය නොහැකි බව දැනුම් දී තිබුණි.
  7. 2012 නොවැම්බර් මස 14 වැනි දින පවත්වන ලද රැස්වීමේ කාර්ය සටහන් කියවා ස්ථිර කරන ලදී.
  8. කාරක සභාවේ ලේක්මවරයා, ඉහත කී කාර්ය සටහන්හි 4 වන ඡේදයේ විෂය අංක (අ) (ඇ) සහ (ඈ) ට අදාළව පහත සඳහන් කරුණු දැනුම් දුන්නේය.
    (අ) ස්ථාවර නියෝග 78අ (3) ප්‍රකාරව, සතියක් ඇතුළත (එනම්, 2012 නොවැම්බර් මස 22 වැනි දින හෝ ඊට පෙර) විත්ති වාචකයේ ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මියට දැනුම්දීමේ ලිපිය, 2012 නොවැම්බර් මස 6 වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද යෝජනා සම්මතයෙහි සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 78අ හි පිටපත් ද සහිතව, 2012 නොවැම්බර් මස 14 වැනි දින දී අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියට අතින් භාර දී තිබූ බව සහ 2012 නොවැම්බර් මස 15 වැනි දින ලියාදිංචි තැපෑලෙන් සහ පණිවිඩකරුවෙකු හරහා භාරදී තිබූ බව,
    (ආ) ස්ථාවර නියෝග අංක 78අ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හිදී 2012 නොවැම්බර් මස 23 වැනි දින පැවැත්වීමට නියමිත කාරක සභා රැ්සවීමේදී පුද්ගලිකවම හෝ නියෝජිතයකු මාර්ගයෙන් කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස සහ නියෝජිතයකු නම් කරනු ලබන්නේ නම් පාර්ලිමේන්තු සංකීර්ණයට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලනීම පිණිස එලෙස නම් කරනු ලබන පුද්ගලයා පිළිබඳ තොරතරුැ කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබාදෙන ලෙසට අග්‍රවිනිශ්චයාකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩානායක මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබූ බව, සහ
    (ඇ) අංක 2, ඩීල් පෙදෙස, කොළඹ 03හි නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වෙතින් ලද 2012 නොවැම්බර් මස 15 දිනැති ලිපිය මගින් ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත අතින් භාර දෙන ලද ලිපිය ලැබුනු බව පිළිගෙන තිබූ බව,
  9. අර්ථ නිරූපන ආඥෘ පනතෙහි විධිවිධාන ප්‍රකාරව ස්ථාවර නියෝග අංක 78අ (5) හි සඳහන් “නියෝජිතයා” යන වචනය එහි බහු වචන පදයද ඇතුළත් වන සේ අර්ථ නිරූපණය කළ යුතු බවත් ඒ අනුව අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියට එක් නියෝජිතයකුට වඩා නම් කිරීමට අවසර දිය හැකි බවත් එලෙස නම් කරනු ලබන පුද්ගලයනට කාරක සභාව ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ දිය යුතු බවත් ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
  10. අර්ථ නිරූපන ආඥා පනත අදාළ වන්නේ ස්ථාවර නියෝග සම්බන්ධනේ නොව අධිකරණයෙන් ඉදිරියේ ඇති නඩු කටයුතු සඳහා බව සහ එහෙයින් ඇයට අවසර ලබාදිය යුත්තේ එක් නියෝජිතයකු පමණක් නම් කිරීමට බවත් ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
    හිටපු අග්‍රවිනිශ්චයකාර, රාජ නිීතිඥ, ගරු එන්. ඩී. එම්. සමරකෝන් මහතාට එරෙහිව වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නියෝජිතයාට අමතරව කනිෂ්ඨ නීතිඥවරුන් සිටිය හැකි බවයි.
  11. ස්ථාවර නියෝග අංක අ (5) ප5කාරව ගරු (ආචාර්ය) ශිරානි ඒ බන්ඩාරනායක මහත්මියට අවසර දිය යුත්තේ එක් නියෝජිතයකු පමණක් නම් කිරීමට බවත් එසේ වුවද ඇයට හෝ ඇයගේ නියෝජිතයාට අනෙකුත් පුද්ගලයන් සමඟ කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට අවසර ඇති බවත් සාකච්ඡාවලින් අනතුරුව කාරක සභාව විසින් තීරණය කරන ලදී.
  12. කාරක සභාවේ ලේකම්වරයා විසින් 2012 නොවැම්බර් මස 14 වැනි දින ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහ්තමිය වෙත අතින් බාර දෙන ලද ලිපියට පිළිතුරු වශයෙන් අංක 2, ඩීල් පෙදෙස, කොළඹ 03 හි නීලකන්දන් සහ නීලකන්දන්, නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වෙතින් ලද 2012 නොවැම්බර් මස 15 දිනැති ලිපියට අදාළ කරණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවන ලද බව කාරක සභාවේ සභාපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
  13. ස්ථාවර නියෝග අංක 78 අ (5) ප්‍රකාරව ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් පුද්ගලිකවම නියෝජිතයා නම් කළ යුතු බවත් ඇය විසින් එම නම් කිරීම පිළිබඳව කාරක සභාවට දැනුම් දිය යුතු බවත්, එහෙයින් ඇයගේ නියෝජිතයා ලෙස නීලක්නදන් සහ නීලකන්දන්, නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් විසින් එවන ලද උක්ත ලිපිය කාරක සභාවට පිළිගත නොහැකි බව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
  14. කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පහත සඳහන් තීරණවලට එළැඹියේය.
    (අ) 2012 නොවැම්බර් මස 14 වැනි දින පවත්වන ලද පසුගිය රැස්වීමේදී ගන්නා ලද තීරණ නොවෙනස්ව පවතින බව සහ නීලක්නදන් සහ නීලකන්දන්, නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වෙතින් ලද ලිපිය පිළිගත නොහැකි බව,
    (ආ) ස්ථාවර නියෝග 78අ (5) හි අන්තර්ගත විධිවිධාන ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මියගේ අවධානයට ගෙනා යුතු බව සහ කාරක සබාවේ මීළඟ රැස්වීම ඉදිරියෙහි පෙනී සිටීමට ඇය අපේක්ෂා කරනුයේ පුද්ගලිකවම ද නැතහොත් නියෝජිතයකු මාර්ගයෙන් ද යන වග පුද්ලිකවම කාරක සභාවට දැනුම් දෙන ලෙසට ඇයගෙන් ඉල්ලා සිටිය යුතු බව,
    (ඇ) 2012 නොවැම්බර් මස 23 වැනි දින පූ. භා. 10.30 ට පාර්ලිමේන්තවේ කාරක සභා කාමර අංක 1 හි පැවැත්වීමට නියමිත විශේෂ කාරක සබාවේ මීළඟ රැස්වීම ඉදිරියෙහි පුද්ගලිකවම පෙනී සිටින ලෙස සහ කාරක සභාව විසින් සලකා බැලීම සඳහා ඇය විසින් ඉල්ලීම් කිසිවක් කිරීමට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩානායක මහත්මියට දැනුම් දිය යුතු බව.
  15. “වැඩ බලන අග විනිසුරු ගැන තේරිම් කමිටුවේ මතභේද“ යන ශීර්ය යටතේ 2012.12.216 දින රාවය පුවත්පතෙහි පළ වූ ලිපියක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු කළ ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා එවැනි සාවද්‍ය ප්‍රවෘත්ති පළ කරන මාධ්‍යවලට එරෙහිව කාරක සභාව පියවර ගත යුතු බව ප්‍රකාශ කළේය. එකී විනිසුරුවරයාට එරෙහිව තිබෙන චෝදනාවලින් කිසිවකට ඔහු වරදකරු වන බවට පාර්ලිමේන්තුවට වාර්තා කරන තුරු, කාරක සභාවෙහි කටයුතු ප්‍රසිද්ධ නොකළ යුතු බවට, ස්ථාවර නියෝග 78ඒ (8) හි පැහැදිලිව සඳහන් කර ඇති බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.
  16. ඉහත මාධ්‍ය වාර්තාව ගෙන හැර දක්වමින්, මෙම කරුණ ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කොට, මෙම වාර්තාවට එරෙහිව පියවර ගන්නා ලෙසත් තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය දෙක සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.
  17. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පහත දැක්වෙන ලිඛිත ප්‍රකාශය කමිටුවෙහි සලකා බැලීම පිණිස සභාගත කොට, එය කියවන ලදී.
    “ගරු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය, සම්බන්ධ තේරීම් කාරක සභාව පිළිබඳ නිරීක්ෂණ”
    තේරීම් කාරක සභාවෙහි පැමිණිලිකරුවන් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. ඔවුහු පැමිණිල්ල මෙහෙවන්නන් මෙන්ම විනිශ්චයකාරවරුන්ද වෙති. මෙම ස්ථාවර නියෝගවලට එකඟ බවට යමෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, ඇපට හැඟෙන්නේ, මෙය ස්වභාවික යුක්තියට මෙන්ම “නීතිය ඉටුවනවා පමණක් නොව ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු වන්නේය” යන නෛතික සම්මතයටද එරෙහි වන්නක් බවයි.
    ස්වභාවික යුක්තිය පිළිඹිබු වන පරිදි ස්ථාවර නියොග් අර්ථ නිරූපණය කළ යුතු බව අපට හැඟෙන අතර කාරක සභාවක් ලෙස අපට, නීතියෙහි පාලනය සහ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය දිරිගන්වනු පිණිස එලෙස කිරීමට අයිතියක් තිබේ.
    78ඒ (4) වගන්තිය යටතේ, මෙම නියෝගයෙහි 2 වන ඡේදය යටතේ පත් කළ තේරීම් කාරක සභාවට, පුද්ගලයන් සහ වාර්තා කැඳවීමේ බලය තිබේ.
    එම නිසා, ස්වභාවික යුක්තියෙහි නාමයෙන්, මෙම චෝදනා පරීක්ෂා කොට බලා වාර්තා කොට කාරක සභාවට සහය වනු පිණිස, නීති ක්‍ෂේත්‍රයෙහි කීර්තිමත්භාවයක් ඇති විද්වත් පුද්ගලයන් කැඳවීමට කාරක සභාවට බලය තිබේ.
    ඉන්දියාවේදී සහ ඔස්ටේ්‍රලියාවේදී, දෝෂාභියෝගයක් භාරදීමෙන් අනතුරුව, පළමුවෙන්ම, යෝජනාවෙහි දක්වා ඇති චෝදනා පිළිබඳව පරීක්ෂා කොට බලා වාර්තා කිරීම පිණිස අතිරේක පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරනු ලැබේ.”
    ස්වභාවික යුක්ති රීතින්ට, නිතියේ පාලනයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවංකභාවයට අනුව යමින් ඉහත නිරීක්ෂණයක් කාරක සභාවෙහි අවධානයට යොමු කරන්නට තමන් අදහස් කරන බව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
  18. ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉහත නිරීක්ෂණය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ අප අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පදනම්ව ඇත්තේ. 1984 වසරේදී, හිටපු අග්‍ර විනිශ්චයකාර රාජ්‍ය නීතිඥ එස්. ඩී. එම්. සමරකෝන් මහතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කොට බලා වාර්තා කිරීම පිණිස තේරීම් කාරක සභාවක් පත් කළ අවස්ථාවේදී පැනවූ, ස්ථවර නියෝගයක් මත බවත්, කිසිම අවස්ථාවකදී විනිසුරුවරුන් හෝ නීති ක්‍ෂේත්‍රයෙහි කීර්තිමත් භාවයක් ඇති විද්වත් පුද්ගලයන් විසින් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටතදී, මෙම විශේෂිත ක්‍රියා පටිපාටිය සදාචාරාත්මක නොවන හෝ නොගැලපෙන එක්ක ලෙස අභියෝගයට ලක් කොට නොමැති බවත්ය.
    එසේම ඔහු, හිටපු අග්‍ර විනිශ්චයාකර සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවකට අදාළ කටයුතු අත්හිටුවමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් හිටපු කථානායක දිවංගත ගරු අනුර බණ්ඩාරනායක මහතා දුන් තීන්දුව පිළිබඳව සඳහන් කරමින්. බොහෝ ව්‍යවස්ථාදායකයන් සහ අධිකරණයන් හි පවත්නා සමාන ක්‍රියා පටිපාටින් පිළිබඳව කළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ලබාදුන් කථානායකවරයාගේ තීන්දුවෙන්, පාර්ලිමේන්තුව උත්තරීතරම ආයතනය වන බැව් ඔප්පු කෙරෙන බවද ප්‍රකාශ කළේය.
    මේ අනුව ක්‍රමයෙහි හෝ චොද්නා පිළිබඳව පරීක්ෂා කරන මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය පිළිබඳව සැක පහළ කිරීමට හේතුවක් නොමැත.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ නියෝජිතයන් වන බවත් ඔවුන්ගේ අවංකභාවයට හානියක් සිදු කිරීමට ඉඩ දිය යුතු නොවන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකය වෙත යම් බලතල පවරා ඇත. යම් චොදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂා කොට බලන ලෙස කිසියම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී කිසියම් ක්‍රියාටිපටියාක් අනුගමනය කිරීමට කථානායකවරයාට සිදුවේ. එක්සත් රාජධානියෙහි, ඉන්දියාවෙහි සහ එක්සත් ජනපදයෙහි ද මේ හා සමාන ක්‍රියා පටිපාටින් ස්ථාපිත කොට තිබේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පවරා ඇති බලතල නොවටිනා ලෙස සැලකීම සුදුසු නොවේ.
    පවත්නා ස්ථාවර නියෝගයන් අනුව, මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම පිණිස පිටස්තර පුද්ගලයන්ට බලය පැවරීමට කාරක සභාවට බලයක් නොමැති බවද, එම නිසා ඉහත නිරික්ෂණයන් පිළිගත නොහැකි බවත් ගරු විමල් වීරවංශ මහතා පැවසීය.
  19. කමිටුව, මේ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව, ස්ථාවර නියෝගයන්ට අනුව, යෝජනා කළ ආකාරයට, චෝදනාවන් සම්බන්ධව පරීක්ෂා කොට බලා කාරක සභාවට වාර්තා කිරීම සඳහා පිටස්තර පුද්ගලයන්ට බලය පැවරිය නොහැකි බව තීරණය කරන ලදී. කෙසේ වෙතත්, අවශ්‍ය වන්නේ නම් සහ අවශ්‍යතාවයන් පැන නගින අවස්තාවන්හිදී පිටස්තර පුද්ගලයන්ගෙන් තාක්ෂණික සහය ලබාගැනීමේ අයිතිය කාරක සභාව වෙත තබා ගන්නා ලදී.
    (රැස්වීම අ.භා. 4.55ට, 2012 නොවැම්බර් මස 23 වැනි සිකුරාදා පූ. භා. 10.30 දක්වා කල් තබන ලදී.)

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න