එක්සත් ජාතික පක්ෂය 2023 මැයි රැලිය පැවැත්වෙද්දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අපූරුව ප්‍රකාශනයක් කළා.
ඒ ප්‍රකාශනය තුළ අන්තර්ගත වුනේ පවතින කම්කරු නීති රෙජිමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.
ඒ සඳහා කරුණු 11 කින් යුතු න්‍යාය පත්‍රයක් ඔහු ඉදිරිපත් කළා.
එමගින් බල තුළනය තවදුරටත් සේවා යෝජකයන්ට වාසිදායක ලෙස නැඹුරු කිරීම එහි අන්තර්ගතයයි.
නානායක්කාරගේ යෝජනා තුළින් මෙතෙක් විස්තීරණව ඉදිරිපත් කර ඒවාද ධනාත්මකව බලන කළ අවිනිශ්චිත හා නොසැලකිය හැකි දළ සටහන් වශයෙන් දකින්න පුළුවන්.
එහෙමත් නැත්නම් විධිමත් අංශයේ වැඩ කරන ජනතාවගේ සාමුහික ශක්තිය දුබල කිරීමට හිතාමතාම ගත් පියවරක් තමයි කම්කරු නීති ප්‍රතිසංස්කරණය සඳහා මේ දවස්වල කඩිනමින් ක්‍රියාත්මක වීම.
නානායක්කාර මෙහෙම කියනවා.
අපට තාම තියෙන්නේ පෞරාණික කම්කරු නීති.
ආයෝජකයින් ඉවතට හරවන කම්කරු නීති යනුවෙන් ඔහු සිය පෙරවදනින් කරුණු ඉදිරිපත් කළා.
ඇත්තටම ලංකාවේ ඉපැරණි නීති නම් ඒ නීති මොනවාද යන්න ඔහු අධ්‍යයනය කර තිබෙනවාද?
ශ්‍රී ලංකාවේ කම්කරු නීති පනත් සිහි කිරීම මෙහිදී ඉතාම වැදගත්.
1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත.
1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සේවය හා චේතන විධිමත් කිරීමේ පනත.
1956 අංක 47 දරණ ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත.
1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත.
1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත.
2016 අංක 3 දරණ සේවකයින්ගේ ජාතික අවම චේතනය පනත.
සේවකයන්ගේ අයවැය සහන දිමනාව පනත් 2005 අංක 36 දරණ සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත
2016 අංක 4 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත.
1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත.
1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත.
1971 අංක 45 දරණ කම්කරුවන්ගේ රස්සාව අවසන් කිරීමේ විශේෂ විධිවිධන පනත.
මේ පනත පසුව සංශෝධනය වුණා.
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත.
1980 අංක 46 දරණ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් පනත.
1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනත.
1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත
2021 අංක 28 දරණ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත.
මේ පනත් වලින් අනාවරණය වෙන්නේ හාම්පුතත් සේවකයාත් සමබර කළමනාකරිත්වයකට ගෙන යෑමේ නෛතික සාධකයි.
මේ සාධක නානායක්කාර මහතා මනාව අධ්‍යයනය කරලද මේ කම්කරු නීතිය වෙනස් කරන්න යන්නේ.
යල්පැන ගිය කම්කරු නීති යනුවෙන් පහළට දමා ඔහුගේ ප්‍රකාශය සිදු වෙන්නේ.
මේ පනත් සකස් වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආර්ථිකය ලංකාවේ ගොඩනැංවිම සඳහා කාර්මික සාමය තහවුරු කිරීමේ රටක් නිර්මාණය කිරිම සඳහායි.
එසේ නොවන්නේ නම් ගත වූ කාලය තුළ මේ රටේ ව්‍යවස්ථාදායක, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, කම්කරු අමාත්‍යංශය ක්‍රියා කරල තියෙන්නේ ඉතාම බාල හැසිරීමකද? යන ප්‍රශ්නය මතුවෙනවා.
නව නිර්මාණාත්මක රටක් දැක්ම කරගත් මේ පනත්වලින් මානව සම්පත් සංවර්ධනය රාජ්‍ය අංශය බලාපොරොත්තු වුණා.
යහපත් කාර්මික සම්බන්ධතාවයක් හා වැඩපොළ සම්බන්ධතාවය සුරක්ෂිත වූ වැඩ භූමි නිර්මාණය කිරීමේ අරමුණින් මේ පනත් ගොනු වුණේ. සකස් වුණේ ක්‍රියාත්මක වුණේ.
ගෝලීය වශයෙන් මෙන්ම මෙරට කාර්මික සම්බන්ධතාවයේ මෑත කාලීනව ඇති වූ නව ප්‍රවනතා හමුවේ කම්කරු නීති රීති මෙන්ම සමාජ කථිකාවලින් ලබාගත් තොරතුරු හා බුද්ධිමය පශ්චාත් පරීක්ෂණවලින් පසුව මේ පනත් නීතිගත වුණේ.
ඒ සියල්ලක් පහළට දමා රනිල් වික්‍රමසිංහ රජය යටතේ කම්කරු අමාත්‍යවරයා කඩිනමින් කම්කරු නිති ප්‍රතිසංස්කරණය සඳහා මැදිහත් වී තිබෙනවා.
මේ තුළ සැඟවුණු අභිප්‍රායන් මොනවාද?
ඒ සඳහා ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද?
යුගයේ අවශ්‍යතාවයක් ද?
හුදෙක් අයිඑෆ්එම් අවශ්‍යතාවයන් සපුරාලීමද?
කාලීනව මේ පනත් සංශෝධනය වෙලා තියෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු නීති පිළිබඳව උනන්දුවක් දක්වන සියලු අයට මේ පනත්වල ඇති අන්තර්ගතය කියවීමෙන් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එහෙම තියෙද්දී මේ පනත් කඩිමුඩියේ ප්‍රතිසංස්කරණය කරන්න රජය මැදිහත් වී තිබීම තුළින් ඉදිරි කාලයේ ලාංකික සමාජයේ කම්කරුවන් තුළ දැනට තිබෙන සංහිඳියාව දෛදරා යන්න පුළුවන්.
ඒ තත්ත්වය අවබෝධ කරගෙන ලංකාවේ කම්කරුවන් සඳහා පෙනී සිටින වෘත්තීය සමිති හා පක්ෂ මේ වන විට කර තිබෙන කාර්යභාරය කුමක්ද?
ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කරගෙන සේවක අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ මේ අණපනත් වහාම සංශෝධනය කිරීමට මැදිහත් වීම තුළ දරුණු ප්‍රතිවිපාක රජයටත් සමාජයටත් අත්විඳීමට සිදුවෙන බව පෙනී යන කරුණක්.
ලංකාවේ පවත්වාගෙන යනු ලබන කර්මාන්තවල නිෂ්පාදන හා සේවා සේවයේ නියුක්ත සේවකයින්ගේ පඩි සහ වෙනත් දීමනා විධිමත් කිරීමත් යම් නිශ්චතව ප්‍රකාශ කරනු ලබන කර්මාන්තයන් සඳහා පඩිපාලක සභා පිහිටුවීමත් 1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනතින්
කොහොම වෙතත් මේ කඩිනම් කම්කරු නීති ප්‍රතිසංස්කරණය සඳහා මැදිහත් වීම තුළ සමාජයේ ඉදිරි කාලයේදී වෙනස් විය හැකි ගැටුම්කාරී වාතාවරණය හමුවේ නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් පහළට තල්ලු වෙන්න පුළුවන්.
නමුත් මේ සඳහා ලංකාවේ පාලක පක්ෂය හැරුණු විට වෙනත් දේශපාලන පක්ෂ හෝ කම්කරුවන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර විධිමත් ඇකඩමික් වැඩසටහන් දියත් කරල නැති පරිසරයක් තුළ අපට 2023 ජුනි 17 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කම්කරු නීති වැඩපිළිවෙළට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති වැඩමුළුවකට සහභාගි වීමට අවස්ථාව ලැබුණා.
මේ වැඩමුළුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අදාළ දේශකයින් සිදු කළේ.
ඒ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය ශාමලා කුමාර් එක් වුණා.
වාණිජ හා කම්කරු සංගමය සභාපති වශයෙන් නීතිඥ ස්වස්ථිකා ආරුලිංගම් මහත්මිය එක් වුණා.
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය වෙනුවෙන් වී. ස්කන්දකුමාර් මහතා එකතු වුණා.
මීට අමතරව තවත් බහුතරයක් විශ්වවිද්‍යාල ආශ්‍රිතව එක් වුණා.
මේ සංවිධානය කර තිබුණේ කුප්පි සමූහය, නීතිය හා භාරය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය හා තරුණ පර්යේෂකයන්ගේ ජාලයයි.
කොහොම වෙතත් මේ පිළිබඳව පුළුල් විස්තරයක් එකින් එකට දිග හැරීම අද කාලයේ වගකීමක්.
අපගේ යූටියුබ්වල පීඑෆ්පී නිවුස්, නිවුස් ඇන්ඩ් ඉමේජ් ඕගනයිසේෂන් යටතේ අදාළ වැඩමුළුවේ ඉංග්‍රීසියෙන් පැවති දේශන හා සාකච්ඡා මණ්ඩපය මේ වන විට අපගේ නාලිකාවලින් ප්‍රචාරය වෙනවා.
ඊට වෙනස් මුහුණුවරකින් න්‍යායත්මක කරුණු අපි මේ ලිපියෙන් හා පසු ලිපිවලින් අනාවරණය කරන්න අපේක්ෂා කරනවා.
මේ කම්කරු නීති කම්කරු ඇමතිවරයාට යල් පැන ගිය පෞරාණික නීති බවට පත් වන්නේ සැබෑ තත්ත්වය නම් කම්කරු සාමුහිකත්වය අතුගා දැමීමේ හා කම්කරුවන් තුළ ඇති ශක්තිය දුබල කිරීමට බව අදාළ වැඩසටහනට එක් වුණු විද්වතුන් ප්‍රකාශ කළා.
ඒ අනුව අපි කැමැති 1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත හා ඒ පනත සංශෝධනය වූ අදාළ පෙළගැස්මක් ඉදිරිපත් කරන්න.
පසුව සෙසු පනත් පිළිබඳව එකිනෙකට තොරතුරු මතු කරන්නට බලාපොරොත්තු වෙනවා.
සේවකයින්ගේ පඩි සේවා කොන්දේසි සේවා තත්ත්වයන් පාලනය කරන 1941 අංක 27 පනත මගින් සිදු වෙනවා.
1928 අවම චේතන නියම කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරිමට අදාළව අංක 26 දරණ පොදු සම්මුතියක් හා අංක 30 දරණ නිර්දේශයක් සම්මත කෙරී තිබෙනවා.
ඊට වසරකට පෙර එනම් 1927 අංක 27 දරණ අවම චේතන ඉන්දියානු කම්කරු ආඥා පනත ලංකාවේ සම්මත වීම විශේෂ කරුණක්.
ඉන්දියානු සේවකයන්ගේ සේවා තත්ත්වය හා චේතනවලට අදාළ එම පනත මගින් වෘත්තියට අනුව චේතන නියම කිරීම රැකියා සඳහා අවම වයසක් නියම කිරීම.
සාමාන්‍ය වැඩ කරන දිනයන් පැහැදිලි කිරීම.
ත්‍රෛපාර්ශ්වීය යාන්ත්‍රණය හඳුන්වාදීම, අවම චේතනය තීරණය කිරිම සඳහා වතු චේතන මණ්ඩල පිහිටුවීම පිළිබඳ ප්‍රතිපාදන 1941 අංක 27 දරණ පනත මගින් සලසා තිබෙනවා.
එම පනත ශ්‍රී ලංකා පඩිපාලක සභා ආඥාපනතට ප්‍රාරම්භයක් සපයන ලදයි කිමී වඩාත් නිවැරදියි.
එමගින් ඉන්දියානු වතු කම්කරුවන් පමණක් ආවරණය වීම නිසා සියලු කම්කරුවන් ආවරනය වන පරිදි 1941 අංක 27 දරණ පඩිපාලක ආඥා පනත සම්මත වී තිබෙනවා.
මෙම ආඥා පනතට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විවිධ ගෝලීය ආයතන අනුග්‍රහය ලැබිල තියෙනවා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික සම්මුතීන් හා සෙසු සම්මුතීන් ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 23 වන වගන්තිය යටතේ අදාළ වගන්ති අන්තර්ගතයි.
සේවකයින්ගේ චේතනා සේවා කොන්දේසි සේවා තත්ත්වයන් හා සම්බන්ධ පනතක් වන පඩිපාලක සභා ආඥා පනත මෙරට සේවකයින්ගේ නියෝජිතයින් හා සේවකයින්ගේ නියෝජිතයින් සමාන සංඛ්‍යාවකින් හා අමාත්‍යවරයා විසින් නියමකොට පත් කරන ලද නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විතයි.
ත්‍රෛපාක්ෂික හමුවක් තුළින් එම කරුණ තීරණය කිරීමේ යාන්ත්‍රණයක් මුල් වරට හඳුන්වා දුන් පනතක් ලෙසින් එය වැදගත් වෙනවා.
මෙය ක්‍රියාත්මක වුණේ 1941.09.19 දිනයි.
සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ ආවරණය නොවන පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයන් හා රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩවලට අයත් කර්මාන්තවල සේවයේ නියුක්ත සේවකයින් මෙම පනතින් ආවරණය වී තිබෙනවා.
නමුත් බාල අපරාධකාරයන්, අඳ ගොලු බිහිරි වැනි විශේෂ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයින් වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් හෝ පලපුරුද්දක් ලබාදීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ආයතන මේ පනත යටතේ ආවරණය වෙලා නැහැ.
පනතින් ආවරණ වන සියලුම කර්මාන්තවලට අදාළ වන පොදු නීති මෙහි දැක්වෙනවා.
පඩිපාලක සභා පිහිටුවා නොමැති කර්මාන්ත සඳහා අදාළ වන්නේ එම කොටසයි. එහි විධිවිධානයි.
එහි පළමු කොටසට මේ පනතේ අනාවරණය වෙනවා.
දෙවන අනාවරණය වන්නේ පනතින් විශේෂයෙන් පිහිටුවන ලද පඩිපාලක සභාවට අදාළ නියමයන් හා තීරණවලට අදාළ විධිවිධාන එම කොටසින් දැක්වෙනවා.
පිහිටුවා ඇත නිශ්චිත කර්මාන්තවලට පඩිපාලක සභාව විසින් තීන්දු කරන ඇති නියමයන් හා කොන්දේසි ඒ ඒ කර්මාන්තයන්ට අදාළ කර තිබෙනවා.
පළමු කොටස අපි හඳුනා ගනිමු.
එම කොටස මෙම පනතින් ආවරණය වන සියලුම කර්මාන්තවලට අදාළයි.
යම් සේවකයෙකුගේ පඩිය එම සේවකයාගේ කැමැත්ත අනුව බලයලත් අඩු කිරීම් පමණක් අඩුකර ලංකාවේ වලංගු මුදලින් සේවකයාගේ අතට ගෙවීමට ප්‍රතිපාදන සලස්වා තියෙනවා.
එක වරකදී පඩියෙන් බලයලත් අඩු කිරීම් කළ හැක්කේ 50% උපරිමයක් දක්වා පමණයි.
ඒ කියන්නේ සේවකයෙක් යම් ණයක් අරගෙන තියෙනවා නම් අත්තිකාරම් මුදලක් ලබාගෙන තිබෙනවා නම් කොච්චර මුදලක් ලබාගෙන තිබුණත් ඔහුගේ මාසික වැටුපෙන් 50%ක් පමණයි හිමිකාරියන්ට හා හාමුපුතුන්ට අය කිරීමට හැකි වන්නේ.
එය පෞද්ගලික අංශයටත් රාජ්‍ය අංශයටත් එහෙමයි.
නමුත් ඒ නීතින් අභිබවා හැසිරෙන අවස්ථා ඇතැම් විට දකින්නට ලැබෙනවා.
යම් නිශ්චිත කර්මාන්තයක් සඳහා එම ප්‍රමාණය 75%ක මුදලක් දක්වා වැඩි කිරීමට නමුත් ඇමතිවරයාට පනතින් බලය ලබා දී තිබෙනවා.
ආදායම් බදු පනතින් හෝ වෙනත් ලිඛිති නීතියක් මගින් හෝ උසාවි නියෝගයක් මත කෙරෙන අඩු කිරීම්වලට මෙම සීමාවන් බලපාන්නේ නැහැ.
එහෙම නම් කම්කරු නීති සංශෝධනය කිරීමට ආණ්ඩුව වෙහෙසෙන්නේ ඇයි?
තවදුරටත් අපි කම්කරු නීතිවල පඩිපාලක සභාව පිළිබඳව බලයලත් අඩුකිරීම් මොනවද කියල තේරුම් ගන්න උත්සාහ කරමු.
සේවා යෝජක විසින් ගෙවනු ලබන අත්තිකාරම්.
සේවකයාගේ ඉල්ලීම් අනුව තෙවන පාර්ශ්වයකට ගෙවීමක්.
ආයතනයෙන් ලබාදෙන ආහාරවල වටිනාකම.
සේවක අර්ථසාධක අරමුදල් හෝ එවැනි ව්‍යවස්ථාපිත අරමුදලකට කරනු ලබන අඩු කිරීම්.
කම්කරු කොමසාරිස් ජනරාල් විසින් අවසර ලබාදී ඇති වෘත්තීය සමිතියිකට මරණාධාර සමිතියකට සුබසාධක සමිතියකට හෝ පූජනීය ස්ථාන අරමුදලකට සේවකයාගේ කැමැත්ත පරිදි අඩු කරන ලද සාමාජික මුදල්.
ගෙවල් සේවා යෝජකයා විසින් සපයන ලද කුලී සඳහා අය කිරීමක් අනුමත සීමාවන් තුළ අඩු කරගන්න පුළුවන්.
ඇප මුදල් තැන්පත් කිරීමක් තමා සේවය කරන ආයතනයේ විකිණීමට තබා ඇති භාණ්ඩවලින් සේවකයා විසින් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම සේවායෝජකයා විසින් සපයන ලද පහත සේවා සඳහා ගාස්තුවක් වශයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ලිඛිතව අනුමත කරන ලද මුදල් ප්‍රමාණයක්.
කරණවෑමියකුගේ එහෙම නැත්නම් ඇඳුම් පිරිසිදු කරන්නෙකුගේ සේවය කම්කරු කොමසාරිස් ජනරාල් වරයා විසින් අරමුදලින් හෝ යෝජනා ක්‍රමයකින් අනුමත කර ඇති ලබාගත් ණයක් වෙනුවට අය කරනු ලබන වාරික මුදල් සහ අනුමත පොලී මුදල්.
සේවකයාගේ වැරදි නිසා අය කරනු ලබන දඩ මුදල් එක වරකදී අඩු කළ හැකි ප්‍රමාණය පඩියෙන් 5%කට නොවැඩි විය යුතුයි.
දඩයක් නියම කළ හැකි වරදවල් මෙහි අන්තර්ගතයි.
පඩිපාලක සභා නියෝග උපලේඛනයේ ‘අ’ දරණ ලැයිසතුව, පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකර වැඩට නොපැමිණීම, පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකර ප්‍රමාදවී වැඩට පැමිණීම.
නොසැලකිලිමත්කම හෝ හිතුවක්කාරකම නිසා ආයතනයේ භාණ්ඩවලට හෝ ද්‍රව්‍යවලට හානි කිරීම හෝ නැති කිරීම.
මෙම වරදවල් සේවකයාගේ නොසැලකිලිමත්කම හෝ හිතුවක්කාරකම නිසා සිදුවී ඇති බව සනාථ විය යුතුයි.
නොසැලිකිලමත් බව හා උදාසීනකම සේවා කාලය තුළ නිදාගැනීම, විද්‍යානුකූල නියෝග ඕනෑකමින් පැහැර හැරීම, සේවා යෝජකයට අයත් භාණ්ඩ හා ද්‍රව්‍ය සොරකම් කිරීම, සේවායෝජකගේ ව්‍යාපාර සම්බන්ධ වංචා කිරීම්, වැඩ කරන කාලය තුළ බීමත්ව සිටීම, හිතාමතා අකීකරු වීම, හිතාමතා විනය කඩ කිරිම්, සේවා ස්ථානය තුළ දී පාරිභෝගිකයාට අවිනීත වීම, බොරු ලෙඩ ගැනීම, වැරදි නොමඟ යන ප්‍රකාශ කිරීම, අවසර නැතුව ආයතනය තුළ පෝස්ටර් හෝ පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම හෝ බෙදාහැරීම ආයතනයේ පිරිසිදු කම පිළිබඳ උපදෙස් කඩ කිරීම, තහනම් ප්‍රදේශයක දුම්බීම, සේවා ස්ථානයේ ඇති ආරක්ෂක උපකරණවලට අනවශ්‍ය ලෙස අතගැසීම් ඉහත සඳහන් සේවකයාගේ වැරදි ක්‍රියාවන් සඳහා දඩ වශයෙන් වැටුපෙන් මුදල් අඩු කරන්න පුළුවන්.
සේවායෝජකයාට අඩු කළ හැකි දඩ මුදල සේවකයා විසින් උපයන ලැබූ පඩියෙන් 5%කට නොවැඩි වෙන්න ඔන.
එලෙස අඩු කරගන්නා දඩ මුදල් සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා වන කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ලත් සුබසාධන කාර්යයක් සඳහා යොදවන්න අවශ්‍යයි.
මේ දැනට ඉදිරිපත් කරේ තොරතුරු කීපයක් පමණයි.
මෙවැනි තත්ත්වයක් හමුවේ ලංකාවේ ශ්‍රම බලකාය බෙදුම්කරණය කිරිම, විධිමත් කොන්ත්‍රාත් ශ්‍රමය බාහිරින් ලබාදීම සහ අනියම් කරණය කිරිම හා වෙනත් බලරහිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව වෙහෙසීමේ ප්‍රතිඵලයක් ද මේ ප්‍රතිසංස්කරණ නීති ගෙන එන්නේ.
මෙම ආණ්ඩුව පෙර රජය මෙන් කම්කරු නීති සැහැල්ලුවට ලක් කරන කරුණු 11කින් සමන්විත ප්‍රතිසංස්කරණ යෝජනා තුළ අන්තර්ගතයි.
එහෙම නම් මොකක්ද මෙහි යථාර්ථය.
නමුත් රජයේ සේවකයින්ට අප්‍රමාණ නිවාඩු දෙන සමාජ පසුබිමක්ද තිබෙනවා.
එය ද අප තේරුම්ගත යුතුයි.
පසළොස්වක පොහොය දිනය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.
එදිනට සේවය කරනවා නම් සේවකයාට වැටුප මෙන් අදාළ දිනයට තවත් 50%මුදලක් එකතු විය යුතුයි.
සේවකයා සේවයේ යොදවා ගත හැක්කේ සාමාන්‍ය සේවා කාලය තුළ පමණයි.
පොහොය දිනය සති දිනයක යෙදී ඇති විට ඒ වෙනුවෙන් හිලව් නිවාඩුවක් ලබාදිය යුතු නැහැ.
කොහොම හරිම මේ පිළිබඳව තවදුරටත් අපි පඩිපාලක මේ පනත අනුව පඩි ගෙවීම, පඩිපාලක සභාවේ කාර්යයන්, දැනට පිහිටුවා ඇති පඩිපාලක සභා, කම්කරු කොමසාරිස් ජනරාල් සතු ඒ සම්බන්ධ බලතල, පනතින් නියම කර ඇති දඬුවම්, සේවා යෝජක වගකීම් හා යුතුකම්, සේවකයාගේ වගකීම් හා යුතුකම්, තවත් ඊළඟ ලේඛනයෙන් තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු