ප්‍රජාව වෙත සාධාරණත්වය ඉටු කරන්නට සියල්ලටන්ම ඉහළින් සිටින ආයතනය අධිකරණයයි.
අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කලක පටන් ගැටලු‍ සහ සැක සංකා මතු වී තිබෙනවා.
මෙරට ප්‍රජා සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳව නැවත නැවතත් කතා කරන්නට ජනමාධ්‍යයට සිදුවී තිබෙනවා.
අසාධාරනයට ලක්වන පුරවැසියකුගේ අයිතිය වෙනුවෙන් අධිකරණය හැරෙන්නට පෙනී සිටීමට ඉඩ ඇති අනික් එකම ආයතනය ජනමාධ්‍යයයි.
අගතියට පත්වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් ජනතාව දැනුවත් කිරීම හැරෙන්නට ඉන් එපිට යමක් කරන්නට ජනමාධ්‍යයන්ට නීතිමය අයිතියක් නැහැ.
මානව අයිතිවාසිකම් ඉහළින්ම සුරකින්නට සැදී පැහැදි සිටින ආයතනයක් වෙතින්ම එම අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිසා ඒ පිළිබඳව නැවත නැවත කතා කරන්නට ජනමාධ්‍යය පෙළඹෙන්නේ ඒ නිසයි.
උත්තරීතර ආයතනයක් විය යුතු අධිකරණය එහි ස්වාධීන භාවය හා විනිවිධ පෙනෙන බව පිළිබඳව ගැටලු‍ මතුවී තිබෙන්නේ අධිකරණය අභ්‍යන්තර තුළින්මයි.
මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට තැන ලබාදෙන්න යැයි පවසා සිටින්නේ අධිකරණ නිලධාරින්ගේ සංගමයයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධිකරණ නිලධාරින් පත් කිරීම සම්බන්ධව අධිකරණ නිලධාරින්ගේ සංගමය ඇති දැක්ම පැහැදිලි කරන්නේ 2023 මැයි මාසය අවසන් වන විටයි.
මහාධිකරණ නිලධාරින්ගේ සංගමයේ පසන් අමරසේකරගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකින් ඒ බව කියා තිබුණා.
ජ්‍යෙෂ්ඨත්වයට අනුව මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම පිළිබඳ ගැටලු‍වේදී ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු අනාවරණය වෙනවා.
මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම පිළිබඳව යෝජනා වී ඇති පුද්ගලයින් අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකුගේ නම් ඇතුළත් වී තිබෙන බව අනාවරණය වී ඇතිබව අදාළ ලිපිය මගින් කරුණු පැහැදිලි කරල තිබුණා.
ටිකිරි ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයකු ලෙස සේවය කර පසුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට පත්වීම් ලැබුවෙක්.
ඒ මහතා අධිකරණ සේවයේ සිටියදීම පාර්ලිමේන්තු සේවයට අනුයුක්ත වීම සඳහා අවසර දීම අධිකරණ සේවා කොමිසම විසින් පෙර ප්‍රතික්ෂේප කරල තියෙනවා.
ඒ බව ජනාධිපතිවරයාට යවා තිබෙන ලිපියේ සඳහන් වනවා.
මේ වාතාවරණය යටතේ ජයතිලක මහතා යළි අධිකරණ සේවයට පිවිසීම මගින් අධිකරණ සේවා කොමිසම මීට පෙර ගෙන තිබූ තිරණය උල්ලංඝනය වන බවත් අදාළ විනිසුරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි විනිසුරුවරුන් රැසක් දිවයින පුරා සේවයේ නිරතව සිටින බව සංගමය ප්‍රකාශ කර තිබුණා.
උසස් වීම් පිරිනැමීමේදී විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා වෙත යොමු කර තිබූ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.
ලංකාවේ විධායකයත්, ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් අතර ගැටුම් ඇති වූයේ අද ඊයේ නොවේ.
විධායකය තමන්ට විය හැකි පාඩු වළක්වාගැනීම සඳහා ඉතිහාසය තුළ පියවරෙන් පියවර සිදුවූයේ ක්‍රමයෙන් අධිකරණය අඩපණ කර ගැනීම සඳහා විවිධ උපායමාර්ග යොදාගැනීමයි.
අධිකරණය වෙත යෑමේ අවශ්‍යතාවය නැති කරගැනීමට විධායකයත් ව්‍යවස්ථාදායකයත් ඉතිහාසයේ සිට විශාල ප්‍රයත්නවල යෙදුණා.
ඒ ප්‍රයත්නයන්වලට විවිධ දේශපාලන කරුණු බලපෑවා.
අධිකරණය සමග ඇති කරන සම්බන්ධය නිසා ඇති විය හැකි විශාල පසුබෑම් වලක්වාගැනීම සඳහා උපායමාර්ගයක් වශයෙන් අධිකරණය සතු බලය අවම කරගැනීමටත් ඒ සඳහා තමන්ට පක්ෂපාතී අය අධිකරණයේ විනිශ්චයකාරවරුන් ලෙස පත් කිරීමත්, පැවති විධායකයන් හා පවතින විධායකයේ අවමනෝඥ ක්‍රියාවන් වශයෙන් දකින්න පුළුවන්.
බි්‍රතාන්‍යයන් විසින් ඇති කරන ලද පාලන ක්‍රමය අනුව අධිකරණමය සමාලෝචන බලය නැතිනම් විචාර කිරීමේ බලය අධිකරණයට හිමිව තිබුණා.
මේ බලය වූයේ ව්‍යවස්ථාදායකය විසින් පනවන ලද යම් නීතියක් රටේ ව්‍යවස්ථාවට පටහැනි යැයි අධිකරණය නිගමනය කළොත් එ නීතිය නිෂ්ප්‍රභා කර අවලංගු කර දැමීමට අධිකරණයට තිබූ බලයයි.
ලෝකයේ සියලු‍ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ මේ බලය පවතිනවා.
ඒ බලය විකාශනය කෙරේ නැත්නම් ව්‍යාප්තවීම කෙරෙහි බොහෝ දුරට බලපෑවේ ඇමරිකාව තුළ ජනාධිපති ක්‍රමය හා අධිකරණයේ ඇති වූ ගැටීම්වල විකාශනයයි.
නීතියේ අවසාන ආරක්ෂකයා අධිකරණය බව අධිකරණය විසින්ම සනාථ කිරීමට ගන්නා ලද සුවිශාල උත්සාහයන් නිසා ඒ තත්ත්වය ලෝකයේ වර්ධනය වුණා.
එහි ප්‍රතිඵලය වූයේ අධිකරණයේ යම් නීතියක් නිති විරෝධී යැයි ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ නීතිය රට තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීම තුළින් අසාධාරණය වූ නීතීන් ඇති වීම වළක්වාගැනීමට ගත් උත්සාහයන් යැයි කියන්න පුළුවන්.
ලංකාව නිදහස ලබන කාලය තුළ ලංකාවේ මේ තත්ත්වය පැවතුණා.
සමහර අව්සථාවලදී අධිකරණය සමහර නීති අවලංගු කිරීමට එදා මැදිහත් වුණා.
විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ ආරක්ෂාවට අදාලව පැවති ව්‍යවස්ථාදායක ප්‍රතිපත්තිවලට අනුකූලව යම් අවස්ථාවන්වලදී රජයේ සමහර පනත් අවලංගු කිරීමට හෝ සංශෝධනය කරවීමට අධිකරණය මැදිහත් වූ අතර සමහර අවස්ථාවලදී එය දේශපාලන වශයෙන් විශාල අර්බුද ගෙන ඒමට පැවති රජයන්ට මග පෑදුණා.
ප්‍රශ්නය නම් ලංකාවේ පැවති අධි තරගකාරී දේශපාලන ක්‍රියාවලිය නිසා හුදෙක්ම රජය විසින් ගෙන එන ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයන් නතර කිරිම සඳහා මේ ගැටුම ඇරඹෙනවා.
නඩුහබ පැවරීමත් ඒ නඩුහබ කලට වේලාවට විසඳාගැනීමට බැරිවීම නිසාත් පවතින ආණ්ඩුවට ඇති වූ ගැටලු‍ මීට නිමිත්ත වෙනවා.
මේ ගැටලු‍වල ප්‍රතිඵලය වුණේ බලයේ සිටින ආණ්ඩුව තම දේශපාලන ගැත්තන් විසින් ගෙන යන කඩාකප්පල්කාරී ක්‍රියාවල අතකොළුවක් බවට අධිකරණය පත්කරගත හැකිය යන භීතියකින් පැවති හා පවතින ආණ්ඩුවේ මානසිකත්වයයි.
මේ කරුණ දේශපාලන පක්ෂ කෙරෙහි බලපෑ යම් මතවාදයක් කියල දකින්න පුළුවන්.
මේ මතවාදයේ ප්‍රතිඵලය තදින්ම ක්‍රියාත්මක වුණේ 1972 ජනරජ ව්‍යවස්ථාව මගින්.
අධිකරණයේ සමාලෝචන බලය අධිකරණයෙන් අහිමි කර දැමීමෙන් ඒ තත්ත්වය වර්ධනය වුණා.
ඒ වෙනුවට යම් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පමුණුවා ඒ පනතට යම් විරෝධා මතු වන්නේ නම් ඒ විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මතු කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නව පනත් කෙටුම්පතින් කිසියම් ව්‍යවස්ථාමය නීතියක් කඩවී තිබේයැයි අදහසට එළැඹියහොත් ඒ කෙටුම්පත තුළ යම් සංශෝධනයක් ඇති කිරීමට හෝ එසේ නැත්නම් ජනමත විචාරණයකට හා පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත විය යුතු කෙටුම්පතක් ලෙස නිර්දේශ කිරීම තුළින් එවැනි කෙටුම්පත් තුළ නත්‍යානුකූල භාවය පිළිබඳ පියවර ගැනීමේ පසුබිම නිර්මාණය වෙනවා.
මෙය අංගසම්පූර්ණ අධිකරණ බලය හා සමාලෝචනය කළ ඉතාම සුළු බලයක් පමණක් වෙනවා.
බොහෝ විට නීතිවල තිබෙන අඩුපාඩුකම් පෙන්නුම් කිරීමට පටන් ගන්නවනම් ඒවා ක්‍රියාත්මක කිරීමට ඇතිවන ගැටලු‍වත් මෙහිදී ප්‍රදර්ශනය වෙනවා.
අධිකරණ සමාලෝචන බලය තිබෙන රටවල සිදුවන්නේ ඒ බලය පාවිච්චි ිකරිම මගින් ඒ නීතිය නිවැරදි කිරීමට අධිකරණයට මැදිහත්වීමට ඇති අවකාශයයි.
රටේ පවතින සෑම නීතියක්ම සාධාරණ නීතියක් සේ පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිවෙනවා.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින් ශක්තිමත් කරන බලයක් ලෙස පෙනෙනවා.
ඒ බල ක්‍රියාදාමය ලංකාවෙන් 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කර අවලංගුකර දමා තිබෙනවා.
මේ ක්‍රියාදාමය තුළින් සිදුවූයේ අධිකරණය සමාලෝචන බලය මෙන්ම නඩු පමාවීම මගින් අධිකරණය තුළදී ඇතිවන අකාර්යක්ෂමතාවය නිසා රාජ්‍ය කරගෙන යාමට බාධාවක් වෙනවා යන මතය ලංකාවේ දේශපාලන පක්ෂ තුළ සිටි බුද්ධිමතුන් අතර තහවුරු වීමට පටන් ගැනීමයි.
ලංකාවේ සියලු‍ම දේශපාලනඥයන් මෙන්ම අධිකරණයන් සමාලෝචන බලයට කෙළින්ම හෝ වක්‍රව විවෘත වූවත් විරුද්ධ වූවන් සේ ඉස්මතුව පෙනෙන්නට වුණා.
මේ අතර ප්‍රධාන දේශපාලන නායකයන් බවට පත් වූ සමහර නායකයන් පිළිබඳව ඉතා දැඩිව ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.
1977 ව්‍යවස්ථාව සීමාසහිතව 1972 ව්‍යවස්ථාවෙන් ඉඩදුන් අධිකරණ සමාලෝචන බලය තවදුරටත් සීමා සහිත වුණා.
ඒ තුළ ව්‍යවස්ථාමය වෙනස්කම් ගණනාවක්ම ඇතුළත් වුණා.
එය සීමාසහිත ආකාරයකට.
යම් පනත් එනම් ව්‍යවස්ථා සංශෝධනයක් පවා හදිසියේ කරගැනීමට අවශ්‍ය යැයි ජනාධිපතවරයාට හැගුනොත් ඔහු ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී කෙටි කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දන්වන ලෙස ඉල්ලා සිටීමට තිබූ හැකියාවයි.
මෙහිදී සිදුවූයේ යම් පනත් කෙටුම්පත් හෝ ව්‍යවස්ථා කෙටුම්පත් පිළිබඳවත් ජනතා සාකච්ඡාවක් ඇති වීම වළක්වාලීමයි.
විධායකය වඩාත් ව්‍යාජ ආකරයෙන් අධිකරණයේ සමහර විනිශ්චයකාරවරුන්ව විධායකයකට වඩාත් පක්ෂපාතී කණ්ඩායමක් වශයෙන් නිර්මාණය කරගැනීමේ පසුබිම මේ වන විට සකස් වී තිබෙනවා.
එය ගැටලු‍ සහගත තත්ත්වයක්.
ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්.
මෙය සාධාරණීකරණය කිරීමට දේශපාලනඥයින් උපායමාර්ගිකව යොදාගෙන ඇති තර්කය වන්නේ අධිකරණය කරා යන පනත් අධිකරණයේ පවතින නඩු පමාවට යටත් වන බවයි.
ඒ වගේම විශාල වශයෙන් දේශපාලන මතවාදයන් නිසා බිඳී සිටින සමාජයක විනිශ්චයකාරවරුන් පවා ඒ දේශපාලන මතවාදවල කොටස්කරුවන් වන බැවින් ඔවුන් හුදෙක් තම දේශපාලන මතවාද නිසාම අලු‍තින් ඉදිරිපත් කරන සමහර නීතින් යටපත් කිරීමට ඉදිරිපත් වේ යැයි අනිසි බියයි.
මේ නිසා අධිකරණය පිළිබඳ දැඩි සැකයක් මතු කරගැනීමට දේශපාලනඥයන්ට ඇති වී තිබෙන හැකියාව නිසා වර්තමානය දක්වා මේ තත්ත්වය දියත් වී තිබෙනවා.
2015 මහජන ඡන්දයෙන් පසු අලු‍තෙන් ඇති වූ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සංශෝධනය කරන බවට යෝජනා කොට සාකච්ඡාවක් පවත්වාගෙන ගියා.
එමගින් අධිකරණ සමාලෝචන බලය මුළුමනින්ම නැවත ඇති කරනවා යන ප්‍රතිපත්තියක් හැටියට කිව්වා.
නමුත් ඒ ප්‍රතිපත්තියට ගැඹුරින් එකගවූ දේශපාලනඥයන් සිටිනවා නම් එසේ සිටින්නට ඇත්තේ ඉතාම අතලොස්සක් පමණයි.
අන් සියලු‍දෙනා ඔවුන් තුළ ඇති රහසිගත මතවාද හැටියට පවත්වාගෙන ගියා.
අධිකරණ සමාලෝචන බලයට ඉඩදීම තුළින් අධිකරණයේ පවතින අකාර්යක්ෂමතාවයේ වහළුන් බවට පාර්ලිමේන්තුව පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඔවුන් දරන මතවාදයන් ඒ තුළ ගැබ් වුණා.
එසේ වුවත් ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් තදබල තර්ජනයක් මේ වන විට මතු වී තිබෙනවා.
එය අධිකරණය විශාල නඩු පමාවල එළැඹි අකාර්යක්ෂම සංස්ථාවක් සේ පවතින මානසිකත්වයයි.
විධායකය අධිකරණ බලයට යටත් නොවන ආකාරයකින් ක්‍රියා කිරීම සඳහා විවිධාකාර වූ උපාය මාර්ගයන් පාවිච්චි කරනවා.
රට වැසියාට නීති සාධාරණ හා නීත්‍යානුකූලද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට තිබූ අවස්ථාවන් බොහෝ සේ සීමා සහිත කර තිබෙනවා.
දෝෂාභියෝග ආදිය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරයකුට විරුද්ධව පැන නැගුනා ඔබට මතක ඇති.
දෝෂාභියෝගය ඉතාම හිතුවක්කාර ආකාරයට විධායකය විසින් යොදා ගත්තා.
ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදී.
එය ක්‍රියාත්මක කළේ ඉතාම නින්නදනීය ලෙස අධිකරණයට පහත් සේ සලකන ආකාරයටයි.
මේ සියල්ල පිටුපස පැවති එක් ප්‍රධාන මතවාදයක් නම් විධායකය සහ අධිකරණය අතර පවතින සම්බන්ධතාවය ඈත්ව පවත්වාගත යුතු බවයි.
එයට බොහෝ කරුණු බලපාන නමුත් ඒ අතර අධිකරණයේ නඩු පමාව ඉන් ප්‍රධාන කරුණක් වුණා.
විධායකය වඩාත් ව්‍යාජ ආකාරයෙන් අධිකරණයේ සමහර විනිශ්චයකාරවරුන්ව විධායකයට වඩාත් පක්ෂපාතී කණ්ඩායමක් වශයෙන් නිර්මාණය කර ගැනීම සඳහා විවිධ උපායමාර්ග ගන්නවා.
ඒ සඳහා විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ රාත්‍රී භෝජන සංග්‍රහයන් ප්‍රධාන වෙනවා.
විධායකය විනිශ්චයකාරවරුන් පත් කිරීමට ඇති බලය පාවිච්චි කරගනිමින් සම්ප්‍රදායික අධිකරණයේ නිදහස අවලංගු කරන තත්ත්වයක් මේ නිසා උද්ගත වී තිබෙනවා.
සම්ප්‍රදාය විටින් විට බිඳින විධායකයේ ඉතිහාසයක් ලංකාව තුළ තිබෙනවා.
ඒ පිළිබඳ විවේචනයන්ද රට පුරා පසුගිය කාලය තුළ පැවතියා.
මේ තත්ත්වය ඇතිකරගැනීම හිතාමතා කරන ලද්දේ විධායකයේ ක්‍රියාදාමයන් ව්‍යවස්ථාදායක ප්‍රතිපත්තියට අනුකූලවද යන ප්‍රතිපත්තිය නීතියේ නිත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නය ගැන නොතකා තමන්ගේ පහසුව සඳහා විධායකය ඉක්මනින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමයි.
විධායකයේ ව්‍යාජ ක්‍රියාමාර්ග ගැඹුරින් සංවාදයට ලක් නොවන පරිසරයක්ද තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය සමහර අග්‍රවිනිශ්චයකාර හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් ඇතුළු විධායකට සහයෝගය දෙන්නන් බවට පත් කරගත්තු ඉතිහාසයක්ද ලංකාවේ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රබලම පුද්ගලයා වුණේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයායි.
අධිකරණයේ තිබුණු සම්ප්‍රදායික ස්වාධීනත්වය පිළිබඳ අදහස් යටපත් කරමින් විධායකයට සහයෝගය ලබාදෙමින් බලවත් විධායකයක් නිර්මානය කිරීමට සරත් නන්ද සිල්වා තුළ පැවති තත්ත්වය නීතියේ කන්‍යාභාවය දූෂ්‍ය කිරීමට ප්‍රබල සාධකයක් වුණා.
ඔහු පිළිබඳව විවිධ විවේචන උද්ගත වුණ අවස්ථා තිබුණා.
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය හා එහි සභාපතිවරයා හා ලේකම්වරයා ඒ කාල වකවානුවේදී හිටපු අගවිනිසුරුවරයාට විවෘත සංවාදයකට එන්නැයි අභියෝග කළ අවස්ථාත් තිබුණා.
ශ්‍රී ලංකා අධිකරණයේ සරත් නන්ද සිල්වා කාලයේ පැවති ගැටලු‍ සහගත තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදය විනාස කිරිම කෙරෙහි ද විනාශකාරී ලෙස බලපෑවා.
අධිකරණයේ ගෞරවය පිළිබඳව අගවිනිසුරුවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයක් පවත්වන්නේ නම් ශ්‍රී ලංකා අධිකරණයේ ගෞරවය විනාශ කිරීමට හේතු වී තිබෙන සියලු‍ කරුණු එම සම්මේලනයට සැලකිල්ලට ගත යුතු බව එදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරල තිබුණා.
කොහොම වෙතත් අගවිනිසුරු සහ අධිකරණ සේවා කොමිසමට එරෙහිව විනිශ්චයකාරවරුන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථා තිබුණා.
ඒ පිළිබඳව ඉදිරි ලේඛනවලින් අපි කටයුතු සංවාදයක් වර්ධනය කරමු.
මෙය ගැටලු‍ සහගත තත්ත්වය පිළිබඳව හා සරත් නන්ද සිල්වා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කරපු බලපෑම පිළිබඳවත් ඔහුගේ ලැදියාවන් පිළිබඳවත් ඉදිරි ලේඛනවලින් තොරතුරු තවදුරටත් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න