යූ ටියුබ්, ෆෙස්බුක්, ටියුටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මේ වන විට ක්‍රියා කරමින් ඉන්නවා.
සමාජ මාධ්‍ය ජාලා ආණ්ඩුවට රකුසෙක් ද?
ජනාධිපතිවරයා පසුගිය මාස 3කට වැඩි කාලයක් තුළ ඔහුගේ ඇතැම් ප්‍රකාශ හා භාවිතාවන් වලින් ප්‍රකාශ වුණේ සමාජ ජාලා වහාම නියාමනය කළ යුතු බවයි.
ලෝකයේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කරණය සම්බන්ධව සලකා බැලු‍වත් ලංකාව දෙස බැලු‍වත් ඒ සම්බන්ධව අපට ගැටලු‍ කිහිපයක් පැන නගිනවා.
ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයක් ලංකාවේ නැති තරම්.
ප්‍රධාන රූපවාහිනී නාලිකා, ජාතික පුවත්පත්වල එය ඉතාම අඩුවෙන් දක්නට ලැබෙනවා.
එවැනි ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් තිබුණත් එය හුදෙක් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවන තත්ත්වයක් පෙනී යනවා.
මේ 21 වන සියවසේ සිදුවන දේ සමග කිසිදු සම්බන්ධයක් නැති ජනමාධ්‍ය පාඨමාලා ලංකාව පුරා තිබෙනවා.
බොහොමයක් පාඨමාලා සකස් වී ඇත්තේ න්‍යායන්වලට පමණක් සීමා වෙලා.
පැරණි සංකල්ප බොහෝ අධ්‍යාපන ආයතන සිය වස්තු විෂය කරගෙන ඉගැන්වීම් කරනවා.
ලංකාවේ මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වුවත් ගවේෂණාත්මක මාධ්‍ය පුහුණු වැඩසටහන් ඇත්තෙම නැති තරම්.
මාධ්‍යකරුවෙකුගේ වෘත්තීමය නිපුණතාවයන් දියුණු කරගැනීමට නම් හොඳ ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබඳ පුහුණුවක් තිබිය යුතුයි.
ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන විශිෂ්ඨ විශ්වවිද ්‍යාලවල වුණත් ඔවුන්ට ඒ උගන්වන කථිකාචාර්යවරුන්ට, අංශ ප්‍රධානීන්ට ප්‍රායෝගික දැනුමක් නැති නිසා ඔවුන් බොහෝ විට න්‍යායන් මත සිය අධ්‍යාපන ප්‍රබන්ධයන් සකස් කරල තිබෙනවා.
මේ නිසා හොඳ මාධ්‍ය ආවරණයක් ගවේෂණාත්මකව කිරීමේ පසුබිමක් ලංකාව තුළ දකින්නට නැහැ.
ඒ නිසා මෑතකාලයේදී යූ ටියුබ්, ෆෙස්බුක්, ටියුටර් වෙබ්සයිඩ් වලින් ප්‍රවේශවුණ මාධ්‍ය සගයින්ට ඒ නිපුණත්වය නැති නිසා ඉතාම ළද බොළඳ විදියට වාර්තා කරණයේ යෙදීම නිසා ගැටලු‍ සහගත තත්ත්වයන් කීපයක්ම මතුවෙලා තියෙනවා.
එකක් ලංකාවේ නීතිමය අවබෝධය ලබාගැනීමේ වපසරියක් අදාළ මාධ්‍යකරුවන්ට නැතිකම.
ඒ නිසා ඉතාම කනගාටුදායක තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
ඒ කනගාටුදායක තත්ත්වයේ එක් ප්‍රතිඵලයක් තමයි සිංගප්පූරුවේ නීතියට අදාළව එහි පිටපතක් වශයෙන් ඉදිරි කාලයේදී ලංකාවේ ෆෙස්බුක්, වට්ස්ඇප්, ටියුටර්වලට විදුලි සංදේශ හා සමාජ මාධ්‍යය පනතට සමාන පනතක් හඳුන්වාදීමට රජය ක්‍රියා කරමින් ඉන්නේ.
ගවේෂණාත්මක වාර්තාකරණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විවිධ මට්ටමින් එමගින් සහය ලබාදීමේ පරිසරයක් ද ලංකාව තුළ නැහැ.
ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳ දැනුම විවිධ අවස්ථාවන්වලදී ක්‍රියාත්මක වන අවස්ථා තිබෙනවා.
ඒ කෙටිකාලීන,අර්ධකාලීන, සුළු විවිධ වැඩමුළු හා රැස්වීම් සංවිධානය තුළින්.
ගවේෂණාත්මක මාධ්‍යකරුවන්ට අවශ්‍ය විවිධ ආකාරයේ උපකාර කිරීමේ ක්‍රියාවලියක් රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක නොවන පරිසරයක් තුළ ෆෙස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප් මගින් ප්‍රාථමික මට්ටමේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නිසා රජය මේ සම්බන්ධව නියාමනය කිරීමට ක්‍රියාත්මක වන්නේ ඉතාමත් අයුතු ලෙසයි.
මේ තත්ත්වය රටේ සමාජ පැවැත්මටත් ඉතාමත් අහිතකර තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව සෑහීමකට පත් වන්න නොහැකි පරිසරයක් තියෙන බව අප තේරුම්ගන්න අවශ්‍යයි.
ඔබත් මමත් විවිධ බාධකවලට ඒ නිසා ඇතැම් විට මුහුණදෙන අවස්ථා තිබෙනවා.
බොහෝ වාරණයන්, මැදිහත්වීම් සිදුවෙන පරිසරයක් මේ නිසා නව මාධ්‍යය පනත හරහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති කරණය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට ලෝකයේ රටවල් උනන්දුවන පරිසරයක්ද දැනට නැහැ.
නමුත් මාධ්‍යකරුවන්ට මාර්ගගත ක්‍රමයෙන් එම පුහුණුව අන්තර්ජාතික ප්‍රවෘත්ති ඒජන්සිවලට ලබාදෙන්න පුළුවන්.
එහිදී තවත් ගැටලු‍වක් ඉස්මතු වෙනවා.
ඒ 1956 බණ්ඩාරනායක රජය විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ඔල්මාද ක්‍රියාවලිය තුළ ඉංග්‍රීසි නොදත් බහුතරයක් අප සමාජය තුළ වර්තමානය වන විට ජීවත්වීම නිසා.
බටහිර රටවල ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයට වඩා පහසුකම් තිබෙනවා.
ඊට හේතුව ලෝකයේ දියුණු රටවල දැනුම අවබෝධය පුරවැසියන් තුළ ආත්මගතව තිබීමයි.
සාපරාධී අපහාසය බටහිර රටවල එතරම් තකන්නේ නැහැ.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක සාපරාධී අපහාසය ක්‍රියාත්මක නොවිය යුතුයි.
එවැන්නක් ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයට දැඩි බාධාවක්.
යම් අපහාසයක් වැනි දෙයක් සිදුවුවහොත් එහි මූල්‍යමය වන්දියක් ලබාගන්න එහෙමත් නැත්නම් දැනට තියෙන ආචාර ධර්මය අනුව අදාළ වැරැද්දක් සිදුවී ඇත්නම් පළමුවෙන්ම එය නිවැරදි කිරීමෙන් කළ හැකියි.
නමුත් ඉදිරි කාලය තුළ දී යූ ටියුබ්, ෆෙස්බුක්, ටියුටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරිම මගින් අපරාධමය නෛතිකත්වයක් ගොඩනැගීමේ මාවත දිගු වෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවල අපරාධමය නෛතික තත්ත්වයන් මාධ්‍යවේදීන්ට බලපාන ලෙස ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණක්.
විවිධ වාරණ ප්‍රවෘත්ති මාධ්‍ය සඳහා ක්‍රියාත්මක වන්නේ පාලකයින්ට පාලකයින්ගේ දුර්වලතැන් හෙළිදරව් වීම, හෙළිදරව් කිරීම නිසයි.
ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජය යළි පසුපසටගෙන යාමත් මෙවැනි නියාමනය තුළින් ඇති වෙනවා.
ඒ නිසා පනතේ තත්ත්වය කුමක් වුවත් අප පළමුවෙන්ම සොයා බැලිය යුතුයි මේ පනතේ තොරතුරු ලංකාව සොයා ගන්නේ කොහොමද කියලා.
සිංගප්පූරුව ගැන අප දශක ගණනාවක සිට විවිධ වගතුග අප අසා තිබෙනවා.
දශක ගණනාවක් සිට සිංගප්පූරුව දියුණුවීමට උත්සාහ ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය දෙස බලා.
නමුත් අද සිංගප්පූරුව ලංකාවට වඩා දියුණුවේ ගව් දහස් ගණනක් දුර ගොස් තියෙනවා.
ශ්‍රී ලංකාව ගව් දහස් ගණනාවක්ම ආපස්සට ගිහිල්ල තියෙන්නෙ දූෂිත රාජ්‍ය දුරාචාරය පදනම්ව ගොඩනැගුණු දූෂිත ප්‍රතිපත්තිමය දේශපාලන පරිසරය තුළයි.
එය වසර හැත්තපහක් කරා ඈතට දිව යනවා.
සිංගප්පූරුව ලෝකයේ තියෙන ඉතාමත් කුඩා රාජ්‍යයක්.
එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 733ක් වෙනවා.
ප්‍රමාණත්වය අතින් බැලු‍වොත් 178 වන ස්ථානයේ සිංගප්පූරුව තියෙනවා.
සිංගප්පූරුව කොතරම් කුඩා දැයි එයින් පෙනී යන කරුණක්.
සිංගප්පූරුව වැනි කුඩා රටකට ජනගහනය එදා 2023 ජනවාරි මස වන විට සංඛ්‍යාත්මකව කියනව නම් 56,37,000ක් (පනස් හය ලක්ෂ තිස්හත්දායක්) පමණ වෙනවා.
75%ක් ආසන්න පිරිස චීන ජාතිකයින්, 14% සිංගප්පූරුවේ ජීවත් වෙන්නේ මැලේ ජාතිකයින්.
කෙසේ හෝ මෙහිදී හෙළිවන සුවිශේෂී කරුණ නම් මෙම සමස්ත ජනගහනයෙන් 32%ක්ම බෞද්ධයන් වීමයි.
කිසිදු ආගමක් නොඅදහන පිරිස 20%ක් වෙනවා.
කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව අතර 20%ක් කියල කිව්වොත් නිවැරදියි.
ඉස්ලාමිකයින් 16%ක් ඉන්නවා.
ඉතිරි පිරිස විවිධ රටවල විවිධ ජාති ආගම්වලට අයත් පිරිස වෙනවා.
සිංගප්පූරුව යනු ලෝකයේ තිබෙන අතිශයම ධනවත් සහ දියුණු රාජ්‍යයක්.
මේ රටේ වත්මන් ඒක පුද්ගල ආදායම අදහාගත නොහැකි ආකාරයට අතිශයම ඉහළ අගයක් තුළ පවතිනවා.
ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 576ක් වෙනවා.
ලෝකයේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා ඒ අනුව.
ලෝකයේ බොහෝ බටහිර ධනවත් දියුණු රටවල් පවා සිටින්නේ සිංගප්පූරුවට පසු ස්ථානයක.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම වන්නේ ඩොලර් 3840ක් වැනි සුළු අගයකි.
ඒ අනුව සිංගප්පූරුවත් ලංකාවත් සමාජීය ආර්ථික සංස්කෘතික තක්සේරුව ඔබට තේරුම්ගන්න පුළුවන්.
සිංගප්පූරු බහුතර ජනතාවක් වෙසෙන්නේ තට්ටු ගොඩනැගිලිවල.
නමුත් බහුතර ජනතාවක් ධනවතුන්.
කෙසේ හෝ එරට සාමාන්‍ය ජනතාව පවා බොහෝ විට සුඛිත මුදිත තත්ත්වයෙන් ඉන්නවා.
සිංගප්පූරුව 2022 වාර්ෂික දල දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 702ක් වෙනවා.
එයට හේතුව වන්නේ සිංගප්පූරුවේ තිබෙන අතිශය සාර්ථක ව්‍යාපාරික සහ මූල්‍යමය වටපිටාව නිසයි.
කර්මාන්තකරණය අතින් ද සිංගප්පූරුව යම් දියුණු තත්ත්වයක පසුවෙනවා.
සමාජ මාධ්‍ය නියාමනය පනත අවශ්‍ය වස්තු බීජය ශ්‍රී ලංකාව සොයාගෙන තියෙන්නේ සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති පනත අනුවයි.
සිංගප්පූරුව තුළ මේ වන විට ලෝකය තුළ ක්‍රියාත්මක වන බොහෝ සමාජ මාධ්‍ය ජාලා රාශියක්ම ක්‍රියාත්මක වෙනවා.
2019 ජුනි 28 වෙනිදා වන විට සිංගප්පූරු රජය එම පනත අදාළ කර විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
2019 මැයි 8 වැනිදා සිංගප්පූරු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද එම පනත 2019 ජුනි 3දා සිංගප්පූරු ජනාධිපති හලිමා යාකොච් මහත්මිය විසින් අනුමත කර තිබෙනවා.
ඒ පනතේ පරිච්ඡේද 62කින් සමන්විතයි.
උප වගන්ති 250කට අධික ප්‍රමාණයකින් සමන්විත වෙලා තියෙනවා.
පිටු 40කින් පමණ සමන්විත අතිශය දීර්ඝ ලේඛනයක්.
සිංගප්පූරු ජනරජයේ ගැසට් ප්‍රකාශන අධිකාරිය විසින් ප්‍රකාශිත මෙම විශේෂ පනත අන්තර්ජාලය හරහා ඔබටත් කියවන්න පුළුවන්.
ඒ සඳහා පැය කිහිපයක් ගතවන සුළුයි.
එහි කරුණු සඳහන් මනාව අධ්‍යයනය කරන්න නම් පැහැදිලිව දින ගණනක් යනවා.
එම පනත සම්පාදනය කර ඇත්තේ අතිශයම දැඩි නීතිරීති රැසක් යටතේ බව පැහැදිලියි.
ඒ සංකීර්ණ පනත අන්තර්ගත කරගෙන ලංකාවේ මේ නියාමනය කරන්න ලංකා රජය බලාපොරොත්තු වන්නේ.
එහි ප්‍රධානතම කරුණු කිහිපයක් උපුටා දක්වන්නේ නම් සිංගප්පූරුවේ හෝ සිංගප්පූරුවේ ඕනෑම ප්‍රදේශයක ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියා කටයුතු කළ යුතුයි.
මහජන ආරක්ෂාව හෝ මහජන සාමය හෝ රාජ්‍ය මූල්‍ය ආරක්ෂාව කිරිම හෝ මහජන සෞඛ්‍ය හෝ සුරක්ෂිත කිරීම උදේසා පුරවැසියන් කටයුතු කළ යුතුයි.
ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අතුරු මැතිවරණයක් ජනමත විචාරණයක කටයුතුවලට බාදා කිරීම හෝ එවැනි ප්‍රතිඵලවලට බලපෑම සිදු කිරීම සමාජ මාධ්‍ය ජාලා නොකළ යුතුයි.
විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරු කම වෛරය හෝ අයහපත් හැගීම් හෝ උද්දීපනය කිරීමෙන් සමාජ මාධ්‍ය වැලකී සිටිය යුතුයි.
පනතේ අරමුණු ඉටු කරගැනීම සඳහා නිසි බලධාරියෙකු හා අධිකාරියක් ඒ අනුව පත් කර තිබෙනවා.
පනතේ වගන්ති උල්ලංඝනය කරන පිරිස්වලට එහරෙහිව නීතිමය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වරදකරු වන පුද්ගලයෙකුට සිංගප්පූරු ඩොලර් 50,000 සිට පන් ලක්ෂය දක්වා දඩ නියම කරන්න පුළුවන් බව සඳහන්.
ඊට අමතරව වසර 5ක් දක්වා සිර දඬුවම් නියම කිරීම එසේම උපරිම වැරදි සඳහා ඩොලර් මිලියන 1ක් දක්වා දඩ නියම කිරීමටත් පනතේ කරුණු අන්තර්ගතයි.
ප්‍රධාන පනතට අමතරව 2022 පසුගිය වසරේ නොවැම්බර් 9 දා සිංගප්පූරු පාර්ලිමේන්තුව විසින් නැවත වතාවක් සමාජ මාධ්‍ය නියාමනය සඳහා අදාළ වන නව නීති රීති කිහිපයක් ද එකතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය ආරක්ෂණය තවත් උච්ච කිරීමේ පරමාර්ථයෙන් මෙසේ නැවත වරක් නීති රීති ගෙන එනු ලැබ තිබෙනවා.
මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති අධිකාරිය ඉන්ෆෝකොම් මාධ්‍ය සංවර්ධන අධිකාරිය ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසර 3 තුළ සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමනය කර තිබෙනවා.
සිංගප්පූරුව තුළ තම සේවාවන් සපයන සමාජ මාධ්‍ය සමාගම් මෑතකදී ඉදිරිපත් කරන ලද නව නීති රීති සහ අණ පනත් ගැන බොහෝ අවබෝධයකින් කටයුතු කළ යුතු බව සිංගප්පූරු රජය අවධාරණය කර තිබෙනවා.
ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටීම ද අතිශ්‍ය බලවත් වරදක් ලෙස පනතේ වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
කෙසේ හෝ පසුගියදා සිංගප්පූරු පාර්ලිමේන්තුව නව නීති රීති සම්මත කර ගත්තේ 2019 දී ස්ථාපිත කෙරනු ප්‍රධාන පනතට සංශෝධනයක් වශයෙන්.
මෙවැනි තත්ත්වයක් සිංගප්පූරුව තුළ තිබුණත් සිංගප්පූරුවේ කිසිදු ජන අරගලයක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වෙන ආකාරයක් දැකීම ඉතාම දුර්ලභව තිබෙනවා.
එසේ වන්නේ එරට තුළ ජන විරෝධයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා මුලින්ම රජයෙන් අවසර ලබාගත යුතු නිසයි.
ඉන් පසුව සිංගප්පූරුව තුළ ඇති එක්තරා වෙන් කරන ලද නාගරික ස්ථානයක් තුළ දී පමණක් එම විරෝධතාවයන් දක්වන්න පුළුවන්.
මේ අනුව සිංගප්පූරුවේ මහජන පෙළපාලි ඉතාමත් දුර්ලබයි.
එසේ වුවත් සිංගප්පූරුව තුළ පැවති යම් ජන උද්ඝෝෂණ ගැන ද විටින් විට වාර්තා වෙනවා.
සිංගප්පූරුවේ මිනිසුන්ට ජන අරගල කරන්නට ප්‍රශ්න නැතිවීම ඔවුන් සුඛිත මුදිත වීමත් අරගලවලට යෑමට අවශ්‍ය තත්ත්වයක් නැති තරම්.
නමුත් ලංකාවේ ඒ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.
වසර 75ක් පුරා ලංකාවේ පාදඩ දේශපාලන සංස්කෘතිය විසින් ගොඩනගන ලද සමාජ භාවිතය හා හැසිරිම නිසා ඉතාම ගැටලු‍ සහගත ආර්ථික පරිහානියකට ශ්‍රීලංකාව තල්ලු‍ වී තිබෙනවා.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් නැති නිසා මෙවැනි පනත් මතු කිරීමට රජයට අවකාශ ලැබුණාද යන්න තවත් පැත්තකින් මතුවෙන ගැටලු‍වක්.
ස්වකීය දැනුම් පරාසය ශාස්ත්‍රාලීය පදනම් කරගත් පුළුල් අවකාශයක් තුළ අපේ මාධ්‍යකරුවන් හැසිරෙන්නේ නම් මෙවැනි තත්ත්වයක් ගොඩනැගීමට පසුබිම සකස් වන්නෙත් නැහැ.
සමකාලීන සමාජ සංදර්භය තුළ මොන්ටිසෝරි මාධ්‍ය භාවිතාවන් නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූවායැයි සිතන්න පුළුවන්.
ඒ නිසා එවැනි සමාජ පරිසරයක් මතු නොවීමට ඉදිරිකාලයේදී අපේ මාධ්‍යකරුවන් ගවේෂණාත්මක ප්‍රවෘත්තිවාර්තාකරණය තුළ අවශ්‍ය ශික්ෂණය මාර්ගෝපදේශකත්වය ලබාගන්න අවශ්‍යයි.
ඒ සඳහා ඉතිහාසය න්‍යායික සංකල්පීය ව්‍යවහාරිය තාක්ෂණික පදනමය ඇතුළුව ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයට සමාජ විද්‍යාත්මක එළැඹිය යුතුයි.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය තුළින් සාධක සෙවීම්, හෙළිදරව් කිරීම් අනාවරණය කිරීමට අවකාශය ලැබෙනවා.
සාක්ෂි පදනමකින් තොරව මොන්ටිසෝරි ප්‍රවෘත්ති කලාවක යෙදෙන බහුතර යූ ටියුබ්, ෆෙස් බුක්, ටුවිටර් ඇතුළු සමාජ මාධ්‍යයන් තුළ පසුගිය කාලය තුළ හැසිරීම හා භාවිතය නිසා මෙවැනි නියාමනය කිරීමේ පරිසරයක් මතු වූවාද යන්න අපේ මාධ්‍ය සගයන් නැවත වරක් සිතා බැලිය යුතු කරුණක් නොවන්නේද?
සම්ප්‍රදායික හා ගවේෂණාත්මක මාධ්‍ය කලාවක අත්දැකීම් සමාජ ජාලා සගයන් ලෙස අලුතෙන් එකතු වී තිබෙන පිරිසට පහත සඳහන් කරුණු පිළිබඳ සැබැවින් මනා අවබෝධයක් තිබේද?
උපාය මාර්ගික අවධානය
පළදායි නායකත්වය
විශ්ව චින්තනය හා සංකල්පමය කුසලතා
ශාස්ත්‍රීය හා පර්යේෂණ මෙහෙයුම් හැකියාව
අඛණ්ඩ වස්තු බීජ සංදේශගත කිරීමේ හා කාන්දු කිරීමේ හැකියාව
වෘත්තීය සංනිවේදන මාවත සොයා යෑම කළමනාකරණය හා නිපුනත්වය
ප්‍රවෘත්තියක් යනු සියුම් ලෙස දැනෙන දෙයක් විටක විය හැකිය.
තවත් විටෙක හුදෙක්ම තර්ක විතරක් මත ගොඩනැගෙන ආර්ථික සමාජීය සංස්කෘතිමය දේශපාලනමය අර්ථවලින් නිර්වචනය වන ප්‍රවෘත්තියක් විය හැකිය.
ඒ අනුව ප්‍රවෘත්තියක ගවේෂණාත්මක හා සම්ප්‍රදායික රිද්මය කුමක්ද යන්න තේරුම්ගැනීමේ හැකියාව සමාජජාලා කරුවකුට තිබිය යුතුය.
තොරතුරු සම්පූර්ණ කිරීමකින් හෝ විශ්ලේෂණය කිරීමකින් තොරව සැබෑ ගවේෂණාත්මක මාධ්‍යකරුවාට ප්‍රකාශ කළ නොහැකිය.
මාධ්‍යය පඨිතය බොහෝ දුරදිග යන ක්‍රියාදාමයකි.
තහවුරු වනතෙක් මෙන්ම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ද නැවත නැවත විමර්ශනය කළ යුතු රාජකාරියකි.
අවශ්‍ය අවම තොරතුරු මත ඉතා සංෂිප්තව වාර්තාව ගොනු කළ හැකිය.
උපරිම තොරතුරු මත පදනම්ව ඉදිරිපත් කරන තොරතුරු ඇතැම් විට අතිශය දීර්ඝ විය හැකිය.
මූලාශ්‍ර ලේඛන ගත තොරතුරු ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් බොහෝ විට රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු මණ්ඩල සංස්ථා හා අමාත්‍යංශවල ප්‍රධානීන් වසා දමන අවස්ථා තිබිය හැකිය.
එවැනි මූලාශ්‍ර ලේඛනගත දත්ත මත අදාළ තොරතුරු හඹා යෑමේ හැකියාව සැබෑ ගවේෂණ මාධ්‍යවේදියා සතු විය යුතුය.
කෙසේ වෙතත් සැබෑ තහවුරු කිරීමකින් තොරව පෙර අනුමානය කරන මූලාශ්‍ර මතම මාධ්‍යකරුවා යැපීම සිදු නොකළ යුතුය.
අනුමානය මගින් විශ්වාසනීය තොරතුරු මූලාශ්‍ර සොයා යෑමේ හැකියාව තෙවැනි ඇසක් ඇති මධ්‍යකරුවන්ට බොහෝ විට අවස්ථාව උදාවන බව අද්දැකීමෙන් දන්නා කරුණකි.
මූලාශ්‍ර අනාවරණය නොකරන රාජ්‍ය ප්‍රධානීන්ගෙන් තොරතුරු ඉල්ලා නොසිටිය යුතුය.
ඔවුන්ගේ රැකියා හා දේශපාලන වටපිටාව රැකගැනීමේ අභිලාශයෙන් ඔවුන් බොහෝ විට මූලාශ්‍ර තොරතුරු අනාවරණය නොකරයි.
බොහෝ විට රාජ්‍ය නිලධාරින් ඔවුන්ගේ පෞද්ගලික ඉලක්ක සපුරාගැනීම සඳහා ඇතැම් විට තොරතුරු නොමිලේ ලබාදෙන අවස්ථා වෙයි.
එවැනි අවස්ථාවලදී සැබෑ මාධ්‍යකරුවා තෙවැනි ඇසකින් හා ප්‍රඥාවන්ත මනසකින් ක්‍රියා කළ යුතු වෙයි.
කෙසේ වෙතත් අභියෝගාත්මක තොරතුරු ප්‍රකාශයට පත් වූ අවස්ථාවලදී සැබෑ තොරතුරු සත්‍යය වූවත් රාජ්‍ය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කරන අවස්ථා එමටය.
එවැනි අවස්ථාවලදී ඔවුන්ට අභියෝග කිරීමේ පශ්චාත් මූලාශ්‍ර සැබෑ මාධ්‍යකරුවා තමන් සන්තකයේ තබාගත යුතු වේ.
කෙසේ වෙතත් කුමන තොරතුරක් සාමාන්‍ය හෝ ගවේෂණාත්මකව සොයාගැනීමෙන් ඉන් පොදු ප්‍රජාවට හා අදාළ රටේ සංවර්ධනයට ලබාදිය හැකි දායකත්වය මනාව තේරුම් ගැනීමේ හැකියාවන් ද මාධ්‍යකරුවා සතු විය යුතුය.
රාජ්‍ය දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීම මගින් පොදු සමාජය යහපත් කිරීම මාධ්‍යකරුවා අපේක්ෂා කරන සුලුයි.
නමුත් සමාජය එවැනි වපසරියක නැති නම් ඉතාම කනගාටුදායක තත්ත්වයන් උදාවන අවස්ථා තිබෙන බව ද මාධ්‍යකරුවා තේරුම්ගත යුතුය.
කරුණු කෙසේ වෙතත් ඒක පාර්ශ්විය තොරතුරු නොව බහු පාර්ශ්වීය තොරතුරු අපක්ෂපාතී ලෙස වාර්තා කිරීමේ හැකියාව ඔහුට හෝ ඇයට තිබිය යුතුය.
වංචා දූෂණයන්ගේ ගොදුරු බවට පත් වන මාධ්‍යකරුවා ඇතැම් විට දූෂකයින්ගේ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා හා මූල්‍ය බලපෑම් හමුවේ පක්ෂපාතී වන අවස්ථා ද දක්නට ලැබේ.
එවැනි දූෂිත පාර්ශ්වයන් අධිකරණය වෙත තල්ලු කිරීමේ කුසලතාවය සැබෑ මාධ්‍යකරුවා සතු විය යුතුය.
නමුත් අද බොහෝ විට රංගන මානසිකත්වය තුළ යැපෙන සම්ප්‍රදායික සමාජජාලා මාධ්‍ය නඩයක් බොහෝ විට දකින්නට ලැබෙන සුළුය.
ඒ නිසා එය පොදු සමාජයට අහිතකර වන පරිසරයකට ගොදුරු වීමේ තත්ත්වය හෙළා දැකීමේ මුවාවෙන් නියාමන නීති රාජ්‍ය අංශය ඔසවා තබන්නේ ඒ නිසයි.
නිර්මාණාත්මක සංනිවේදනයට අන්තර්ගත සංකල්ප තේරුම්ගෙන ඒ වෙනුවෙන් සියුම් සංවේදිතාවයන් හා ඊට අදාළ යෙදුම් තෝරාගෙන ක්‍රියා කිරීමේ හැකියාව සැබෑ මාධ්‍යකරුවා තේරුම්ගත යුතුය.
ප්‍රවෘත්තියක් තුළින් අදහස් රැසක් මතු කෙරෙන නිසා එහි ඇති සියුම් හා සියුම් නැති පැති වාර්තා කිරීම ඉතාම වැදගත් බව තේරුම් යන්නේ ඊට මහජන ප්‍රතිචාරවල පසුවදන් වලින් නොවේද?

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න