ලංකාව සර්වජන ඡන්දය හිමිකරගෙන මේ වන විට වසර 91ක් ඉකුත් කර තිබෙනවා.
මිහිතලය තුළ පවතින පාලන ක්‍රම අතුරින් වඩාත් යහපත් පාලන ක්‍රමය ලෙස සලකන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳ දීර්ඝ අත්දැකීම් අප ශ්‍රී ලංකාවට තිබෙනවා.
රටක් ලෙස ගොඩනැගී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු තිබෙනවාද එය මනාව අවබෝධයකින් නිර්වචනය කරගෙන අප ක්‍රියාකරනවාද යන්න ගැටලු‍ව මේ වන විට උද්ගත වී තිබෙනවා.
සර්වජන ඡන්ද තුළින් යහපත් රටක් ගොඩනැගීම සඳහා එය ඥානාන්විතව භාවිතා කිරීම සෑම පුරවැසියකුගේම
වගකීමක්.
නමුත් ඒ වගකීමට ඒ සඳහා මැදිහත්වීමට පුරවැසියන්ට තිබෙන අයිතිය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ බලයට පත් වී සිටින රනිල් වික්‍රමසිංහ රජය අසමත් වී තිබෙනවා.
සර්වජන ඡන්ද බලය ලැබූ පළමු බි්‍රතාන්‍ය යටත් විජිතය අප ශ්‍රී ලංකාව බව ඓතිහාසික පොතපතට එකතු වී තිබෙනවා.
එම සර්වජන ඡන්ද බලය ලැබී මේ වන විට ගත වූ වසර 91ක් තුළ සුපිරිසිදු මැතිවරණ පැවැත්වූවාද යන්න ගැටලු‍ සහගත තත්ත්වයන් කලින් කලට උද්ගත වී තිබෙනවා.
නමුත් ඒ පිළිබඳ නිර්වචනය කිරීමට මෙය අවස්ථාව නොවේ.
සර්වජන ඡන්ද බලය වඩාත් යහපත් රටක් බිහි කරගැනීම සඳහා භාවිතා කළ හැක්කේ කෙසේද යන්න මේ වන විට විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසමත් වී තිබෙනවා.
ඒ නිසා විවිධ දේශපාලන පක්ෂවල සහ විද්වතුන්ගේ විවිධ මතවාද ඉදිරිපත් වෙමින් තිබෙනවා.
මේ පිළිබඳව 2023 ආරම්භයේදීම ඒ පිළිබඳව ජනහමුවකදී ප්‍රකාශ කරපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අදහස ඉතා වැදගත් වෙනවා.
එනම් “මේ ආණ්ඩුව ඡන්දයකට ගෙනයෑම හරියට පිස්සු බල්ලා නාන්න ගෙනියනවා වගේ” යැයි සජිත් ප්‍රේමදාස කරන ලද එම ප්‍රකාශය ලංකාවේ දේශපාලන සහිත්‍යයට අලු‍ත්ම උපමාවක් වෙනු ඇතැයි පැහැදිලි සත්‍යයක්.
වඩා යහපත් රටක් යනු මානව අයිතිවාසිකම් ආරක්ෂාවන සහ පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු වන සතුටින් පුරවැසියන් සමන්විත රටක් වීමට වර්තමාන පාලකයින් ක්‍රියා කරන්නේ ද යන්න ඇතිවන සිතුවිලි මත ශ්‍රී ලංකාව සාධාරණ සමාජයක් සඳහා ඉදිරියට යනවාද යන්න ඇතිවන තවත් ගැටලු‍වක්.
මේ පිළිබඳ වඩාත් නිමිත්ත මතු කර තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවා නැවත නැවතත් එය දිගින් දිගටම දින නියමයක් නැතිව කල් යන පසුබිමක් හමුවේ නිසයි.
දේශපාලන පක්ෂ තරගයට මෙන් ඇප මුදල් තැන්පත් කරේ 2023 ජනවාරි මාසය පුරා.
මැතිවරණ කොමිසම මොනවා කළත් තවමත් ආණ්ඩුව ඉන්නේ ඡන්දය නොතියන උත්සාහයක් මතයි.
ලංකා ඉතිහාසයේ මිනිසුන් සංවිධාන සහ පක්ෂ ඡන්ද ඉල්ලා උසාවි ගිය අවස්ථා ඕන තරම් තිබුණා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකිකයෙක් මැතිවරණ නොපැවැත්වීමට මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගොස් තිබෙන වටපිටාවක පාලකයින්ගේ හැසිරීම හා භාවිතය පිළිබඳ විශ්වාසයකින් තොරව ජීවත් වන පරිසරයක් සංවර්ධනය වෙමින් තිබෙනවා.
එය හුදෙක්ම හුදකලා දේශපාලන පරිසරයක් නොවේ.
දේශපාලනය ගැන යම්තම් හෝ ඉවක් ඇති අයකුට ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවාගන්න පුළුවන්.
ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් කැඳවා ඊට මුවාවී මැතිවරණය කල් දැමීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගත්තේ තවත් පැත්තකින්.
සීමා නිර්ණය කොමිසම් සභාව අකර්මණයට පත් කරගත්තේ තවත් පැතතකින්.
මුදල් නැතැයි පවසමින් මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා යොමුකරගෙන විවිධ ප්‍රලාප ව්‍යාපෘතීන් ඔස්සේ මුදල් නැතැයි ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේ මූලධර්මයක් වී තිබෙනවා.
මෙවැනි අනන්තවත් අප්‍රමාණවත් අත්දැකීම් පසුගිය වර්ෂයේ අවසානයේ සිට මේ මොහොත දක්වා විවිධ මාන ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ඒ සියල්ලකින්ම සිදු කරන්නේ කුමක්ද?
එයයි ඉතාම අපට පැහැදිලි කරගත යුතු සාක්ෂිය.
වඩා යහපත් රටක් ගොඩනැගීමට සර්වජන ඡන්ද බලයේ හිමිකම පුරවැසියාට ලබානොදීම තුළ ගොඩනැගෙමින් තිබෙන මේ වටපිටාව ශ්‍රී ලංකාව කුමන පැතිවලට ඉදිරි කාලයේදී ගෙන යයිද යන ගැටලු‍වක් දැනටමත් උද්ගත වෙමින් තිබෙනවා.
ජනතාව විසින් ජනතාව උදෙසා සිදු කරනු ලබන ජනතා පාලනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අප දැන උගත්කමක් ඇති රටේ බහුතරයකට තිබෙනවා යන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නඩය තේරුම්ගත යුතු නොවේද?
ජනතාව විසින් ජනතාව පාලනය කිරිම සඳහා යොදාගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ ඡන්ද අයිතිය යනු ජනතා පරමාධිපත්‍යයයි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගොඩනැගෙන පාර්ලිමේන්තුවක් බිහි කිරීමේලා ප්‍රධාන සම්පත් දායක කරන්නේ ලාංකික පුරවැසියන්.
එම පුරවැසියන්ගේ භූමිකාව සර්වජන ඡන්ද බලය යටතේ ක්‍රියාත්මක කිරීමට ජනවරමකින් පත් නොවූ රනිල් වික්‍රමසිංහ වසා දමමින් විවිධ මානව ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ඡන්දය කල් දැමීම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උත්සාහය සජීවීව විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
නිසි පරිදි කලට මැතිවරණ පැවැත්වීම යනු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ප්‍රධාන ලක්ෂණයක්.
එම ලක්ෂණය වගකීම එකී ආණ්ඩුව මත පැටවෙන්නේ රාජ්‍ය බලය ලබාගැනීමත් සමඟයි.
ඒ වූකලී මොනයම්ම හේතුවක් නිසා කල් දැමීමය හැකි දෙයක් නොවේ.
මැතිවරණ සඳහා වැය වන මුදල් සොයා ගැනීම ආණ්ඩුවේ වගකීමක්.
ඊට සෑම ආණ්ඩුවක්ම යුතුකමින්, වගකීමෙන් බැඳී ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී මේ සරල මූලධර්ම විසින් නොතකා සල්ලි නැති නිසා ඡන්දය පැවැත්විය නොහැකි බව ආණ්ඩුව පවසන්නේ නම් ඉන් ජනිත කරන පණිවිඩය කුමක්ද?
මැතිවරණයකට මුහුණ දීමට තරම් ශක්තියක් පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට නැති බව කවුරුත් දන්නා සත්‍යයක්.
එය දේශීය හා විදේශීය වශයෙන් තේරුම්ගෙන තිබෙනවා.
ඒ නිසා මූල්‍ය අරමුදලින් ණය ලබාගත් පාලක පක්ෂය ශ්‍රී ලංකාවේ ආණ්ඩු කරන්නන්ට පාර්ලිමේන්තුවේ සාමූහික වගකීම ප්‍රදර්ශනය කරන්න යැයි පවසා තිබෙනවා.
ඒ සඳහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ වශයෙන් අවශ්‍ය නෛතික පාර්ලිමේන්තු අනුමැතිය ලබාදෙන්න යැයි අයි.එම්.එෆ් ණය යෝජනා ක්‍රමය ආණ්ඩුවට බල කර තිබෙනවා.
නමුත් එවැනි හවුල්කාරී දේශපාලන සුහදත්වයක් වර්ධනය කර ගැනීමේ පදනමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සෝදාගෙන එය වියැළෙමින් තිබෙනවා.
පළාත් පාලන ඡන්දය සඳහා මැතිවරණයට වැය වන මුළු මුදල රුපියල් බිලියන 10ක් බවට කොමිසම ඇස්තමේන්තු කර තිබුණා.
එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පසුව පැවසුවේ එය බිලියන 8 දක්වා අඩුකර ගත හැකි බවයි.
ඒ සඳහා කළ යුත්තේ මැතිවරණය සතියේ දිනයක පැවැත්වීම බව ඔහු පවසා තිබුණා.
එහෙත් ආණ්ඩුව බැරි බැරියාව ඉන් නතර කර නැහැ.
ආණ්ඩුව පවසූයේ ඡන්දය පැවැත්වූවහොත් වී මිලට ගැනීම නොහැකි බව අදාළ අමාත්‍යවරයා මගින් ගොවි ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටියේ පසුගිය වසරේ අවසානයේ සිටයි.
බත් කන මිනිසුන් බිය ගන්වමින් විවිධ මුහුණුවරින් රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන්නේ එලෙසයි.
ජනාධිපතිවරයකු සතු න්‍යායාත්මක හා ව්‍යවස්ථාදායක සමාජ ධර්මතා රනිල් වික්‍රමසිංහ වෙතින් ඉවත් වෙමින් තිබේ.
නාගරික, ග්‍රාමීය බාල්දි සෝමලාගේ වැනි නගරංකාරයින්ගේ ප්‍රකාශ ජනාධිපතිවරයා වෙතින් නිකුත් වෙමින් තිබේ.
විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ දේපල ආණ්ඩුවට ලබාගැනීමේ වාචාල ප්‍රකාශය ඉන් ප්‍රධාන තැනක් ගනී.
එම ප්‍රකාශය තුළ කිසිදු නෛතික සාධකයක් නැත.
ඒ බව සනාථ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් එවැනි ප්‍රකාශ කිරීමට තරම් නෛතික සාධක විශ්වවිද්‍යාල පනත තුළ අන්තර්ගත වී නැති නිසාය.
78 විශ්වවිද්‍යාල පනතින් පසුව දිගින් දිගටම විශ්වවිද්‍යාල පනත සංශෝධනය වෙලා තියෙනවා.
එනම් 1988 අංක 24 දරණ සංශෝධන පනතින් ඉන් පසුව 1988 අංක 26 දරණ සංශෝධන පනතින්, 1988 අංක 33 දරණ සංශෝධන පනතින්, 1989 අංක 03 සංශෝධන පනත මගින්, 1995 අංක 1 දරණ සංශෝධන පනත මගින්.
ඉන්පසු 2009 අංක 57 දරණ සංශෝධන පනත්වල හෝ ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට අනුව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ දේපල රාජ සන්තක කිරීමට තරම් නෛතික සාධකයන් අන්තර්ගත වී නැත.
ඊට හේතුව නම් විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ භූමිකාවට අදාළව කිසිම ආකෘතියක් උසස් පෙළ පාසල් ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම සම්බන්ධව අදාළ පනත්වල ගොනු වී නැති නිසාය.
එවැනි පරිසරයක් තුළ ජනාධිපතිවරයා නීතිඥයකු වශයෙන් එවැනි ප්‍රකාශක් කිරීම තුළ ඇත්තේ රනිල් වික්‍රසිංහ තුළ ඇති හිස් බව නොවේද?
නමුත් 2016 අංක 17 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත යටතේ යම් දුරකට එම පනතේ සංශෝධනයට අනුව මේ කරුණු ඇතුළත් වී ඇත.
අංක 18 දරණ සංශෝධන පනත මගින් සඳහන් වන්නේ වෙනත් කරුණක් සම්බන්ධ අන්තර්ගත කරුණක් පමණි.
එය මෙසේ සඳහන් වනවා.
2(අ) කොමිසන් සභාව විසින් හෝ එම ධුර දරන්නා අනුයුක්ත කර ඇත්තේ යම් උසස් අධ්‍යාපන ආයතනයකට ද එම උසස් අධ්‍යාපන ආයතනයේ පාලන අධිකාරිය විසින් හෝ එම තැනැත්තා උසස් අධ්‍යාපන විද්‍යායතනයකට අනුයුක්ත කර ඇති අවස්ථාවකදී එම විද්‍යායතනය අනුබද්ධ කර ඇත්තේ යම් උසස් අධ්‍යාපන ආයතනයකට ද එකී උස්ස අධ්‍යාපන ආයතනයේ පාලන අධිකාරිය විසින් එම විද්‍යායතනයේ නිර්දේශ මත අවස්ථාවෝචිත පරිදි කොමිසන් සභාව විසින් හෝ පාලන අධිකාරිය විසින් හෝ එම විද්‍යායතනය විසින් පවත්වනු ලැබීමට නියමිත පරීක්ෂණයකට යටත්ව එම ධුරය දරන්නාගේ විෂමාචාරය අකාර්යක්ෂමතාවය හෝ රාජකාරිය පැහැර හැරීම යන කරුණු සම්බන්ධයෙන් ඔහුගේ සේවයට අත්හිටුවිය හැකිය.
එම ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ තවදුරටත් මෙසේ සඳහන් වේ.
එම පරීක්ෂණයෙන් පසු එම ධුරය දරන්නා වරදකරු බවට පත් වී ඇති අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි කොමිසන් සභාව විසින් හෝ එම තැනැත්තා අනුයුක්ත කර ඇත්තේ යම් උස්ස අධ්‍යාපන ආයතනයකට ද, එම උසස් අධ්‍යාපන ආයතනයේ පාලන අධිකාරිය විසින් හෝ එම තැනැත්තා උසස් අධ්‍යාපන විද්‍යාතනයකට අනුයුක්ත කර ඇති අවස්ථාවකදී එම විද්‍යායතනය අනුයුක්ත කර ඇත්තේ යම් උසස් අධ්‍යාපන ආයතනයකටද, එකී උසස් අධ්‍යාපන ආයතනයේ පාලන අධිකාරිය විසින්, කොමිෂන් සභාව හෝ අදාළ උසස් අධ්‍යාපන විද්‍යායතනයේ පාලන අධිකාරිය මගින් සම්මත කරගනු ලබන යෝජනා සම්මතයක් එම ධුරය දරන්නා සේවයෙන් පහර කිරීම හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සිදුකර හැකිය.
නමුත් මෙහිදී කිසිම තැනක පාසල් ශිෂ්‍යයන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ බැඳීමක් ඇති බව අන්තර්ගත නොවේ.
අනෙක් කරුණ නම් එම පනතේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
උසස් අධ්‍යාපන විද්‍යායතනය යන්නෙන් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 24(අ) හෝ 24(ආ) වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ හෝ පිහිටවනු ලැබූ හෝ සලකනු ලබන උසස් අධ්‍යාපන විද්‍යායතනයක් අදහස් වේ යනු සංශෝධන පනතේ සඳහන් වෙනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධව උසස් අධ්‍යාපන විද්‍යායතනයක් පිළිබඳව සඳහන් නොවන බවයි.
එය හුදෙක් අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ පනත් අනුව වලංගු වන බව පැහැදිලියි.
මෙවැනි තත්ත්වයක් තුළ වාචාල ප්‍රකාශ කිරීමෙන් ජනාධිපතිවරයා සිදු කළ නොයුතු බවට කරුණු ඇතුළත් කරගත යුතු බව තේරුම්ගත යුතු නොවේද?
අනෙක් කරුණ නම් මේ සංශෝධන පනතේ පැහැදිලිවම 75(1) යටතේ මෙසේ සඳහන් වේ.
එනම් ආචාර්යවරුන් හැර වෙනත් තැනැත්තන් විශ්‍රාම යාම සම්බන්ධව ඊට අදාළ වන බවයි.
එය මෙසේය.
75(1) ආණ්ඩුව විසින් කලින් කල තීරණය කළ හැකි පරිදි රජයේ නිලධාරියකුගේ විශ්‍රාම යෑමේ වයස ඒ රජයේ නිලධාරියාකුට අදාළ වන දිනයේ සිටම බලාත්මක වන පරිදි ආචාර්යවරයකු හැර යම් ධුරයක් දරන්නෙකුගේ විශ්‍රාම යෑමේ වයස සම්බන්ධයෙන් ද අදාළ විය යුතුය යනුවෙන් සඳහන් වේ.
ඒ අනුව අපගේ නිරීක්ෂණවලට අනුව විශ්වවිද ්‍යාල පනතේ හෝ වෙනත් සංශෝධන පනතක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ රජයට හිමිකර ගැනීමේ නෛතික හිමිකමක් නැති බව පැහැදැලියි.
ඡන්දය තිබ්බොත් විශ්‍රාම වැටුප් ගෙවන්නට බැරි බව වරෙක රනිල් වික්‍රමසිංහ රජය පැවසුවා.
අප්‍රේල් මාසයේ වැටුප ගෙවීමට අයි.එම්.එෆ්. ණයවලින් කොටසක් යොදා ගන්නා බවට ආණ්ඩු ප්‍රකාශ කිරීමත්, මැතිවරණය කල් දැමීමේ කල් ඉකුත් කිරීමේ ප්‍රවාදයේ තවත් කොටසක්.
හැකියාව ඇතත් ආණ්ඩුව මේ වන විට ප්‍රදර්ශනය කරමින් ඉන්නේ කාලකණ්ණි පුරවැසියකුගේ ස්වභාවයයි.
විශ්‍රාම වැටුප් හා රාජ්‍ය සේවකයාගේ පඩි පතත් නතර වන තැනට කටයුතු කිරීමට පළාත් පාලන ඡන්දය වියදම් ඉලක්ක කරන්නේ කුහක ආණ්ඩුවක දූෂිත ප්‍රතිපත්ති පදනම් කරගෙනයි.
2023 වසරේ ලංකාවේ සමස්ත වියදම රුපියල් මිලියන 5819ක් බව ඉකුත් වසරේ අයවැය ප්‍රකාශනයේදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයායි.
2023 වසර සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3415ක් වුණා.
ඒ අනුව 2023 වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 2400ක් වෙනවා.
රජය 2023 වසරේ වියදම් කිරීමට අපේක්ෂිත රුපියල් බිලියන 5819න් රුපියල් බිලියන 856.25ක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයටය.
රාජ්‍ය සේවක වැටුප් ද ඊට ඇතුළත්.
යුද්ධයක් නැති වුණත් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 410ක්.
මුදල් අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 613.9ක්.
ආණ්ඩුව මේ දැවැන්ත වියදම් දරන්නේ රටේ අයවැය හිඟය රුපියල් බිලියන 2040ක් තරම් ඉහළ අගයක් ගෙන තිබියදී.
එහෙත් දැන් ආණ්ඩුව නහයෙන් අඬන්නේ ඡන්දය තියන්න අවශ්‍ය රුපියල් බිලියන 10ක් සොයාගත නොහැකි බව ප්‍රකාශ කරමින්.
නොකෙරෙන වියදමට කෝන්දුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් සොයාගත යුතු යැයි ආණ්ඩුව විටින් විට කියනු ලබනවා.
ප්‍රශ්නය වන්නේ හත් පට්ටය නොව ඉතිරි ටික සොයා ගැනීමයි.
දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් වී තිබෙන්නේ රුපියල් බිලියන 2040ක් වූ අයවැය පරතරය නොව රුපිල් බිලියන 10ක ඡන්ද වියදම්ය.
එසේ වී ඇත්තේ රුපියල් බිලියන 10න් තවත් බිලියන 2ක් මැතිවරණ කොමිසම විසින් බේරාදී තිබෙන පසුබිමකයි.
මේ සියල්ලකින්ම පැහැදිලි වන්නේ ආණ්ඩු කිරීමට කළමනාකරණ ශක්තියක් ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවට නැති බව නොවේද?
මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන ඡන්දයයි.
ගමේ මිනිසාගේ භාෂාවෙන් කියන්නේ නම් ගම් සභා වැනි ඡන්දයක්.
එහෙයින් ආණ්ඩුවේ අවනඩුව අසා එම මැතිවරණය කල් දැමීමට සෙසු පක්ෂ එකඟ වන්නේ යැයි මදකට අපි කල්පනා කරමු.
එහෙත් 2024 වසර නිම වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.
ඒ සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වෙනවා.
ඒ අනුව ඉදිරි දෙවසර තුළ මැතිවරණ දෙකක් පවත්වා නිම කිරීමට මැතිවරණ කොමිසමට සිදුවෙනවා.
ආණ්ඩුව ඒවාට ද මුදල් නැති බව කියමින් උදාවන තත්ත්වය කෙබඳුදැයි ඔබ පුරවැසියකු ලෙස සිතා බලන්න.
ජනාධිපතිවරණයට මුදල් නැති බව කියමින් වර්තමාන ආණ්ඩු විලාසය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රසිංහ රජය සිතාගෙන සිටිනවාදැයි අප දන්නේ නැත.
ජන වරමකින් තොරව පාර්ලිමේන්තුව විසින් පත් කළ මේ ජනාධිපතිවරයාට තවදුරටත් රට පාලනය කිරීමට දිය යුතුද?
ඊළඟට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඊට ද මුදල් නැති බව මේ පාදඩ ආණ්ඩුව පවසන්නේ නම් පාර්ලිමේන්තුවම තවදුරටත් පවත්වාගෙන යෑමට රනිල් වික්‍රමසිංහ ඉදිරි කාලයේදී උත්සාහ ගැනීමට උනන්දුවනු ඇත.
ඒ නිසා පුරවැසියාගේ වගකීම මීට වඩා ප්‍රබල විය යුතු නොවේද?
මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමට මුදල් නොමැති නිසා මහජන අරගලයකින් ප්‍රතික්ෂේපිත බංකොළොත් ආණ්ඩුව තවදුරටත් ඉවත් කිරීමට ජනතාව පෙරටුව ඉදිරියට ඒම වැලැක්විය නොහැකියි.
රනිල් වික්‍රමසිංහගේ පොදු ප්‍රලාප තුළ දිගින් දිගටම මේ වන විට කල් ඉකුත් වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ අවසාන කාලපරිච්ඡේදයේදී පවා සිටියේ උතුරු නැගෙනහිරට 13 ප්ලස් ලබාදෙන බවයි.
එය පෙබරවාරි 04 වන නිදහස් දිනට පෙර අවසන් කරන බව ඔහු පැවසුවත් ඔහුගේ ප්‍රලාපය මේ වන විට උතුරු නැගෙනහිර ජනතාවට තේරුම්ගොස් ඇතැයි අප විශ්වාස කරනවා.
රටේ ආර්ථිකය ගොඩගන්නේ 2048දී බව ඔහු පවසනවා.
එසේ නම් අප ඊළඟ මැතිවරණය 2048 පවත්වන තුරු ජනතාව වෙතින් ප්‍රතික්ෂේපිත පාර්ලිමේන්තුව හා එකී පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපතිවරයාව තවදුරටත් රට කරගෙන යෑමට ඉඩ දිය යුතු ද නැද්ද යන්න පොදු ජනතාවගේ තේරුම්ගත යුතු ප්‍රධාන මූලධර්මයක් වනවා ඉදිරි කාලයේදී නොවුණුමානයි.
ලංකාවේ සමස්ත ඡන්දදායකයන්ට මැතිවරණයක් අවශ්‍යව තිබෙනවා.
මේ දූෂිත ආණ්ඩුවට සිය විරෝධය පෑමට මහජනතාවට ඊට අවකාශ නොදෙන සැලැස්මක් මේ වන විට දියත් කර තිබෙනවා.
එය නම් ප්‍රති ත්‍රස්තවාදී පනත යටතේ නිවහල් ඡන්ද අයිතිය, නිවහල් අදහස් ප්‍රකාශ කිරීමේ හිමිකම හා නිවහල් ආර්ථිකයක් ගොඩනැගීමේ වටපිටාව වසා දමමින් රනිල් වික්‍රමසිංහ රජය හැසිරෙනවා.
මේ තත්ත්වය නිසා දහස් ගණනින් ඡන්ද දායකයින් සමගි ජන බලවේගය වටා ප්‍රජාව එක්රොක් වෙමින් සිටින තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
දෛනිකව පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම දියවෙමින් තිබෙනවා.
සීග්‍රයෙන් විතැන් වෙමින් සිටින 69 ලක්ෂයේ ජනවරමට දායක වූවෝ මැතිවරණයක් දැඩිව ඉල්ලා සිටින පරිසරයක් සමාජය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
ඒ ඉතිහාසයේ වූ වරද නිවැරදි කිරීම සඳහා ඡන්දයක් අපේක්ෂිතව සිටින 69 ලක්ෂයේ ජනතාවගේ හඬය.
බහුතර ශ්‍රී ලාංකිකයින් පිරිසක් පක්ෂ භේදයෙන් තොරව මැතිවරණයක් මේ වන විට ඉල්ලා සිටිනවා.
එය ප්‍රකාශ වන්නේ දෛනික පුවත් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් හා වෙනත් පුද්ගලාන්තර සම්මන්ත්‍රණ, සාකච්ඡා මණ්ඩපවලින්.
ලංකාව මුහුණ දෙමින් සිටින ගෙවුම්ශේෂ අර්බුදය කිසිවකුටත් රහසක් නොවේ.
ඉන් ගොඩ ඒමට විදේස් ආයෝජනා සහ ජාත්‍යන්තර ආයතනවල සහය රටට අවශ්‍යව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි එක් ආයතනයක්.
ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය වැනි සංවර්ධන ආධාර සපයන ආයතන රැසක් ලංකාව ගොඩනැගීමට ආධාර දීමට සූදානම් පරිසරයක් ද දකින්නට ලැබෙනවා.
ඒ සඳහා ඔවුන් පනවන එකම එක කොන්දේසිය වන්නේ ජනවරමක් සහිත අලු‍ත් ආණ්ඩුවක් නොවේද?
කෝටි ගණන් මහජන මුදල් කොල්ලකෑ රාජපක්ෂ ආණ්ඩුවට තවත් ණය ලබාදෙන්නට තරම් මෝඩ රටවල් හෝ ජාත්‍යන්තර ආයතන ලෝකයේ දකින්නට නැහැ.
මෙරට ජනයා පමණක් නොව රට වෙනුවෙන් සංවර්ධන ආධාර ලබාදීමට සිටින ආයතනත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දිනෙන් දින මැදිහත් වන විවිධ සම්භාධක පනවන රටවල් ද මේ අතර වෙනවා.
ජාත්‍යන්තර සංවිධාන ඉදිරි කාලයේදී විවිධ උපාය මාර්ගිකව විවිධ කොන්දේසි ලංකාවට ඉදිරිපත් කිරීමේ වපසරියක් මේ වන විට දියත් වෙමින් තිබෙනවා.
ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මර්දන ක්‍රියා පිළිවෙත නිසයි.
රටක ජනතාවගේ ස්වෛරීභාවය පාලනය කරනු ලබන ජනතාවගේ කැමැත්ත මත පිහිටුවනු ලබන නෛතික පදනමක් මත සිදුවිය යුත්තක්.
බහුතර පාලනය හිමිකර අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහතික කිරීමට රනිල් වික්‍රමසිංහ රජය මේ වන විට අසමත් වී තිබෙනවා.
නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මේ වන විට අසමත් වී තිබෙන රනිල් වික්‍රමසිංහ රජය ඉදිරි කාලයේදී මහ මැතිවරණ ජනාධිපතිවරණ කල් ඉකුත් කිරීමේ කූඨ උපාය මාර්ගවලට යාමට තිබෙන ඉඩකඩ මේ වන විට ප්‍රදර්ශනය කරමින් තිබෙනවා.
නීතිය ඉදිරියේ සමානාත්මතාවය, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම රජය කෙරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම වන සීමා, සමාජ ආර්ථික දේශපාලනමය බහුත්වය ඉවසා දරාගැනීමේ හැකියාව මේ වන විටත් ආණ්ඩුවට නැති තරම්.
උපයෝගීතාවයේ සහ සහයෝගීතාවයේ සාරධර්ම රැකීමට ආණ්ඩුව අසමත් වී තිබෙන්නේ ඉතා සුලු‍ කාලයක් තුළදී.
සර්වජන ඡන්ද බලය මෙරට පුරවැසියාට හිමි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය රැකගැනීම සියලු‍ දේශපාලන පක්ෂ හා පුරවැසියන්ගේ පරම වගකීමක්.
පරිමාධිපත්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව සියලු‍ දේශපාලන පක්ෂ නැගී සිටිය යුතු කාල පරිච්ඡේදයක් මේ වන විට ඉස්මතු වෙමින් තිබෙනවා.
රටක පාලකයන්ගෙන් පිළිබිඹු වන්නේ ඒ රටේ ජනතාවගේ ප්‍රඥාවේ ප්‍රමාණය බව මතයක් තියෙනවා.
ඇතැම් දේශපාලන චින්තකයන් පරණ ආණ්ඩුවක් වෙනුවට අලු‍ත් ජනතාවක් පත් කරගත යුතු යැයි පවසා ඇත්තේ ඒ නිසයි.
ස්වකීය ජනතාවගේ පරමාධිපත්‍ය බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික ස්වරූප සහ ඇතැම් නින්දිත ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තවදුරටත් සැහැල්ලු‍වෙන් අමතක කළ යුතු නොවේ.
ඉඳුරාම පැවසිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සමාජයකට එකී අයිතිය ලබාදීමට ආණ්ඩුවේ මූලධර්මය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ජනතාව විසින් පළ කළ යුතු නොවේද?
එනම් ඡන්ද අයිතිය ලබාගැනීමය.
වගකීම් සහගත ලෙස ඡන්ද හිමිකම භාවිතා කිරීමට ජනතාවට ඇති අයිතිය රැකීම රනිල් වික්‍රමසිංහ රජයේ වගකීමක් යුතුකමක් හා පරම ක්‍රියාදාමයක් වන්නේය.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න