තථාගත බුදුරජාණන් වහන්සේගේ පා පහසින් තෙවරක් ශ්‍රී ලංකාව පාරිශුද්ධත්වයට පත් වූ බව ඉතිහාසයේ සිට ලංකාව තුළ ගොනු වී ඇති මහා බොරුවකි. මේ පිළිබඳව (සමාජ විද්‍යාත්මකව ඉදිරියේ දී කරුණු බලාපොරොත්තු වන්න) දෙවෙන පෑතිස්ස රජු සමයේ මිහිදු හිමියෝ ශ්‍රී ලංකාවට වැඩම කළ බවට ශිලා ලේඛන ඇත. නමුත් ගෞතම බුදුරජාණන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කල බවට ශිලා ලේඛන ලියුම්කරු මේ ලියන අවස්ථාව වන විට හෝ මතු වී නැත. ශිලා ලේඛනයක් නැති වූ පමණින් අනගි බුදුදහම මා විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැත. අදාළ කරුණ වන්නේ ඒ විශිෂ්ඨ දහම හා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ බව ප්‍රකාශ කරමින් ප්‍රදර්ශනය කරමින් කියා පාමින් අසත්‍ය සත්‍ය බවට පත් කිරීමට ක්‍රියාකල ඉතිහාසයක් හා වර්තමානයක් ශ්‍රී ලංකාවට උරුම වීමය. එම අසත්‍ය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගිය මහා සංඝ රත්නය හා පැවති හා පවතින ආණ්ඩුව නිවැරදි යථාර්තය හෙළිදරව් කිරීමට අසමත් වීම ඛේදනීය තත්වයකි. මේ නිසා බොරුව ප්‍රෝඪාව වංචාව දර්ශනය කරගත් ආණ්ඩු ඉමහත් අසිරියෙන් වැජඹුනි. සත්‍ය විකෘති කොට ජනසංස්කෘතිය මෙන්ම සම්ප්‍රදායික උත්සව පෙරහැර ජාතියේ උරුම ලෙස සමාජ ගත කිරීමට පැවති හා පවතින ආණ්ඩු ක්‍රියාකරති නමුත් රටේ දියුණුව පසුගිය කාලය තුළ අකාර්යක්ෂමව සිදුවිය. මෙවර පසුගිය සිංහල අලුත් අවුරුද්දේ දී මේ සත්‍යය යම් දෙදුරුම් කෑමකට ලක් වූ බව කොළඹ ගාලු මුවදොරට රුස් වූ තරුණ තරුණියන්ගෙන් ප්‍රදර්ශනව විය. අලුත් අවුරුද්දට නොනගතයට සෑම පුරවැසියෙකුම සිය පවුලේ ඥාතීන් සමඟ එක්ව සිටිය යුතු බව සමාජයේ තිබූ ව්‍යාජ මතවාදයට ඉන් තර්ජනයක් ඇති විය. කන්ද උඩරට පාලනය කරන ලද නායක්කාර වංශකයින්ගේ අපල කාලය නොනගතය තුළින් බිහිවූ චාරිත්‍ර සම්ප්‍රධාය ලංකාවේ ප්‍රජාව අතරට පූජනීයත්වයක් එක් කලේ භික්ෂූන් වහන්සේලාය. වැව, දාගැබ, කෙත, පන්සල කේන්ද්‍ර කරගෙන ලංකාවේ පුරාණ ගම නිර්මාණය වීම නිසා නැකැත් කාලය වඩාත් පහසුවෙන් සමාජයට කාන්දු විය. අසිරිමත් චමත්කාරජනක සුරංගනා අලුත් අවුරුදු උත්සව රටාව කාලයාගේ ඇවෑමෙන් වාර්ෂිකව සැමරීමට ප්‍රජාව උනන්දු විය. මේ තත්වය වඩාත් සංවර්ධනය වූයේ ශ්‍රී ලංකාවේ මහා පවුල, න්‍යෂ්ටික පවුල සමාජ ගත වීමත් සමඟය. මහා පවුල යනු අම්මා තාත්තා දරුවන් පමණක් නොව මව් පියන් දෙපළගේ ආච්චි සීයා හා ගම්වල සෙසු ඥාතීන් එකට ජීවත් වූ මහා පවුල තුළ එකා සමඟ සැම එකාට වශයෙන් අසිරිමත් බැඳීමක් තිබුණි. මේ තත්වය වෙනස් වන්නේ ලෝකයේ කාර්මික විප්ලවය සමාජගත වීමත් සමඟය. පෘතුගීසින් 1505 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ඉන්පසුව ලන්දේසීන් ඉංග්‍රීසින් පිළිවෙළින් ශ්‍රී ලංකාව සිය පාලනයට නතු කරගත් හ. බහුතර උගත් සමාජ පන්තිවල උගතුන් ප්‍රකාශ කරන්නේ සංස්කෘතියට, සභ්‍යත්වයට කණකොකා ඇඬීම පටන් ගත්තේ ඉන් පසුව බවය. අසිරිමත් සංස්කෘතියකට සභ්‍යත්වයකට ලාංකික ප්‍රජාව ආත්මගතව සිටියේ නම් එවන් තත්වයක් ශ්‍රී ලංකාව තුළින් අද දැකිය හැකි ද? විශ්වයේ අපුරු නිර්මාණ කිරීමට අනුරාධපුර යුගයේ සිට උසස් මානසිකත්වයක් තිබූ ලාංකික ප්‍රජාවක් එදා සිටියහ. එවැනි පරිවර්තනයකට සැබැවින්ම වර්තමාන පුරවැසියාට ලගාවිය හැකි ද? එය එසේ නම් එවන් තත්වයක් හමුවේ උගත් යතිවරුන්ගේ කාර්ය භාර්ය ඉටු නොකළ නිසා එවන් දියුණු තත්වයකට ශ්‍රී ලංකාව යා නොහැකි වූවා ද? අපේ රාවණ පරම්පරාව ගැන ප්‍රාග් ඓතිහාසික ජනවහර අනුව දඬුමොණරය නිර්මාණය කොට ගුවනින් ගිය බවට ජනවහරේ ප්‍රචලිත සත්‍ය කුමක් ද? අධ්‍යාත්මය දියුණු කළ මහරහතුන්වහන්සේ ඝෘදියෙන් වැඩම කර ඇති බව ඇතැම් වංශකතා සාහිත්‍ය කියයි. විජය කුමරු ලංකාවට ගොඩබසින අවධියේ දී මුණගැසුණ කුවේණිය ඇදුම් සඳහා කපු කටමින් සිටියා නම් එකී ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ලංකාවේ ජීවත් වූ ප්‍රජාවගේ ශීලාචාරභාවය දියුණු සංස්කෘතිය පැහැදිලි නොවන්නේ ද? මේ අපේකම හුදෙක්ම ඓතිහාසික ප්‍රචාරයන් පමණක් ද වර්තමාන සමාජය වල්මත් ව දුෂිත නම් නැවත සමාජගත කිරීම උඩුගම් බලා පිහිනිමක් නොවන්නේ ද? ප්‍රාග් ඓතිහාසිත යුගයේ කපු කටිමින් සිටියානම් දියුණු සමාජ සංස්කෘතිය අදවන විට අප්‍රමාණ දියුණුවක් කරා ලගා විය යුතු නොවේ ද? ලාංකික අල්පේච්ඡ ජීවිතයක් ගත කල ඉපැරණි ප්‍රජාව අව් වැසි සුළං වලින් ආරක්ෂා වීම, හිසට සෙවනක්, විළි වසා ගැනීමට තරම් ඇඳුමක්, කුසට පෝෂදායී ආහාරයක් පමණක් භුක්ති වින්දා පමණ ද? නව දැනුම, නව දැක්මක් පසුපස හඹා යෑමේ සමාජ ප්‍රවණතාවයක් නොමැතිකම වර්තමාන සමාජ අර්බුදයේ නිමිත්ත ද? එසේ නැතිනම් සංස්කෘතික හරපද්ධතීන් රැකගෙන ඉදිරිගමන් මඟ සුඛිත මුදිත කර ගැනීමට වඩා නිසරු බොල් උත්සව වලට උත්සව මාසිකව සැමරීමට යොමු වීම මෙහි සැබෑ පසුබිම ද? අද වන විට අප මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය සැකය, බිය, වේදනාව උරුම කරගත් මානසිකත්වයක් නොවේ ද? බොරුව, වංචාව, අයුක්තිය, ආත්මාර්තකාමීත්වය අරමුණු කරගත් පාදඩ දේශපාලනය පෝෂණය සඳහා භික්ෂු සමාජය ලබාදුන් දායකත්වය මෙහි සැබෑ පසුබිම නොවේ ද? නිසි ඉලක්කයක් කළමනාකරණයක් නැති පවුල්වාදී ආණ්ඩු බලයට පත් කිරීමට බොදු උරුමයේ යතිවරයානන්ලාගේ සාමූහික හැසිරීම හා භාවිතයද එවැනි මැදිහත්වීම් සඳහා ලබා දී තිබෙන දායකත්වය නිසා ලංකාවේ බහුතරයක් විහාරස්ථාන භෞතිකව දියුණු වී ඇත. සංඝ රත්නයේ ඥාති පවුල්වල සාමාජීක සාමාජීකාවන් බහුතරයක් රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබාගන්නේ දේශපාලඥයින්ගේ කරමතින් ය. බොහෝ විට අල්පේච්ඡතාවය ඉක්මවා ලංකාවේ බොහෝ විහාරස්ථාන සුඛෝපභෝගී මාලිගා වී තිබේ. මේ පිළිබඳ කිසිවෙකු ප්‍රශ්න නොකරන්නේ බෞද්ධකම නිසාය. බෞද්ධ වචනයට අනුව අල්පේච්ඡ ජීවිතයක වටිනාකම ධර්මදේශනා කරන බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන් බොහෝ විට ප්‍රකාශ වන්නේ වැඳි බණ නොවේ ද? දේශාභිමානය, ජාතිකාභිමානය රටකට ඉතා වැදගත්ය. නමුත් එම දෙඅංශයම ප්‍රතිපත්ති ගරුක සමාජ ක්‍රමවේදයක් සඳහා රජය සහ ප්‍රජාව කළමනාකරණය කළ යුත්තේ යතිවරයන් වහන්සේලා විසින් නොවේ ද? 1948 නිදහස ලැබීමෙන් පසුව පීඩිත පන්තිය වෙනුවෙන් ලාංකික භික්ෂු සමාජය කර ඇත්තේ මොනවා ද? එවැනි දර්ශනයක් ලාංකික උගත් භික්ෂුව තුළ තිබුණේ නම් ලංකාව අවශ්‍යය රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති වල මූල බීජයන් ව්‍යාප්ත විය යුතු නොවේ ද? රට කාර්මික, තාක්ෂණික නැඹුරුතාවයකට යොමු විය යුතු නොවේ ද? එවැනි තත්වයක් සමාජගත නොවීම නිසා 1953 දී ඇති වූ හර්තාලය හා 1971 සන්නද්ධ අරගලයෙන් මතු වූ සමාජ ප්‍රපංචය කුමක් ද? පසුකාලීනව 1989 නැවත තරුණ නැගිටීම මඟින් රටේ වියවුල් සහගත සමාජ විෂමතාවය දිගු වූවා නොවේ ද? හොඳ සමාජ සංස්කෘතියක් වර්ධනය වීමට බෞද්ධයතිවරුන් සැබෑ උත්සහයක් ගෙන නැති බව සනාථ නොවන්නේ ද? C.W.W කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන සමාජගත කිරීම නිසා පුනර්ජීවනයක් රටේ තරුණ පරපුරට ඇති විය. ඒ නිදහස් අධ්‍යාපන සංස්කෘතිය තුළින් මධ්‍ය මහා විද්‍යාල වලින් පැමිණි වැඩිදුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණ ප්‍රජාව අතරමං වූයේ පංචමහා බලවේගය නිසාය. ජනප්‍රිය දේශපාලනය සඳහා S.W.R.D බණ්ඩාරණායක සමඟ එක්ව යතිවරයන් යැයි කියන අපේ මහා සංඝරත්නය එදත් අදත් හෙටත් උපදින දූ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය මොට කළේ ඒ අනුවය. (මේ පිළිබඳ පු`ඵල් විමර්ශනාත්මක විචාරයක් අනාගතයේ දී බලාපොරොත්තු වන්න) භික්ෂු යතිවරයානන් වහන්සේලා මෙසේ ජාතික ආගමික සංස්කෘතික හා ආර්ථික වශයෙන් ලංකාවේ නැගීමට කළ හානි වලින් එක් උදාහරණයක් පංචමහා බලවේගය වේ. මේ අනුව පෙනී යන්නේ අපේ රටේ භික්ෂු සමාජයට දාර්ශනික දැක්මක් නැතිකම නොවේ ද?

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න