කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ ( Central Jail of Kuwait ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු  කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මෙරටට භාර දීම සදහා 03/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි.             

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර , එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේ දීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබුණි.          

 මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන් , කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා  මත එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර , දඩුවම් ලබා  බන්ධනාගාරගතව සිටි පිරිසකි.                

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං සී. – 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.             

කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.එෆ්.සී.- 3207 දරන එම ගුවන් යානය 03/26 දින දහවල් 11.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.            

 මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර  ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සදහා කොළඹ තරු පංතියේ හෝටලයක් වෙත යොමු කර තිබුණි.         

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ  වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ , වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට , බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.             

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී  ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද මෙරටින් කුවේට් රාජ්‍යය වෙත භාර දීම සදහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයකි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න