ඔහු ආර්ථික විද්‍යාඥයෙක් සහ සමාජ විද්‍යාඥයෙක් මෙන්ම නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි Erasmus විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන ජාත්‍යන්තර ආයතනයේ (International Institute of Social Studies – ISS) ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වෙනවා. ඔහු ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත අයෙකු ලෙසයි සැලකෙන්නේ.
ඔහු මෙරට පවත්නා ආර්ථික ආර්බුදය පිළිබඳව මාධ්‍ය කිහිපයකටම අදහස් දක්වා තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව දිගුකලක් තිස්සේ පැවති වෙළෙඳ හිඟයයි. වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාව අඛණ්ඩව වෙළෙඳ හිඟයක් පවත්වාගෙන ආවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 ට වැඩි අගයක් ගත්තා.
එසේම සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා හරහා ලැබෙන මුදල් මත ශ්‍රී ලංකාව රඳා පැවතුණා. එය ප්‍රමාණවත් නොවුණු නිසා මුදල් ණයට ගැනීමට සිදු වුණා. සියලු දෙනාම දන්නා පරිදි ලෝක ආර්ථිකය තුළ ප්‍රශ්නයක් ඇති වූ විට සංචාරක ආදායම් අඩු වෙනවා. එසේම අපනයන ආදායම් අඩු වෙනවා. මේ තුළ අපට සාමාන්‍ය වශයෙන් තියෙන ප්‍රශ්නයට වැඩි විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.
පසුගිය මෑත (යහපාලන) රජයක කාලයේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් වාණිජ වෙළෙඳපොළින් ඉහළ අනුපාතවලට ණය ගැනීමෙන් ප්‍රශ්නය වඩාත් උග්‍ර වුණා. වර්ෂ 2015 සිට 2019 දක්වා පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ඉහළ පොලී අනුපාතවලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් එම රජය විශාල වශයෙන් ණය ගත්තා. මේ තුළ ණය තිරසාරත්වයට ප්‍රශ්න ඇති වුණා. පසුව ශ්‍රී ලංකාවට කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවුණා. එමගින් ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. විදේශ විනිමය හිඟයකට මුහුණ දුන්නා. එහෙත් මෙය වසර 40 ක් තිස්සේම පැවති ප්‍රශ්නයයි.කෙටි උත්සාහ කිරීම් කීපයක් හැර ස්ථාවර ලෙස කිසිම රජයක් ඒ සඳහා නිසි පිළියම් යෙදුවේ නැහැ.
දැන් අප මෙතනට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් පමණක් නොවේ. වෙනත් රටවලත් වෙළෙඳ හිඟයන් පවතිනවා. එසේම වෙනත් දූෂිත රජයන් ද තිබෙනවා. අප ගෝලීය ක්‍රමයේ කොටසක් බවට පත්ව තිබෙනවා” යි තත්වය පිළිබඳව කළ විමසීමේ දී මහාචාර්ය හොවාර්ඩ් නිකලස් සඳහන් කරනවා.
“ලංකාවට විශාල අයවැය හිඟයන්ට ද මුහුණ දීමට සිදුව තිබෙනවා. 2020 දී IMF එක සියලු රටවලට කිව්වා අයවැය හිඟයන් පවත්වාගෙන යන්න කියල. එය හොඳ දෙයක් ඔබලා එය කළ යුතුයි කියල IMF එක කිව්වා. ඒත් පසුව ඔවුන් එම රටලට කියනව ඔබලා අයවැය හිඟයකට මුහුණ දී සිටිනවා එය තමයි ප්‍රශ්නය කියලා. මෙතන IMF එක පැහැදිලිව ගේම් එකක් ප්ලේ කරනවා.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ විශාල බදු කප්පාදුව නිවැරදි තීරණයක් නොවේ. එය මෝඩ තීරණයක්. ඒ සඳහා කවුරු රජයට උපදෙස් දුන්නා ද මම දන්නේ නෑ. එසේම ඒ කාලයේ පොලී අනුපාත ඉතා පහළ අගයකට අඩු කරා. එයත් බුද්ධිමත් තීරණයක් නෙවෙයි. එසේම පොහොර ආනයනය තනනම් කරා. එයත් කිසිම ප්‍රතිඵලයක් අත්කර නොගත් තීරණයක්. තවත් සාධක රැසක් මේ අර්බුදයට දායක වුණා. විනිමය අනුපාතය ස්ථාවර අගයක තියා ගත්තා. ඇතැම් ආනයන තහනම් කරා. එම රජය බලය ගත් අවස්ථාවේ සිටම විදේශ විනිමය ලැබීම් පිරිහීමට පටන් ගත්තා. ඒ හරහා ඔවුන් උගුලකට හසු වුණා. ඔවුන් විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.
අතීතයේ ගත්තත් IMF ප්‍රතිපත්ති ඇත්තටම ශ්‍රී ලංකාවට දිගුකාලීනව උදව් වී නැහැ. මෙවරත් එය එසේ වන්නේ නැහැ. එය අනිත් රටවලටත් එසේ වී නැහැ. ප්‍රශ්නය වන්නේ IMF එකට කියන දේට වඩා ශ්‍රී ලංකාව අනාගතය වෙනුවෙන් මොනවා කරන්නේ ද යන්නයි. රජයට අයත් ව්‍යාපාර පුද්ගලීකරණය කරනවාට අමතරව මේ රජය කිසිම දෙයක් කරන බවක් මට පේන්නේ නැහැ. මෙය ලෝකයේ කිසිම රටක ආර්ථික වර්ධනයට උදව්වක් වී නැහැ.
ඒ වගේම IMF එක කියනව රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියල. එහි ඇත්තක් තියෙනවා. එහෙත් එය ලංකාවේ වර්ධන ක්‍රියාවලියට සහයක් ලබා දෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපනයන පාදක කරගත් කාර්මීකරණයකට මේ රට ගමන් කළ යුතුයි. මම මෙය වසර 35 ක පමණ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන දෙයක්. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත වේගවත් ලෙස ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට අවශ්‍යයි. එහෙත් එහෙම සලකුණක් අපට පේන්න නැහැ. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන බව හැම රජයක්ම කිව්වත් අපට එහෙම දෙයක් පේන්න නැහැ” යි ශ්‍රී ලනකාව පිළිබඳව සිය අදහස් දක්වමින් මහාචාර්ය හොවාර්ඩ් නිකලස් පවසනවා.