සිරිපාල අයියේ, ජනාධිපතිවරණය කල්දාන්න බෑ කියලා හැමෝම කියනවනේ, ඒ වුනාට පළාත් පාලන මැතිවරණය කල් දැම්ම නේද මුදල් නෑ කියලා,ඒ වගේ ප්‍රෝඩාවකින් ජනාධිපතිවරණය කල්දාන්න බැරිකමක් නැද්ද?

එහෙම බෑ බං!

ගොඩ පෙරකදෝරුවකු ලෙස ප්‍රකට, සීනිමෝදර සිරිපාල අයියා එසේ පිළිතුරු දුන්නේය.

එහෙම බෑ බෑ කිව්වට වැඩක් නෑ ඒකට හේතුව මොකක්ද?

සුජීව සේනසිංහ , ඩලස් , ඊටත් වඩා දන්න මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු හැමෝම කියන්නේ ජනාධිපතිවරණය නොතියා ඉන්න බැරිලු. ඒත් හේතුව පැහැදිලි කරන්නෙ නෑ.

හරි, එහෙනම් ඔන්න අහගනින්,

පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය,
ඒ කියන්නේ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ දන්නව නේද,ඊට අමතරව ජනමත විචාරණය.

ඔව්, දන්නවා..

ඉහත කියපු ඡන්ද විමසීම්වලදී අපි කතිරය ගහල අනුමැතිය දෙනකොට පුරවැසියාගේ “පරමාධිපති බලය” සම්බන්ධ වෙන ඡන්ද විමසීම් තුනක් පමණයි තියෙන්නේ.

ඒ තමයි,

1.පාර්ලිමේන්තු මැතිවරණය, 2.ජනාධිපතිවරණය සහ
3.ජනමත විචාරණය(විශේෂ අවස්ථාවකදී )

පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී තමයි අපි අපේ පරමාධිපති බලය අපේ නියෝජිතයින්ට නියමිත කාලයකට, අවුරුදු පහකට පවරා බාරදෙන්නේ.

ඒ විධියට අපේ පරමාධිපති බලය පවරන ඡන්ද විමසීම් නොපවත්වා ඉන්න බෑ.

ව්‍යවස්ථානුකුලවත් බෑ, පාලකයින් එහෙම කරන්න කැමතිත් නෑ.

හේතුව?

හේතුව උඹට පැහැදිලි වෙයි මේ කතාවේ දී.


පරමාධිපති බලය දුන්නට පසුව අවුරුදු පහ සම්පුර්ණ වෙනකම් අපට අපේ පරමාධිපති බලය නැවත ආපසු ගන්න තහනම්. එහෙම උදුර ගන්න ගියොත් හිරේ විලංගුවේ වැටිලා, සමහරවිට වෙඩි කාල මැරෙන්නත් ඉඩ තියෙනවා.

හුටා ! එතකොට සිරිපාල අයියේ අපේ පරමාධිපති බලය අපට හිතුන හිතුන වෙලාවට ඉල්ලා සිටින්න බැරි ද?

බෑ බෑ එහෙම ආපසු ඉල්ලන්න තහනම්.
අවුරුදු පහකට පසුව තමයි නැවත අපේ අතට ලැබෙන්නේ.

යකෝ මාර අසාධාරණයක්‌නේ ඒක!
රාජපක්ෂලට හෙණ ගහන්න ඕන මේ කරපු අපරාදෙට!

මී හරකෝ, රාජපක්ෂල කොරපු දෙයක් නොවේ ඒක. ලෝක සම්මත මූලධර්මයක්.

ඒකට කමක් නෑ. ඒකත් “රනිල් රාජපක්ෂ ” ලගේ වැඩක් කියලා අපි ප්‍රචාරය කරන්නම්. අපට බොරු fb ලක්ෂයක්‌ විතර තියෙනව නේ.

බොරු ප්‍රචාරය කොරපන් පුතෝ , එක්කෝ උඹ හිරේ, නැත්නම් උඹ උණවටුනේ පිස්සු වාට්ටුවේ!

අවුලක් නෑ සිරිපාල අයියේ, ඔය දෙකේම ඉඳලා පැනල ආපු එකා නේ මම!

එතකොට සිරිපාල අයියේ, නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ, පළාත් සභා මැතිවරණවලදී අපි කතිරය ගහන කොට අපේ පරමාධිපති බලය පැවරීමක් වෙන්නෙම නැද්ද?

නෑ,කිසිසේත්ම නෑ!

එහෙනම් ඔය හැමෝම කියන්නේ පළාත් පාලන මැතිවරණ නොතිව්ව නිසා ජනතා පරමාධිපති බලයට හානි වුනාය, ඒකාධිපති පාලනයක්ය, ඔය නහුතයක් කතා කියන්නෙ?

ඒ ඉතිං ඔය කටට එනවට කියන දේවල් නේ බං.මම මේ කියන්නේ මේකෙ නියම ඇත්ත මූලධර්මය. හැබැයි ඉතිං පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට නරක බලපෑමක් වෙනවා කියන එකනම් හරි.


අපි නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්දෙදි කතිරය ගහල පරමාධිපති බලය ඒ ඒ ආයතනවලට දෙනවනම් ඒවට වෙනම ව්‍යවස්ථාදායකයක්, විධායකයක්, අධිකරණයක් පිහිටුවගන්න පුළුවන් නේ .

ඒ කියන්නේ ඒ සභා , වෙනම රාජ්‍යයන් බවට පත්වෙනව. ඒවාට අපි පරමාධිපති බලය නොදෙන නිසා මහ ආණ්ඩුවට පුළුවන් ඒ ආයතන විසුරුවන්න, මන්ත්‍රීල නැතත් නිලධාරීන් යොදලා පාලනය කරන්න.දැනුත් එහෙම නේ කරන්නේ.

හරි හරි දැන් මට තේරුනා.ඒක නිසා නේ ලංකාව ඒකීය රාජ්‍යයක් කියලා ව්‍යවස්ථාවේ ලියල තියෙන්නේ.

ආ.. තව ප්‍රශ්නයක්, ජනාධිපතිවරණ පනත වෙනස් කොරල ජනාධිපතිවරණය කල්දාන්න පුළුවන් නේද කියලා ටීවී එකේ මාධ්‍යවේදීන් අහනවා, එහෙම පුළුවන් ද සිරිපාල අයියේ ?

ලංකාවේ මාධ්‍යවේදීන්ගේ මොළේ තරම පේනව නේ බං එහෙම ගොං ප්‍රශ්න අහනකොට.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම පිළිබඳ පනතේ, ඒ කියන්නේ
ජනාධිපතිවරණ පනතේ ලියල තියෙන්නේ ඒක පවත්වන ප්‍රායෝගික ක්‍රියා පටිපාටිය, ඡන්ද ලකුණු කරන හැටි, මනාප ලකුණු කරන හැටි, ගණන් කරලා ප්‍රතිඵල අනුව ජනාධිපති තෝරන්නේ කොහොමද වගේ දේවල්, ඒ නිසා ජනාධිපතිවරණ පනත වෙනස් කොරල කොහොමද මෝඩයෝ ජනාධිපතිවරණය කල් දාන්නේ?

ඔහේ ඉතිං මට මෝඩය කියල හරියන්නෙ නෑ ඒකට , ටීවී එකේ ටයි කෝට් ගහගෙන ඔය ගොං ප්‍රශ්න අහන එවුන්ට මෝඩයො කියන්න.

ඒක නොවේ සිරිපාල අයියේ, හැබෑටම මොකක්ද බං ඔය පරමාධිපති බලය කියන්නේ? ඕක අතට අහුවෙන එකක් ද? මමත් ඕක කඩේ පිළේ කියනව දන්න මිනිහ වගේ! මොකෙක් හරි ඇහුවොත් තමයි කට උත්තර නැතිවෙන්නෙ,අම්මප!

ඒක අද පැහැදිලි කරන්න වෙලාව නෑ . මට උසාවිය පැත්තෙ යන්නත් තියෙනව, වෙන දවසක වරෙන්කො.

හෝව්.. හෝව්, මුලින්ම කියපු කතාව සම්පුර්ණ නෑ සිරිපාල අයියේ,ජනාධිපතිවරණ පනතේ ලියල නැත්නම් ජනාධිපතිකම ගැන ලියල තියෙන්නේ මොකේ ද? ඒක වෙනස් කරන්න පුළුවන් නේ?

අහගනින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මහ පොතේ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන තුනේම ව්‍යුහය, කටයුතු, බලතල ඔක්කොම ලියල තියෙන්නේ.

විධායකය කොටසේ තමයි ජනාධිපතිධූරය සහ බලතල ඇතුළු විස්තර ටික ලියල තියෙන්නෙ.

ඒකෙ ලියල තියෙනවා ඉන්න ජනාධිපතිගේ නියමිත ධූර කාලය අවසන් වෙන්න මාසෙකට කළින්, මාස දෙක ඇතුළත ජනාධිපතිවරණය තියන වැඩේට කටයුතු සූදානම් කරන්න ඕන කියලා. ඉතිං ඒ ලියපුව වෙනස් කරන්න ගියොත් ව්‍යවස්ථා සංශෝධනයක්‌ බවට පත්වෙනවා.ඊට පස්සේ වෙන ජර මරේ උඹ දන්නව නේ.

එතකොට සිරිපාල අයියේ, පාර්ලිමේන්තු මැතිවරණයත් ඔය කියපු විධියට ද?

ඔව්, දැන් පාර්ලිමේන්තුවෙ ආයු කාලය අවුරුදු පහයි නේ, ව්‍යවස්ථාවේ ලියලම තියෙනවා ඒ අවුරුදු පහ අවසන් වෙනවාත් එක්කම එම පාර්ලිමේන්තුව ඉබේම විසිර ගියා සේ සැලකේ කියලා.

හුටා!

ඒ කියන්නේ බලුප් එක පිච්චිලා ගියා වගේ, අවුරුදු පහ පැන්න ගමන් තිබුන පාර්ලිමේන්තුව ඉබේම අහෝසිවෙලා යනවා.

ඔව්, හරියටම හරි!

ඒ විතරක් නොවේ. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පවත්වන්න ඕන කාල වකවානුව ලියල නියම කරල තියෙන්නේ.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතත් නිකමට කියවපන්.

ඕවා කියව කියව ඉන්න වෙලාව   නෑ සිරිපාල අයියේ.අපට විරුද්ධ හැම එකාටම ” නිවන් සුව ලැබේවා ” කියලා fb එකේ කොටන්නත්  කාලය ඕන නේ.

සිරිපාල අයියේ,ඉන්න ජනාධිපති තමන්ගේ ධූර කාලය ඉවර වෙන්න කළින් ජනාධිපතිවරණය තියලා අලුත් ජනාධිපති පත්කරන්න සෙට් කරලා අලුත් ජනාධිපති දිවුරුම් දුන්නට පස්සේ තමයි කළින් එක්කෙනාගේ ධූරය ඉබේම අහෝසි වෙන්නෙ.මම හරි ද?

ඔව් හරියටම හරි

ඔටුන්න බිම වැටෙන්න දෙන්නෙ නෑ.ඊළඟ කෙනා එනකම් ඉඳලා ඔටුන්න දීල තමයි යන්නෙ. හරියට අර රිලේ දුවනවා වගේ.අපේ පරමාධිපති බලය නමැති යෂ්ටිය ඊළඟ එක්කෙනාට දීල කළින් කෙනා පිටියෙන් ඉවත්වෙනවා.අලුත් කෙනා අවුරුදු පහක් දුවනවා.

එතකොට ගෝටාභය ජනාධිපති ඉල්ලා අසවුනාම අපි දීපු පරමාධිපති බලය නැවත අපට ලැබෙන්නේ නැද්ද?

නෑ,ප්‍රේමදාස ජනාධිපති ඝාතනය වුනාමත්, ගෝටාභය ජනාධිපති ඉල්ලා අසවුනාමත්
අපි දීපු පරමාධිපති බලය නමැති  ඔටුන්න උඩින් ගිහින් අගමැතිගේ ඔළුවට වැටෙනවා. අගමැති කෙනෙක් නොහිටියොත් කතානායක ගේ ඔළුවට වැටෙනවා.

ඔය පරමාධිපති බලය පුරවැසියාගේ වුනාට ඕක පුරවැසි අපේ අතේ තියාගන්න තහනම්! හැම තිස්සෙම ඒක තියෙන්නේ පාර්ලිමේන්තුවේ 225 අතේ, ජනාධිපති අතේ සහ අධිකරණය අතේ.

අන්න ඒ නිසා තමයි ඔය පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය නොපවත්වා ඉන්න බැරි.

එහෙම පැවැත්වුනේ නැත්නම් අර අපි දීපු පරමාධිපති බලය අපේ අතටම නැවත එනවා. එතකොට අපි ඔක්කොම රජවරු වෙලා නීතිය අතට අරගෙන රටම අවුල් ජාලයක්වෙනවා, අරාජික වෙනවා.

අප්පට සිරි! අර ලිබියාවේ වුනා වගේ වෙන්නැති?

ඒ වුනාට නාගානන්ද මහත්තය ඇතුළු හැමෝම කියන්නේ පරමාධිපති බලය ජනතාව සතුය කියල නේ?


ඔන්න අහගනින්, ඔය පරමාධිපති බලය අපේ අතේ තියෙන්නේ ඡන්ද විමසීමේ දිනයේ උදේ 7 සිට හවස 4 දක්වා පැය 9 ක කාලයක් පමණයි

අවුරුදු 85 ක්‌ ජීවත්වුනොත් එම පුරවැසියාගේ අතේ ඔය කියන පරමාධිපති බලය කොපමණ කාලයක් තියෙනවද කියලා ගණන් හදල බලමු.

අවුරුදු 18 දි තමයි ඡන්ද අයිතිය ලැබෙන්නේ. ඉතිරි අවුරුදු 67 යි.
පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ එන්නේ අවුරුදු පහෙන් පහට
67÷5=13.4 යි

පාර්ලිමේන්තු මැතිවරණ 13 ක්‌ සහ ජනාධිපතිවරණ 13 කට එනම් ඡන්ද විමසීම් 26 කට කතිරය ගහන්න පුළුවන්.

ඡන්ද විමසීම උදේ 7 සිට හවස 4 දක්වා පැය 9 ක කාලයක් පමණයි. ඒ අනුව ඔහුගේ අතේ පරමාධිපති බලය තියෙන්නේ. පැය 9×26=පැය 234 යි.
234÷24=9.75

ඒ අනුව අවුරුදු 85 ක්‌ ජීවත්වන  පුරවැසියකු අතේ පරමාධිපති බලය රඳා පවතින්නේ  දින 10 යි.කොහොමද වැඩේ!

ඒ නිසා අපේ පරමාධිපති බලය ඡන්ද විමසීමේ දිනයේ පැය, 09 හැර අනිත් හැම මොහොතේම තියෙන්නේ නියෝජිතයින්ගේ අතේ බව හොඳින් අවබෝධ කරගන්න ඕන.

ඔය ප්‍රෝඩාවට තමයි “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය”   කියන ලස්සන නම දාල තියෙන්නේ.

නාගානන්ද ඇතුළු බොහෝ උදවිය කියන්නේ අපි තමයි පරමාධිපති බලයේ නියම හිමිකරුවන්, අයිතිකාරයින් කියන අදහස,

“පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය “(In the Republic of Sri Lanka sovereignty is in the People and is inalienable )

ඒක හරි, නමුත් පරමාධිපති බලය
ක්‍රියාත්මක කරන්න සහ භුක්තිවිඳින්න ඕන
(The Sovereignty of the People shall be exercised and enjoyed )
කියලා ව්‍යවස්ථාවේම ලියල තියෙනවා.

අන්න ඒ ‘exercise’ එකයි ‘enjoy’ එකයි කරන්න තමයි පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය පවත්වා අපේ කතිරේ මගින් අපේ පරමාධිපති බලය අපේ නියෝජිතයින් විසින් ෂේප් එකේ උදුරා  ගන්නේ.

ඒ කියන්නෙ සිරිපාල අයියේ රනිල් ජනාධිපති ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය නොතිව්වොත් අවුරුදු පහ ඉක්මගිය වහාම පරමාධිපති බලයේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ඔක්කොම අපේ අතට එනවා,

එහෙම අපේ අතට දෙන්න එපා කියලා ව්‍යවස්ථාවේම  ලියල තියෙනවා,ඒක ලෝක සම්මතයක්,

ඒ වගේම ඒ බලය අපේ අතට ආවොත් රට අරාජික වෙනවා.

එනිසා ඒ බලය අලුත්
පාර්ලිමේන්තුවකට, අලුත් ජනාධිපති
කෙනෙකුට දෙන්නම ඕන ව්‍යවස්ථාවට අනුව, එහෙම නේද?

ඔව්.හරියටම හරි.
රිලේ දුවන කොට යෂ්ටිය දෙනවා වගේ, අපේ පරමාධිපති බලය අරගෙන පාලකයින් අවුරුදු පහ ගානේ රේස් එක දුවනවා.

අපි විසිල් ගගහ නැත්නම් හූ කියමින් ඒ දිවිල්ල නරඹනවා. එච්චරයි. පරමාධිපති යෂ්ටිය ජනතාවගේ අතට කිසිදා  දෙන්නේ නෑ ප්‍රායෝගිකව.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න ඕන නම් නැවත ජනතාවගෙන් ඊට අවසර ගන්න ඕන. ඒ තමයි ජනමත විචාරණය.

එහිදී ගහන කතිරයේ  අපේ පරමාධිපති බලය තියෙනවා.1983 ට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය 1989 ට කල් දැම්මේ 1982 ජනමත විචාරණය, ලාම්පු- කළගෙඩි ඡන්දයෙන්.

1983 පාර්ලිමේන්තු මැතිවරණය එපා කියලා ලාම්පුවට 54.66% යි. පාර්ලිමේන්තු මැතිවරණය ඕන කියපු කළගෙඩියට 45.34%.. යි.

ඒ අනුව  , ඡන්ද එපා කියලා ඡන්දය දීපු මී හරක් ඉන්න රටක් මේක.තේරුනයි!


අධිකරණය සම්බන්ධ අපේ පරමාධිපති බලය බාරදෙන්න මැතිවරණයක් නැහැනේ!ඒ මොකෝ සිරිපාල අයියේ?


ඒක වෙන්නෙ මෙහෙමයි,

ජනාධිපතිවරණයක දී අපි ගහන කතිරයෙන් අපේ විධායක බලය ජනාධිපතිට දෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි ගහන කතිරයෙන් ව්‍යවස්ථාදායක බලය සහ අධිකරණ බලය යන දෙකම පාර්ලිමේන්තුවටම  තමයි අපි දෙන්නේ.

අපි පාර්ලිමේන්තුවට  දුන්න  අධිකරණ  බලය  පාර්ලිමේන්තුව විසින්  අධිකරණයට “උප කොන්ත්‍රාත්” ක්‍රමයට බාරදෙනවා .

ඒ අනුව ජනතාවගේ අධිකරණ බලයේ නියම පිරිසිදු  අයිතිය තියෙන්නෙත්  පාර්ලිමේන්තුවට.මතක තියාගනින් හොඳේ.

එනිසා තමයි ශිරාණි බණ්ඩාරනායක, එදා අගවිනුසුරුතුමිය පාර්ලිමේන්තුවට ගෙනල්ල ප්‍රශ්න කළේ.


පාර්ලිමේන්තුව උත්තරීතර කතාවත් ඕකට සම්බන්ධයි.
තව ගොඩක් දේවල් තියෙනවා,
ඔක්කොම එක දවසෙන් උඹට කියල දෙන්න බෑ.

ඒක නොවේ,අනිත් දවසෙ එනකොට අද වගේ අත් දෙක වන වනා එන්න එපා, තේරුනාද?

හරි හරි…සිරිපාල අයියේ ඒ ගැන බයවෙන්න එපා. බඩු ෂුවර්!


ඒක නොවේ  සිරිපාල අයියේ,
ඔය පරමාධිපති යෂ්ටිය  හුවමාරු වෙන ටයිම් එකේ අපට බැරිද පැන්න ගමන් යෂ්ටිය  උදුර ගන්න?

බැරිකමක් නෑ, නිකමට උත්සාහ කරල බලපන්. විජේවීරයි ප්‍රභාකරනුයි දෙන්නම මීට කළින් උත්සාහ කෙරුව නේ.මතක නේ උන්දැලට වුන දේ..?

උඹත් දැන් හිටිය ඇති නිසා අනුන්ට මඩ ගගහ, කැලෑ පත්තර ලිය ලිය ඉන්න එකේ එහෙම උත්සාහයක් හරි කරල බලපන්.

මූසල  කතා කියන්න එපා බං 
සිරිපාල අයියේ.

එහෙනම් ලබන සතියේ හමුවෙමු සිරිපාල   අයියේ . ටටා චෙරියෝ!

තංගල්ලේ පුංචිහේවා
2024.02.18

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න