රටේ මුලික නීතිය පිළිබදව වු දැනුම සියලු දෙනාට තිබිය යුතුයි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

දෙසැම්බර් මස 10 වන දිනට යෙදී තිබු 75 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කර ගනිමින් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබු පොලිස් වධ හිංසාවේ මූලය. සන්දර්භය හා විසදුම් යනුවෙන් වු ප්‍රතිපත්තිමය සංවාදයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය , ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ 07 , ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියට අනුව කිසිවෙකුත් කිසිවෙකුගේ වධහිංසාවට ලක් විය යුතු නැහැ. පොලිස් සේවය තුළ ඇතැම් අවස්ථාවලදී ජනතාව වධ හිංසාවට ලක් වෙනවා. මෙම තත්වය අවම කිරීමට අපි නීති සංශෝධනය කළා. 2015 වසරේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිෂන් සභාව ශක්තිමත් ලෙස ස්ථාපිත කළා. වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පිහිටුවනු ලැබුවා. නැවත එම පනත යාවත් කාලීන කලා. නීතියේ ප්‍රමාදය අවම කිරීමට අණ පනත් රාශියක් සම්මත කළා. සිවිල් හා අපරාධ නඩු විධා විධාන සංග්‍රහය කාලීන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සංශෝධනය කරනු ලැබුවා. සුළු වැරදි සිදු කළ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ රදවා තැබීමට හැකි වන පරිදි නීති ගේනවා. ඒ යටතේ වරදකරුවන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් කැදවා බැදුම්කරයකට අත්සන් තැබීමෙන් පසුව අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ රදවා තැබිමී කරනු ලබනවා. සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කලා.උතුරු නැගෙනහිර ජනතාවට පවතින ඉඩම් ගැටළු විසදීම වෙනුවෙන් ස්ථාපිත කළ ඉඩම් සමථ මණ්ඩල ඉතා සාර්ථකයි. ඒ හේතුව නිසාම ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල දිවයින පුරා පිහිටුවීමට කටයුතු කලා. රටේ මුලික නීතිය පිළිබදව වු දැනුම සියලු දෙනාට තිබිය යුතුයි. එම කරුණු අරමුණු කර ගනිමින් 2025 වර්ෂයේ සිට මුලික නීතිය පිළිබදව සිද්ධාන්ත ඉගැන්වීම විෂය නිර්දේශයට අතුළත් කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යතුමා පැවසීය.
පොලීසිය ජනතාවගේ මිතුරෙක් විය යුතුයි. එම සංස්කෘතිය දියුණු රටවල පැවතුණත් අපේ රටේ එවැනි සංස්කෘතික වටපිටාවක් නැහැ. පොලීසිය තුළ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුයි. පොලිස් නිලධාරියාගේ ආකල්පමය වෙනසක් ඇති කළහොත් පොලීසිය පිළිබදව පවතින ජනතා මතය වෙනස් කළ හැකියි. නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. නමුත් පොලීසිය මානුෂික විය යුතුයි. පොලිස් නිලධාරින් දැනුවත් කිරීම කළ යුතුය බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

සැමට සාධාරණත්වය, සමානාත්මතාවය, යුක්තිගරුක සමාජයක් මෙවර මානව හිමිකම් දිනයේ තේමාව විය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියන්ත ජයකොඩි, සමාජ ක්‍රියාකාරිණි අමිතා ප්‍රියන්ති, නීතිඥ දුලාන් දසනායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී.දෙඩාවත්ත මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න