චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, ගරු ක්වින් බොයෝන්ග් (Qin Boyong) මහත්මිය දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය අගයමින් කථානායකවරයා ගරු ක්වින් බොයෝන්ග් මහත්මිය ඇතුළු දූත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. පාර්ලිමේන්තු සහයෝගීතාව, තිරසාර සංවර්ධනය, වෙළෙඳාම, කෘෂිකර්මය, කර්මාන්ත සහ අනෙකුත් බහුපාර්ශ්වික කටයුතුවලදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජය කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන් ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගයේදී චීනය ලබා දුන් සුවිශේෂී සහය කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.
ගරු ක්වින් බොයෝන්ග් මහත්මිය, කථානායකධුරයට අභිනවයෙන් පත්වූ ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට සිය සුබපැතුම් එක් කළාය. ශ්‍රී ලංකාවේ නව රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීමට චීනය සූදානම් බව ඇය මෙහිදී අවධාරණය කළාය.
නියෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, ගරු. සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ෂී ෂෙන්හොන් (Qi Zhenhong) යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.