වෛද්‍ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය හිමි විය.

උක්ත කරුණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය 2024 අගෝස්තු 06 වැනි දින එහි සභාපති ගරු. (මහාචාර්ය) චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ විය.

විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් සඳහා රාජකාරි ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වාදීම මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සේවය සුවිශේෂී සේවා කාණ්ඩයක් ලෙස එයට අදාල වැටුප් කේතයක් ස්ථාපිත කිරීම ප්‍රධාන යෝජනා අතරට ඇතුළත්වී තිබේ.

මෙම යෝජනාවලට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ කරමින් වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සිය සහය පළ කළ අතර එහි නිර්දේශ වැඩිදුර සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය විය.

සෞඛ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය වෛද්‍ය වෘත්තියභාවයේ ධනාත්මක වර්ධනයක් සඳහා වන මෙම යෝජනා සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූ අතර, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීයමය සංවර්ධනය සඳහා සිය සහයෝගීතාවය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට සහ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට සහය දැක්වීම පිළිබඳ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය වෙත සිය ප්‍රසාදය පළ කළේය.

මෙම රැස්වීමට සෞඛ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න, ගරු. (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න