QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය.

  • වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ 4.5ක් මෙරටට ආනයනය කළද, එමඟින් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු වනුයේ වසරකට ටොන් 50,000ක් පමණයි – පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාවේ සභාපති

QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට ලක් විය.

මේ පිළිබඳ සලකා බැලුනේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ 4.5ක් මෙරටට ආනයනය කළද, එමඟින් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු වනුයේ වසරකට ටොන් 50,000ක් පමණක් බවත් මෙරට තුළ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් විවෘත පරිසරයේ දහනය වන බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මෙයින් වඩාත්ම අවධානය යොමු කළ යුතු වන්නේ පෙට් ප්ලාස්ටික් සඳහා බවත් මසකට පෙට් ප්ලාස්ටික් ටොන් 1200ක් පමණ මෙරට තුළ පරිහරණය වුවද, ප්‍රතිචක්‍රීකරණය වනුයේ එයින් ටොන් 400ක් පමණක් බවත්, ඉතිරි ටොන් 900ක් පුමාණයක් පරිසරයට අවිධිමත් පරිදි මුදාහරින බවත් ඒවා ගංගා ඇල දොළවල රැදී පවතින අතර විවෘත පරිසරයේ පුච්චා දමන බවත්, පස තුළට වැලළෙන බවත් පැවසීය.

පෙට් ප්ලාස්ටික් බෝතල් එකතු නොවීමට පවතින ප්‍රධානම හේතුව බෝතල් සඳහා මිලක් නොමැති වීමෙන් ඒවා එකතු කිරීමට මහජනතාව උනන්දු නොවීම බවද මෙහිදී අනාවරණය විය.

ඒ අනුව QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් සඳහා තැන්පතු ආපසු ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධව ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන්ගෙන් සහ මේ පිළිබඳව අවබෝධයක් ඇති පාර්ශවවල, තාක්ෂණික සහ මුල්‍ය තොරතුරු ඇතුළත් යෝජනාවන් ජුලි මස 18 දිනට ප්‍රථමයෙන් ලබා ගැනීමට පුවත්පත් දැන්වීම් පළකර තිබුනද ඒ සඳහා  දී ඇති කාල සීමාව ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත නියෝජිතයින් පැවසීය. ඒ අනුව, යෝජනාවන් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර දෙන ලෙසත්, විස්තීරණ නිෂ්පාදක වගකීම් පද්ධතිය (Extended Producer Responsibility System) අනිවාර්ය බවට නීතිගත කරන ලෙසත් පැමිණ සිටි පාර්ශව මෙහිදී කාරක සබාවෙන් ඉල්ලා සිටින ලදී.

මේ පිළිබඳ දීර්ඝ ලෙස සියලු පාර්ශව නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන ලද කාරක සභාව යෝජනාවන් ලබා ගැනීමේ කාල සීමාව ජුලි මස 18 සිට අගෝස්තු මස 27 දින දක්වා දීර්ඝ කිරීමටත්, විස්තීරණ නිෂ්පාදක වගකීම් පද්ධතිය (Extended Producer Responsibility System) අනිවාර්ය බවට නීතිගත කරන ලෙසත් නිර්දේශ කරන ලදී.

 එසේම QR කේතය පදනම් කරගෙන PET ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කිරීම පිළිබඳව ලෝකයේ වෙනත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කර කාරක සභාවට වාර්තා කරන ලෙස ද පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත සමරවීර සහ ගරු තිලක් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න