බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ සේවය කරමින් සිටියදී ජීවිත අහිමි වු නිලධාරීන් සිහිපත් කිරීම අගය කළ යුතුයි.
එක් නිලධාරියෙකුගේ දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම විවේචන එන අවස්ථා තිබෙනවා.
අධිකරණ ඇමති පවසයි.

119 වන බන්ධනාගාර දිනයට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරි සේවයේ යෙදී සිටියදී ජීවිත පූජා කළ නිලධාරීන්ට පුෂ්ප උපහාර දැක්වීමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අනුස්මරණ ස්මාරකය අසලදී ( 16) පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
වසර 119 ක බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ මේ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී ජීවිත අහිමි වු නිලධාරීන් සිහිපත් කිරීම අගය කරනවා. එය කෘතවේදී පුද්ගලයින් සතුව පවතින ගුණයක් ලෙස අගය කළ යුතුයි. කෘතගුණ දැක්වීම අපි සියලු දෙනාගේ වගකීම හා යුතුකමක් බව වටහා ගත යුතුයි. බුදුන් වහන්සේ පවා තමන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර කළ බෝධීන් වහන්සේට කෘතගුණ දැක්වුවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සේවය කරමින් සිට විශ්‍රාම ගිය නිලධාරීන් ද සිහිපත් කිරීමත් සිදු කළ යුතුයි. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් කරනු ලබන සේවය අගය කරනවා. මෙම නිලධාරීන් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජීවිත පුජා කර තිබෙනවා. අධිකරණය, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන කටයුතු කරන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටයි. ඇතැම් විට එක් නිලධාරියෙකු දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම විවේචන එන අවස්ථා තිබෙනවා.

රටේ පැරණිම ආයතනයක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කරනු ලබන සේවය අගය කරන අතරම මෙම දෙපාර්තමේන්තුවේ සේවය නොතිබුණේ නම් ඇතිවන තත්වය සිතා ගත නොහැකි බවද අමාත්‍යතුමා සදහන් කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජකාරී සේවයේ යෙදී සිටියදී නිලධාරීන් 15 දෙනෙකු සිට ජීවිතය පුජා කර තිබේ.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වජිරා දමයන්ති යන මහත්ම මහත්මීන්,බන්ධනාගාර කොමසාරිස්වරුන්, අධිකාරිවරුන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජකාරී සේවයේ යෙදී සිටියදී ජීවිතය පුජා කළ නිලධාරීන්ගේ ඥාතීන් පුෂ්ප උපහාර දැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න