පාසල් බලධාරීන් සිසුන් පාලනය සඳහා අඩන්තේට්ටම් කිරීමේදී ශිෂ්‍ය නායක මණ්ඩල යොදා ගන්නා බවට තම සංවිධානයට තොරතුරු රැසක් වාර්තා වී ඇතැයි ළමා ආරක්ෂණ සන්ධානය පවසයි.

දරුවන්ට පහර දීම නීතිවිරෝධි යැයිද හැඳි නොගා හදන හොද්දත් නොගහා හදන දරුවාත් යන කියමන ඉදිරිපත් කරමින් එම පැරණි මත අත්හරිමින් රටේ තිබෙන නීතිරීති යාවත්කාලීන කරන ලෙසත්, දැරුවන්ට පහරදීම් කළ නොහැකි බවට 2022දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදී තිබියදී මෙවැනි දේ සිදුවීම බරපතළ තත්ත්වයක් බව ළමා ආරක්ෂක සන්ධානයේ සම-කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

එහෙත් එම නඩු තීන්දුව පිළිබඳ හෝ දරුවන්ට පහරදීම නීති විරෝධී බවත් පාසල්වලට බෙදාහැරිය 12/2016 අධ්‍යාපන අමාත්‍යංශ නිකුත් කළ විනය පාලන චක්‍ර ලේඛය පිළිබඳවත් පාසල් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර නැතැයි වෛද්‍යවරිය චෝදනා කළා ය.

2017 වසරේදී ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළුව ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට තිරසර සංවර්ධන ඉලක්ක 16.2 සඳහා කැපවූ දකුණු ආසියාවේ එක ම රට ලෙස ක්‍රියාදාමය කරගෙන යෑමට බැඳී සිටියත් ඒවා මග නැවතී ඇතැයි ද ඇය කීය.

ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකා හැරීම් ලෙස අපයෝජන වර්ග හතරක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොලිසියට ළමයින් සම්බන්ධයෙන් වාර්තාවන අපයෝජන බරපතළ අපරාධ ගණයට අයත් පස්වැනියට බරපතළ අපයෝජනය බවත් වෛද්‍යවරිය පැවසීය.

ශ්‍රි ලංකාවේ දරුවන්ට සිදුවන අපයෝජනවලින් වැඩි ම ප්‍රමාණයක් සිදුවන්නේ ශාරීරික අපයෝජනය බවත් දරුවන්ට ශාරීරික දඬුවම් හිංසා කිරීම යනු සමාජය බොහෝ දූෂිත යන්න බවත් වෛද්‍යවරිය කීය.

දරුවන්ට දඬුවම් කිරීම හේතුවෙන් ඇතිවන තුවාල අස්ථි බිඳීම් සහ කල්පවතින වේදනාවන්වල ප්‍රතිඵලය දරුවන් මානසිකව පීඩාවට පත්වීම බවත් අධ්‍යාපනය කඩාකප්පල් වීම, විෂයයන්ට ඇති ආදරය අඩුවී ආකල්ප වර්ධනය ඇනහිටින බවත් ආදරය සොයා සමාජයේ වැරදිවලට යොමුවීම සිදුවන්නේ යැයි ඇය කීය.

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අප්‍රේල් 30දාට යෙදී ඇති බවත් බලධාරීන්ව මේ පිළිබඳ හැකිතාක් දුරට නිවැරදි පැත්තට යොමුකිරීමට සිය සංවිධානය බලාපොරොත්තු වන්නේ යැයි වෛද්‍යවරිය පැවසීය.

නඩු තීන්දු හෝ තමන්ගේ ම චක්‍ර ලේඛයවත් ක්‍රියාවට නංවන්නේ නැතිනම් අදාළ වගකිව යුතු නිලධාරීන් නීතියට ගෙන යාමට සිදුවන්නේ යැයි ඇය තවදුරටත් අවධාරණය කළා ය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න