රැකියාවෙන් විශ්‍රාම ගිය පසුව තමන්ට ඩිමෙන්ෂියා රෝගය සෑදේවියයි අපගෙන් බොහෝ දෙනෙක් කණස්සල්ලෙන් පසුවෙති..නමුත් මේ වනවිටත් ප්‍රමාද වූවා සේය.ප්‍රවීණයන් පවසන්නේ සත්‍ය වශයෙන්ම ඔබට ඩිමෙන්ෂියා උවදුර වළක්වා ගැනීමට අවශ්‍ය වන්නේ නම්,ඔබ වයස අවුරුදු 30-40 දී හෝ ඊටත් කලින් හෝ ඔබේ මොළය පිළිබඳව සැළකිලිමත් වීම ආරම්භ කළ යුතු බවය.
විවිධාකාර අධ්‍යයනයන් අනාවරණය කරන්නේ ඔබේ ජිවන රටාව මොළයේ සෞඛ්‍යය කෙරෙහි වැදගත් වන බවයි .
මෙසේ පවසන්නේ පීටර්ස්බර්ග් වෛද්‍ය විශ්ව විද්‍යාලයයට අනුබද්ධ ස්නායු සහ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයෙකු වන වෛද්‍ය පෝල් නුස්බෝම් මහතා ය.දිගු කාලයක් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවත්වන්නට අවශ්‍ය නම්, ඔබට හැකි ඉක්මන් අවස්ථාව දී එය පටන් ගත යුතුයි .
එහෙම නම් ඔබේ මොළය ශක්‍තිමත් කොට ඩිමෙන්ෂියා තත්ත්වයෙන් වැළකීම සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද ? එකී වෛද්‍ය නුස්බෝම් මහතා විසින් ,වින්ටර් පාර්ක්, සෞඛ්‍ය පදනම් ආයතනයේ දී මේ විෂයය පිළිබඳව කරන ලද දේශනය කින් මේ සඳහා උදව් කරගත හැකි හෝඩුවාවන් 20 ක් අනාවරණය වී තිබේ.

1) සමාජ ශාලාවලට හෝ වෙනත් සමිති සංවිධාන වලට ස්වේච්ඡාවෙන් එකතු වන්න.ඔබ එය දැන්ම ආරම්භ කරන්නේ නම්, තමන් තනි වූ හෝ අනවශ්‍ය වූ හෝ පුද්ගලයෙකු ය යන හැඟීම ඉවත්ව යනු ඇත .

2) විනෝදාංශය ක් හෝ දෙකක් වර්ධනය කර ගන්න .එකී විනෝදාංශ ඔබේ මොළය ශක්‍තිමත් කිරීමට උදව්වේ.ඒ ඔබ අළුත් මෙන්ම සංකීර්ණ යමක් කිරීමට උත්සාහ කරන නිසාවෙනි .

3) ඔබේ නුහුරු අතින් දිනකට මිනිත්තු කිහිපයක් ලියන්න පුරුදු වන්න.මෙමඟින් මොළයේ ප්‍රතිවිරුද්ධ පැත්තට ව්‍යායාමය ක් ලැබෙන අතර එහි නියුරෝන ක්‍රියාකාරිත්වය ද ඉහළ නඟී.

4) නර්තනය ප්‍රගුණ කරන්න .ආසන්න වශයෙන් 500 ක.පමණ පිරිසක් මඟින් කරන ලද අධ්‍යයනයකදී ඔවුන්ගෙන් දෛනිකව ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදුන අයගේ ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගී තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් නිරීක්ෂණය විය.කිසිදු නර්තන ක්‍රියාවක් හෝ සතියකට එක් වරක් නටන ලද හෝ අයවළුන් හා සසඳන විට ,සතියකට තුන් හතර වතාවක් එසේ කළ අයගේ ඩිමෙන්ෂියා ඇතිවීමේ ප්‍රතිශතය 76% කින් අඩුවී ඇති බව ද පෙනුනි.

5) විනෝදාංශයක් අවශ්‍ය ද? එසේ නම් ගෙවතු වගාව ආරම්භ කරන්න.පුද්ගලයන් 1000,ක් සම්බන්ධ කොට ගෙන කරන.ලද අධ්‍යයනයකදී ,නවසීලන්ත පර්‍යේෂකයින් පිරිසකට දැන ගන්නට ලැබී ඇත්තේ ගෙවතු වගා කටයුතු වල නිරතව සිටි අයගේ ඩිමෙන්ෂියා සෑදීමේ ප්‍රවනතාව අඩු වී ඇති බවකි.මෙමඟින් මානසික ආතතිය අඩු කරනු ලබනවා පමණක් නොව, එහි සැලැස්මක් සෑදීම සඳහා ඔවුන්ගේ මොළය යෙදවීමට ද ඉඩකඩ ලබා දෙයි.ඔවුහු ලස්සනට මෙන්ම තිබෙන අවකාශයේ ප්‍රමාණය
අනුව ගෙවත්තේ පසුබිම සකසා ගැනීමට ද උත්සුක වෙති.

6) දිනපතා ඇවිදීම ද මේ රෝගය ඇතිවීමේ අවදානම අඩු කරයි.මොළයට රුධිරය ගෙනයාම සඳහා රුධිර වාහිනී නාළවල මනා සෞඛ්‍ය තත්ත්වය ක් ඉන් ඇතිවන හෙයිනි .එසේ නො මැති නම් ව්‍යායාම උපකරණයක් ගෙන දිනකට පියවර 10,000 ක් ඇවිදින්න.

7) දිනපතා කියවන්න , ලියන්න.කියවීමෙන් තොරතුරු ගබඩා කිරීම සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය උත්තේජනය කරනු ලබයි.එසේම ලිවීමෙන් (පිටපත් කිරීමක් නොවේ) ද මොළයේ විශාල ප්‍රදේශයක් උත්තේජනය ට ලක්වේ.

8) ගෙතීම අරඹන්න.ඒ සඳහා දෑතම භාවිතා කරන්න .එමඟින් ආතතිය අඩුවනු ඇත .

9) අළුත් භාෂාවක් ඉගෙන ගන්න .එය විදේශ භාෂාවක් හෝ සංඥා භාෂාවක් කෝ කුමක් වුවත්, භාෂා දෙක අතර ඉදිරියට සහ පසුපසට මොළය ක්‍රියාත්මක කිරීමට සිදු වේ.එංගලන්තයේ පර්‍යේෂකයින් පිරිසක් විසින් කරන ලද අභ්‍යාසයක දී ද්වි භාෂා සහිත පුද්ගලයන් ගේ ඇල්ෂයිමර් රෝගයේ ලක්ෂණ පහළ වීම වසර 4 කින් ප්‍රමාද වී ඇති බව පෙනී ගොස් තිබේ.දරුවකු මුලින් සංඥා භාෂාව ඉගෙන ගන්නා අතර ඔහුගේ සාමාන්‍ය බුද්ධිය ඉහළය.එවැනි අයට ඩිමෙන්ෂියා සෑදීම අඩු තත්ත්වයක පවතී.ඒ නිසා මෙම වැඩ පිළිවෙළ කල්තියාම පටන් ගන්න.

10) ස්ක්‍රබ්ල් ( වචන තැනීමේ ක්‍රීඩාවක්) හෝ දාම් ඇදීම හෝ වැනි මොළය වෙහෙසවන ආකාරයේ ක්‍රීඩාවක යෙදෙන්න .එයින් ඔබ සමාජ ගත පුද්ගලයෙකු බවට ද පත්වේ.මාර්ගගත පරිගණක ක්‍රීඩා ද මේ සඳහා සුදුසු වේ.එහෙත් වෛද්‍ය නුස්බෝම් පවසන්නේ සමාජශීලි බව සහිත ක්‍රීඩා වඩාත් ඵලදායි බවයි.

11) ජීවිත කාලය පුරාම පන්ති පවත්වන්න.ඉගෙනුම මඟින් මොළයේ රසායනික හා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කෙරේ.අධ්‍යාපනය දිගු ජීවන ගමනකට ද,හේතුවන බව පෙනේ.උසස් උපාධි සහිත පුද්ගලයන් වැඩි කාලයක් ජීවත්වන බව මොළය පිළිබඳව අධ්‍යයනයක් කළ පර්‍යේෂකයින්ට දැන ගන්නට ලැබී තිබේ.එම අයටත් ඇල්ෂයිමර් රෝගය තිබිය හැකි වුවත් එය පැහැදිලිව දක්නට ලැබෙන්නේ රෝගයේ පසු අවස්ථා වලදී පමණි .

12) සම්භාව්‍ය සංගීතයට සවන් දෙන්න.සංගීතය මොළයේ අර්ධගෝල ද්විත්වය යා කරන ශක්‍තිමත් වයරයක් ලෙස සැළකේ.කුමණ ආකාරයේ සංගීතය වුවද සෑහෙන නමුත්, සම්භාව්‍ය සංගීතයට ධනාත්මක ප්‍රතිඵල අත්වී ඇති බව සමහර පර්‍යේෂණ වලින් තහවුරු වී තිබේ.එහෙත් ඒ කුමණ හේතුව නිසාද කියා නො දනී.

13) සංගීත භාණ්ඩයක් වාදනය කරන්නට පුරුදු වන්න.එය ඔබ කුඩා අවදියේ සිටි කාලයේදී තරම් පහසු කරුණක් නො වනු ඇත .නමුත් එමඟින් ඔබේ මොළයේ අක්‍රිය කොටස් යළි වර්ධනය කරගත හැකි වනු ඇත .

14) සංචාරය කරන්න.( එය නිවාඩු කාලයේ යන දිගු දුරක් හෝ නගරය හරහා වෙනත් ප්‍රවේශයකින් යන ගමනක් හෝ වුවත්),එයින් නවමු සහ සංකීර්ණ පරිසරයක් කරා ඔබ, ඔබේ මොළය යොමු කරවයි.ලන්ඩන් කුළී රථ රියැදුරන් හා කළ,අධ්‍යයනයකදී පැහැදිලි වී ඇත්තේ ,ඔවුන්ට විශාල මොළයක් තිබූ බවයි.ඒ ඔවුන්ට ගමනාගමනය සඳහා ලැබෙන ස්ථාන හා සම්බන්ධ තොරතුරු ගබඩා කිරීමට මෙන්ම ඒ තැන්වලට මොළය යොමු කිරීමට සිදු වීම නිසයි.

15) යාඥාවල ( පොදුවේ ආගමික කටයුතු වල) යෙදෙන්න .එය ඔබේ ප්‍රතිශක්ත පද්ධතියට මහෝපකාරී වේ.දිනපතා මෙසේ කරන අයවළුන් සතුටින් ,හා සෞඛ්‍යාරක්ෂිතව දිගු කලක් ජීවත්වන බව වාර්තාවේ.

16) භාවනාව පුරුදු වන්න.දෛනික ජීවිතයේ ඇතිවන ආතතිය එයින් ඉවත්කර දැමිය හැක.

17) අවශ්‍ය පමණට නිදා ගන්න.බාධක සහිත නින්දත් ඩිමෙන්ෂියාව ත් අතර සබඳතාවක් ඇති බව
අධ්‍යයනවලදී හෙළිදරව් වී ඇත .

18) ඔමෙගා 3 සහ මේද තෙල් , සහිත ආහාර වැඩියෙන් ගන්න.සැමන් ,සාර්ඩින් ,කෙලවල්ලා , ට්‍රවුට්, මැකරල් හෝ වෝල්නට්,කොඩ්ලිවර් තෙල් වඩාත් සුදුසුයි .

19) පළතුරු සහ එළවළු වැඩිපුර අනුභව කරන්න .මේවායේ ඇති ප්‍රති ඔක්සිකාරක මොළයේ සෛල වලට හානි ගෙන දෙන ඇතැම් මූල අතුගා දැමීමට සමත්වේ.

20) යහළුවන් සහ පවුලේ සාමාජිකයන් සමඟ දිනකට එක් ආහාරවේල ක් වත් ගන්න.එයින් ඔබ මන්දගාමීව සහ සමාජගතව ආහාර ගනු ඇත .එය තනිවම හෝ දුව දුවා හෝ ආහාර ගැනීමට වඩා සෞඛ්‍යයට හිතකර බව පර්‍යේෂකයෝ පෙන්වා දෙති.

අවසානය

අපි , යුක්ති ගරුකව සහ බුද්ධිමත්ව සෞඛ්‍ය සම්පන්නව සතුටින් හා සාමයෙන්
ජීවත් වෙමු නේද ?

  • * නිමි.* *,

සිංහල පරිවර්තනය
කීර්ති ආයුපාල විසින්

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න