ලෝක බැංකුව විසින් වාර්ෂිකව ලෝකයේ රටවල් ඔවුන්ගේ ජාතික ආදායම අනුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට බෙදයි. අඩු ආදායම් ලාභී රටවල් , පහළ මැදි ආදායම් ලාභී , ඉහළ මැදි ආදායම් ලාභී , සහ ඉහළ ආදායම් ලාභී ආර්ථික ලෙස මේවා දක්වා ඇත. (Low Income , Lower Middle, Upper Middle, & High Income). මෙම වර්ගීකරණය සෑම වසරකම ජුලි මාසයේ දී පෙර වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව ඒක පුද්ගල දල ජාතික ආදායම (Gross National Income (GNI )) පදනම් කරගෙන ගැලපීම් කරයි.
ඒ අනුව 2023 ජූලි 01 සිට 2024 ජූලි 01 දක්වා කාලය පෙර වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව ඒක පුද්ගල දල ජාතික ආදායම (Gross National Income ) පිළිවෙලින් ඩොලර්
රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ප්‍රකාශ කරන ආකාරයට නිදහස ලැබී වසර 100 සමරණ 2048 දී ලංකාව පෝසත් රටක් කරන බවත් ලෝකයේ අනෙකුත් දියුණු රටවල් සමග කරට කර තරඟ කල හැකි මට්ටමට රට ගොඩ නගන බවත් ය. ඔහුගේ සහචරයන්ද මෙය පුනරුච්චාරණය කරති. බොහෝ අය මෙය සත්‍යක් ලෙස පිළිගෙන තිබෙන බවක්ද පේන්නට ඇත. මෙයත් තරුණයන්ට ෆ්‍රී වයිෆයි (Free WiFi ), බ්‍රේස්ලට් (Bracelet), වොක්ස්වැගන් පුංචි කාර් දෙන බවට දුන් පොරොන්දු වලට එහා ගිය “අමු කෙප්පයක්” බව කිව යුතුය.
IMF ණය ගිවිසුම අනුව 2028 වන තුරු ලංකාවේ ආර්ථිකයේ වර්ධන වේගය උපරිම 3.5% වඩා වැඩි නොවනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව 2022 ආර්ථික වර්ධන වේගය -7.8% කි. 2023 වන විට එය -4% මට්ටමක පැවතිය හැකි බව IMF පුරෝකථනය කොට තිබුණි. දැනට පවතින දත්ත අනුව 2024 සිට 2026 දක්වා ආර්ථික වර්ධන වේගය 2%ක් වැනි පහළ අගයක් ගනු ඇති බවට නිගමනය කල හැක. ඒ අනුව 2027 පමණ වන විට ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 85ක මට්ටමට ලඟා වීමට ඉඩ ඇත. මෙම මට්ටමේ සිට 2048 පෝසත් රටක් කිරීමට නම් රනිල් වික්‍රමසිංහ වාර්ෂිකව (2027-2048 දක්වා) කුමන මට්ටමේ ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්නේද කියා කිසිවෙක් ඔහුගෙන් විමසන්නේ නැත. විමසුවද, ඔහුට දීමට උත්තරයක් ද නැත.
සාමාන්‍යයෙන් පෝසත් රටක් ලෙස යම් රටක් පිළිගැනීමට නම් එම රටේ වාර්ෂික ඒක පුද්ගල දල ජාතික ආදායම (GNI ) අවම ඩොලර් 12,000ක් විය යුතු වන අතර එය ඒ අයුරින් ඉදිරියට පවත්වාගෙන යෑම අවශ්‍ය ය. ලංකාවේ ජනගහන වර්ධන වේගය 1%ක මට්ටමේ පවතී. ඉදිරි ජනගහන වර්ධන වේගය වාර්ෂිකව .5% (දශම .5%) මට්ටමේ පවතීය යන උපකල්පනය මත බලන විට 2048වන විට ලංකාවේ ජනගහනය මිලියන 25.4 ක් වනු ඇත.
ලංකාව 2048 පෝසත් රටක් මට්ටමට ගෙන ඒමට නම් (ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් 12,000) ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 305 ක් දක්වා වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය ය. එය IMF වාර්තාව අනුව 2027 ට සාපේක්ෂව 243% වර්ධනයකි. ඒ මට්ටමට ළඟාවීමට ලංකාවේ ආර්ථික වර්ධන වේගය වාර්ෂිකව 12% ක මට්ටමේ පවත්වා ගෙන යා යුතුය. සමහර විට එය ලෝකයේ ඉහළම ආර්ථික වර්ධන වේගය තිබෙන රට විය හැක. දැනටමත් සෘන ආර්ථික වර්ධන වේගයක් තිබෙන ලංකාවට 12% ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට ඇලඩින්ගේ පුදුම පහන තිබුනද කල නොහැක. රනිල් වික්‍රමසිංහට කොහෙත්ම බැරිය. ඔහු එය වරක් දෙවරක් නොව වසර 47ක්ම බැරි බව ඔප්පු කොට ඇත . 1977 පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ ලංකාව බංකොලොත් කිරීමේ ප්‍රධාන චූදිතයන් කිහිප දෙනා අතර සිටී. අනෙකුත් චූදිතයන්ගේ ආරක්ෂකයා වන්නේ ද රනිල් ය.
රටේ ජනගහනයෙන් 31% දුප්පතුන් බව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ වෙරිටේ රිසච් ආයතන කියති. රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත 260,000 ක් පමණ වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. තරුණ තරුණියන් දස දහස් ගණනින් රට හැර යන බව ආගමන විගමන වාර්තා කියයි. ආර්ථිකය හැකිලී, ආයෝජන සීමා වී, අල්ලස දූෂණය වැඩි වී අවසානයේ රට බංකොලොත් වී ඇත. පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල මූල්‍ය ප්‍රතිපත්තිය (Monetary Policy Report -2024 February ) අනුව මධ්‍යම රජයේ ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 2023-2028 දක්වා 107.8%, 110.3%, 111.4%, 110.8%, 108.0% සහ 104.6% ලෙස දක්වා ඇත. 2022 අප්‍රේල් මාසයේ 12වන දින සිට මේ දක්වා විදේශීය ණය ඩොලර් බිලියන 36 ක් නොගෙවා මේ වන විට හිඟ හිට්ටවා ඇත. 2023 අග වන විට නොගෙවූ පොලිය ඩොලර් බිලියන 4කට වැඩි ය. එවැනි වටපිටාවක කුමන පෝසත් රටක් ද? සිහින දැක සතුටු වන්නන්ට මේවා කම් නැත.
රනිල් වික්‍රමසිංහගේ 2048 පෝසත් රටක් යන ප්‍රකාශ හුදෙක්ම කටට ආ පලියට කල ප්‍රකාශයක් මිස කිසිදු දත්ත විශ්ලේෂණයක් කොට කල ප්‍රකාශයක් නොවන බව පැහැදිලිය. මේ රනිල් වික්‍රමසිංහගේ සාමාන්‍ය චර්යාවය. රනිල් වික්‍රමසිංහ තරම් බොරු පොරොන්දු දුන් පාලකයෙක් ලංකාවේ මෙතෙක් බිහි වී නැත. එහෙත් සමහරුන් හිතන්නේ ඔහු තරම් “වැඩකාරයෙක්” තවත් නැති බවය. ඔවුන් කියන ප්‍රධාන කරුණු කිහිපයක් ඇත.
පෝලිම් නැත. ඉන්ධන, ගෑස් ඕනෑ තරම් ඇත. එය සත්‍යකි. එහෙත් මිල 400% කින් වැඩි වී ඇත. විදුලිය පැය 24 ම ලැබෙයි. බිල 300% කින් වැඩි වී ඇත. ඩොලර් මිලියන 4000ක් පමණ මහ බැංකු සංචිත වල ඇත. ණය ගෙවන්නේ නැත. එහෙත් කොයි මොහොතක හෝ විදේශීය ණය ගෙවීම ආරම්භ කල විට තිබෙන ඩොලර් සංචිතය වසරකට වත් ප්‍රමාණවත් නැත. 2023 ප්‍රාථමික ගිණුමේ සුළු අතිරික්තයක් ඇත. ආනයන සීමා කිරීම සහ තේ අපනයනයේ සුළු වැඩිවීමක් ඇති වීම එයට හේතු විය. එසේ නොමැතිව ආර්ථිකයේ මහා වෙනසක් සිදුව නැත.
මැතිවරණයක් ආසන්නයට පැමිණ ඇත. කෙසේ හෝ බලය අල්ලා ගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටී. ඉඩම් ඔප්පු බෙදයි. කුලී ගෙවල් සඳහා සින්නක්කර හිමිකම් ලබා දෙයි. රැකියා දෙන බව කියයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවද කියයි. ලංකාව පෝසත් රටක් කරන බවත් කියයි. මේවාට හසුවෙන පිරිස් ද නැතුවා නොවේ.
රට බංකොලොත් කල, අල්ලස දූෂණය රජ කරවූ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලාට , ඊට මුක්කු ගසන සජබයට රට භාර දීම හරියට 1960 ගනන් වල ඉතාලියේ පැවති හානිපූරණ විවාහයට සමානය. දූෂණයට ලක්වූ කාන්තාව දූෂණය කල පුද්ගලයාටම කසාද බැන්දවීම එම විවාහ ක්‍රමයයි. (The custody of a rape victim being awarded to the rapist himself).
රට බංකොලොත් කල , රටේ දේපළ කොල්ල කෑ හොර රැලටම රට නැවත භාර දෙනවාද , නැත්නම් රටට ආදරය කරන,නව පුනරුදයක් ඇති කල හැකි නැවුම් පිරිසකට රටේ පාලන බලය භාර දෙනවා ද යන තීරණය ඔබ සතුය. මේ ලංකාවේ අනාගතය තීරණය කරන වසරයි !!
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
20.2.2024
shantha323@gmail.com