ගුණ සහ නැණ දෙකම පිරිපුන් දරුවෙකු මුළු ලොවක් ලස්සන කරයි.එවන් ලස්සන ලොවක් තනන්නට මිහි මත සියලු දරුවන්ගේ,  මුල් ළමා විය නම් අත්තිවාරම එක සේ බලපායි.දරුවකුගේ අවුරුදු 0 සිට 5 දක්වා වන මුල් ළමා විය ඔවුන්ගේ ජීවිතයේ වටිනාම කාලයයි.එයිනුත් මුල් අවුරුදු 2 රත්තරන් දින 1000 ලෙස නම් කරයි.බිලියනයක් නියුරෝන ශෛල වලින් සැදුම්ලත් දරුවාගේ මොළයේ වර්ධනය හා සංවර්ධනය සිදුවන මේ කාලය ජීවිතයේ වැදගත්ම කාල පරිච්ඡේදයයි.ලොවේ උත්තරීතරම පදවීන් ලැබූ මව්ගේ පියාගේ මේ කාලය තුළ කරන කැප කිරීම් අනාගත තම සිහින පුතා දුව නිර් මාණය කිරීමෙහි ලා අතිශය වැදගත් වේ.ඒ කාලය තුළ දරුවාගේ සෞඛ්‍ය, පෝෂණය, රැකවරණය, ප්‍රතිශක්තිය, ප්‍රතිචාරාත්මක සබඳතා සහ මුල් ළමා විය ඉගෙනුම් අවස්ථා තුලින් දරුවාගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය යන පංචේන්ද්‍රියන් මනා උත්තේජනයෙන් මොළයේ වර්ධනය හා සංවර්ධනය ශක්තිමත් කරන්නට මව පියා දෙපල හා රැකබලාගන්නා දැන සිටිය යුතුමය.

මාපිය උණුසුමේ වැඩුණු දරුවා, අවුරුදු 3 දී දහසකුත් බලාපොරොත්තු සිතැතිව දෙවැනි මවුන් වෙත බාර දෙනු ලබයි.ඒ කවුරුන්ද පෙර පාසල් ගුරුතුමිය වෙතයි.ලොවක් ලස්සන කරන්නට දරුවන් කුසින් බිහිකළ මවුන් සේම පෙර පාසල් ගුරුතුමියද, සමව වටී.”දෙවැනි මවුන්” ලෙස විරුදාවලියෙන් පුදන්නේ ඒ නිසාවෙනි.දරුවාගේ අවුරුදු 5 දක්වා වූ කාලය තුළ සිදුවන මොළයේ වර්ධනය හා සංවර්ධනය 80% ක්ම වඩාත් ශක්තිමත් කිරීමට  එකසේ දායක වන්නේ පෙර පාසල් ගුරු ප්‍රජාවයි. මල් කැකුළු වන් දරුවන්ට දැනෙන සේ ආදරයෙන්, අගය කිරීමෙන් හා විශ්වාසය දනවමින් කටයුතු කරන්නට ඒ මාපියන්ට කියාදෙන සැබෑ නියමුවානන් ඔවුන්ය.

එපමණක් නොව, ඔබ හමුවේ දරුවන්ට ජය අත්කර දිය යුතු පැති බොහොමයක් වර්තමානයේ උදා වී හමාරය.පවසන්නට අකමැති වුවත් ඔබට කිව යුතුම දෙයකි.”අප ඉදිරියේ අපේ සියළු දරුවන් විවිධ සෞඛ්‍ය ගැටළු වලට පාත්‍ර වීමේ කාලයක් උදා වී ඇත”.එසේ සිදු නොවන්නට අප සියළු දෙන යුහුසුළු වෙමු. තවද පමා නැත.

අපේ රටේ වැඩිහිටි තරුණ ප්‍රජාව අතර පමණක් නොව, පාසල් දරුවන් අතරද වර්තමානය වන විට බෝ නොවන රෝග ඉහළ අගයක් ගනී.සමීක්ෂණ වාර්තා අනුව පෙර පාසල් දරුවන්ද මෙම උවදුරට ගොදුරු වෙමින් සිටී. පෙර පාසල් වියේ දරුවන් අධික ලෙස පැණි බීම වලට පුරුදු වී ඇති අතර අධික ලුණු පරිභෝජනයට ද හුරු වී සිටී.දිනකට නියමිත එළවලු දෙකක්,පලා වර්ගයක් හා පලතුරු දෙකක් පරිභෝජනය කරන්නේ දරුවන්ගෙන් සුළු  ප්‍රමාණයකි.එපමණක් නොව ඩිජිටල් තිර මත ඇබ්බැහි නොවූ දරුවන් සොයා ගැනීමටත් අසීරු තරම්ය. මෙම තත්වය දරුවන්ගේ අනාගතය බොහෝ සෞඛ්‍ය ගැටළු වලට අත වැනීමක් වැනිය.

එවන් ක්‍රියාවන් දෙසට නොව මනා කායික, මානසික, සාමාජීය හා ආධ්‍යාත්මික යහපැවතුම් මෙන්ම,හොඳ පුරුදු පුහුණු විහිදුවාලන දරුවෙකු අප සියල්ලන්ගේම පැතුමයි.එවන් දරුවෙකු නිර්මාණය කරන හොඳම සැකසුම් මධ්‍යස්ථානය පෙර පාසලයි.එය ඉහතින් කී ගුණ නැණ වඩන ස්ථානයක් මෙන්ම මනා ප්‍රමිතියෙන් හා සෞඛ්‍ය ප්‍රවර්ධ්න සංකල්පයන් ක්‍රියාත්මක වන පෙරපාසලක් වීමද ඉතා වැදගත් වනු ඇත.

මේ රටේ පෙරපාසල් වියේ දරුවන්ගේ අධ්‍යාපනය, යහපැවැත්ම හා සෞඛ්‍ය තව තවත් නංවාලන්නට, ප්‍රවර්ධනය කරන්නට, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නවමු වැඩසටහනක් ආරම්භ කර තිබීම සතුටට කරුණකි. මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය හා ළමා ලේකම් කාර්යාංශය යන රාජ්‍ය ආයතන තුන එකමුතුවෙන් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් හා පූර්ව ළමා විය සංවර්ධන නිලධාරීන් හරහා පෙරපාසල් – සෞඛ්‍ය ප්‍රවර්ධිත පෙරපාසල් බවට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ලෙසින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

2024 නව වර්ෂය සඳහා ඔබේ දරුවා ඇතුලත් කිරීමට ඔබ සොයන පෙර පාසලද සෞඛ්‍ය ප්‍රවර්ධිත සංකල්පයන් ක්‍රියාත්මක කරවන පෙරපාසලක් දැයි සොයා බැලීමට කටයුතු කරන්න. එසේ නොමැති නම්, දැනටත් ඔබේ දරුවා යවන පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක් බවට පත් කිරීමට පෙර පාසල් ගුරුවරුන් සමග එක්වීම ඉතා වැදගත් වෙනු ඇත.එය මේ රටේ අනාගතය යහපත් කරන්නට, ගුණ නැණ පිරි දරු පිරිසක් දැයට නිර්මාණය කර දෙන්නට මාපිය ඔබ සහ අප සැමගේ වගකීමකි.

ගීත්මා සවින්දි,

සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි,

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,

සෞඛ්‍ය අමාත්‍යාංශය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න