1 වන කොටස

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් නව යෝජනාව නමින් ඉන්දික ඔබේසේකර නමැති සිවිල් පුරවැසියකු කිසියම් කෘතියක් නිර්මාණය කරල තිබෙනවා.
මේ කෘතිය තුළ අන්තර්ගත වී තිබෙන කරුණු අනුව ඇත්තටම ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය බහුතර ප්‍රජාවකට නැතිකම නිසා මෙවැනි කෘතියක අවශ්‍යතාවය දැඩිව තිබෙනවා.
නමුත් එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පත් විය යුතු විචාරාත්මක කරුණු අපමණවත් තිබෙනවා.
ඒ කරුණු කොහොම වෙතත් එවැනි පැති පිළිබඳව අදාළ කතුවරයාගේ අවධානය යොමුනොවීම පිළිබඳ කනගාටුදායක තත්ත්වයක් තියෙනවා.
මේ තත්ත්වය වඩාත් පැහැදිලි වන්නේ ලංකාවේ බහුතරයක් සිවිල් සේවකයින් වන අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන් හදාරා නැති බව තේරුම්ගිය නිසයි.
සිවිල් සේවයේ බොහෝ දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මුල් ලියවිල්ල කියවා නැති බව මේ ලේඛනය සකස් කරන විචාරකයා අවබෝධ කරගත් අවස්ථා අපමණයි.
ඊට එක් උදාහරණයක් වශයෙන් කියන්නේ නම් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයකු වශයෙන් සිටියදී ඔහු යටතේ සේවය කළ එක් ලේකම්වරියක් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්.
ඇය ඉකුත් දිනක ඇය විසින් ලියා තිබෙන පොත් පිළිබඳව කොළඹ මහජන පුස්තකාලයේදී පැවති සංවාදයකදී විචාරක සුමිත් කොඩිතුවක්කු නැගූ ප්‍රශ්නයකදී ඇයට පිළිතුරු ලබාදීමට අසමත් වුණ නිසයි.
ඉන් පසුව දිගින් දිගටම කොඩිතුවක්කු මහතා ප්‍රශ්න කිරීමේදී අවසාන ප්‍රශ්නය වුණේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තිබේද යන්නයි.
ඇගේ පිළිතුර වුණේ නැහැ යන්නයි.
ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැත්නම් ඇය සිය ජීවිත කාලයේදී සිවිල් සේවයේ නියැලු‍නේ කෙසේද?
ලංකාවේ සිවිල් සේවා නිලධාරි තත්ත්වය ඉන් පැහැදිලියි.
ඒ පිළිබඳ දිගු විස්තරයක් ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරින් අරඹයා ඉදිරි විචාරයන් කිරීමේදී විවරණය කිරීම පසුවට තබා ගන්නවා.
මේ නිසා ස්වාධීන පුරවැසියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ලේඛනයක් සැකසීම අගය කළ යුත්තක්.
නමුත් එවැනි ලියවිල්ලකදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු ගණනාවක් තියෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන හිමිකම් හකුළුවා තිබෙන පැති යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් නිර්වචනය කිරිම ඉතාමත් වැදගත්.
ඒ වගේම මැතිවරණ නව යෝජනා අත්‍යවශ්‍යම යුගයක් මේ අප ගෙවමින් ඉන්නේ කියල කිව්වොත් නිවැරදියි.
පසුගිය කාලයේදී සිස්ටම් චේන්ජ් කියල යම් කොළඹ ගාලු‍මෝදර ඇතිවූ සංවාදය ඉන්පසු අරගලයක් කරා ගිය තත්ත්වය ඒ තුළින් මතු වූ දේශපාලන ශාක්ෂරතාවය පිළිබඳව ගැටලු‍ව අනුව පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිවිල් පුරවැසියන් දැනුවත් වීම ඉතාම වැදගත් බවයි.
කොහොමහරිම ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම වඩා නිවැරදිව පුළුල්ව තහවුරු විය යුතු සංවාදය කළ යුතු පැත්තක්.
පරමාධිපත්‍ය ජනතාව සතු බවත් එය අන්සතු කළ නොහැකි බවත් පැවරිය නොහැකි බවත් පාලන බලතල මූලික අයිතිවාසිකම් ඡන්ද බලය ඊට ඇතුළත් බවත් දැනට තිබෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්.
නමුත් යතාර්ථය නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම මේ සියල්ලක් අහිමිකර තිබීමයි.
මැතිවරණයකින් පසු තවත් මැතිවරණ කාලයක් දක්වා මහජනයා නිර්බලවීම ඊට සරල නිදසුනක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්.
මැතිවරණයකින් පසු තවත් මැතිවරණ කාලයක් දක්වා නිර්බල තත්ත්වයක පුරවැසියන් සිටීම තුළ බලයට පත්වන ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ලංකාව කෙළිමඩලක් වෙනවා.
ඔවුන්ගේ සිතුන් පැතුම් හා ඔවුන්ගේ සමාජ පන්තිය රැකගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි වෙනවා.
නමුත් ඒ පිළිබඳ පැහැදිලි සංවාදයක් රට තුළ ඇති වන්නේ නැහැ.
යම් කිසි දේශපාලන පක්ෂයක් යම්කිසි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ විට එය පොරොන්දු කාලය තුළ ඉටු නොවන්නේ නම් ඒ පිරිස පාලන බලයෙන් ඉවත් කිරීමේ නීති දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙලා නැහැ.
ඒ නිසා එවැනි යෝජනා නව කෙටුම්පතක මනාව ශාස්ත්‍රීය ලෙස නෛතික ලෙස විවරණය විය යුතුයි.
සාමාන්‍යයෙන් දියුණු රටවල එවැනි නීති තියෙනවා.
ඒ නිසා කරන්නට බැරි දේවල් කියන්නට එම රටවලදී දේශපාලනඥයින්ට ඉඩක් නැහැ.
නමුත් ලංකාවේ එවැනි සීමාවක් පාදඩ දේශපාලනයට නැති තත්ත්වයක් තුළ ඔවුන් ඔවුන්ගේ සිතුම්පැතුම් අනුව අධිකාරි බලයක් පාවිච්චි කරනවා.
ඒ නිසා ඔවුන් ඕනැම දෙයක් කියන්නට දේශපාලනඥයින්ට හැකියාවක් ලැබිල තියෙනවා.
මේ තත්ත්වය වෙනස් වීමට නම් ලංකාවේ පොරොන්දු ප්‍රකාරව ආණ්ඩුකරණයේ නිරත නොවන්නන් නැවත කැඳවීමට නීති සකස් විය යුතුයි.
පලාත් පාලන ඡන්දය මේ වන විට වසා දමා රනිල් වික්‍රමසිංහ විධායකය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය තවදුරටත් සනාථ කරගැනීම සඳහා පනතක් මගින් කල් දැමීමට ක්‍රියාකරගෙන යන බව තතු දත් ආරංචිමාර්ග තුළින් හෙළිවෙමින් තිබෙනවා.
පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක්.
ඒවා ක්‍රියාත්මක කරන තැන බවට පළාත් පාලන ආයතන පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතුයි.
බලය බෙදාහැරීමක් මනාව ඒ තුළ විවරණය විය යුතුයි.
පොදුවේ ගත්තොත් මේ සියලු‍ කරුණු වලින් ගම්‍ය කරන්නේ ලංකාවේ ඡන්ද ක්‍රමයේ අභ්‍යන්තරව ඇති අසාධාරණකම් පිළිබඳව සියුම් තත්ත්වයක් වැඩිදුරටත් අප තේරුම් ගැනීම ඉතාම වැදගත්.
ලංකාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් සිදුවන්නේ නැහැ.
2016 වර්ෂයේ සිට දෝෂ සහිත සංකීර්ණ මැතිවරණ සහ දේශපාලන පරිපාලනය වඩාත් පැහැදිලිව පෙන්නුම් වෙන්න පටන් ගත්තා.
පාර්ලිමේන්තුවට ආසන වෙන් කිරීම පිළිබඳව එය මනාව ඉටු නොවීම මින් ප්‍රධාන තැනක් ගන්නවා.
කාලයට වෙනස් විය යුතු ස්වෛරී ඡන්ද දායකයන් නියෝජනය කිරීම සඳහා වඩාත් සුදුසු දේශපාලන වෘත්තිකයන් බිහි කරගැනීමේ සැලැස්මක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ පොදු කරුණු අන්තර්ගත විය යුතුයි.
ඒ සඳහා පුරවැසියන් කොටස්කරුන් කළ යුතුයි.
ස්වෛරී ඡන්දදායකයන්ට ඡන්ද ක්‍රමය තේරුම්කරගෙන තම වටිනා ඡන්දය විචක්ෂණශිලීව සලකුණු කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සාමාජික සංස්කෘතික අවබෝධය ලබාදීමේ වැඩපිළිවෙළක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ගැබ් විය යුතුයි.
එවැනි මූලික අඩුපාඩු වෙනත් දුර්වලතා ඇති සියල්ලක් පසුපස හඹාගොස් අධ්‍යයනය කොට තේරුම්ගෙන නව පනත් කෙටුම්පතක් ලිවීමේදී විද්වතුන් විශාරදයින් හෝ සාමාන්‍ය පුරවැසියන් තේරුම්ගත යුත්තක්.
ජාතික සමගිය, සාධාරණත්වය, සහේතුක්තවය, කුසලතාවය, පිරිවැය, සඵලතාව සහ සරල බව මත පදනම්ව මැතිවරණ හා දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ගැබ් විය යුතුයි.
සැබෑ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ඒ තුළින් මතු කරගැනීම ඉතාම වැදගත්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 21(3) වගන්තිය පරිදි විශ්වීය හා සමාන ඡන්දබලය සහිත අව්‍යාජ මැතිවරණ ක්‍රමයකට සම්පූර්ණයෙන් අනුකූල වන පරිදි අදාළ නව යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතක ගැබ් විය යුතුයි.
සිවිල් සංවිධානවලට ඒ සඳහා යම් වගකීමක් පැවරෙන පරිසරයක්ද ඊට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ප්‍රතිපාදන ගොනු විය යුතුයි.
මේ පිළිබඳව ආණ්ඩුව යම් දුරකට පැහැදිලි තේරුම්ගැනීමක සිටිනවා.
මීට පෙර පැවති ආණ්ඩුත් ඒ ගැන උනන්දු වූ අවස්ථාවත් තිබෙනවා.
ඒ නිසා තමයි 2016 ජනවාරි මාසයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන කමිටුවක් පිහිටුවූයේ.
එහි ප්‍රධානියා වුණේ ලාල් විජේනායක.
නමුත් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත්ව මැදිහත් විය යුතු ප්‍රධාන පුද්ගලයා මේ රටේ ප්‍රධානියා වන රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම ඇතිව අදාල කමිටුව පිහිටවනු ලැබුවේ.
නමුත් ඔහු මේ වන විට ඒ පිළිබඳ වචනයක් කතා කරන්නේ නැහැ.
මැතිවරණ කොමිෂන් සභාව සභාපති හා ඔහුගේ නිලධාරින් විසින් 2017 ජූලි මාසයේ මේ පිළිබඳව ලේඛනයක් සකස් කරලා තියෙනවා.
ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කළ නීති විශේෂඥ කමිටුව 2020 නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක වුණා.
මැතිවරණ ප්‍රතිසංස්කණ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව 2021 ජුනි මාසයේදී ක්‍රියාත්මක වුණා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් 2021 ජුනි, ජූලි පැපරල් සංවිධානය 2020, 2021 විවිධ මේ ආදී ලේඛන මැතිවරණ නව ප්‍රතිසංස්කරණ යෝජනා සඳහා ගොනු වුණා.
ඒ කිසිවක් පිළිබඳව වර්තමාන ආණ්ඩුව සැලකිල්ලක් දක්වා නැහැ.
ඒ අනුව පෙනී යන්නේ කුමක්ද?
1948 එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව පුරවැසි ඡන්දයේ සමානාත්මතාවය සහතික කිරීමට සහ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණවලදී ඔවුන්ගේ ජාතික දිස්ත්‍රික් ඡන්ද මත පදනම්ව පමණක් පක්ෂවලට ආසන වෙන් කිරීමෙන් ශ්‍රී ලාංකික බව උද්දීපනය කරගැනීම සඳහා පාලකයින් උනන්දු නොවන පරිසරයක් දැනට තියෙනවා.
මහජන නියෝජිතයන් ලෙස කුසලතා මත පදනම්ව ජනතා එකගත්වය ලැබූ සැබෑ රට පළමු දේශපාලන වෘත්තිකයින් නම් කිරීම සහතික කිරීම සඳහා තරග කරන සියලු‍ම පක්ෂ කණ්ඩායම්වල අයදුම්කරුවන්ට අවම සුදුසුකම් නිර්නායක සහ පොදු ප්‍රමිතිගත ලකුණු ලබාදීමට අදාළ ඉහත විවිධ කමිටුවලින් යොජනා වුණා.
සියලු‍ම දිස්ත්‍රික් ආසන ඡන්ද නාමයෝජනා ලැයිස්තුවල කුසලතා අනුපිළිවෙලින්ම සෑම පුද්ගලයන් 5 දෙනකු අතරට අවම වශයෙන් එක් කාන්තාවක් යෝජනාව වීම.
වයස අවුරුදු 35ට අඩු තරුණ අයෙකු ඇතුළත් වීම.
පාර්ලිමේන්තු පළාත් සභා තුළ කාන්තා හා තරුණ නියෝජනය 20%ක් සුරක්ෂිත කිරීමේ යෝජනා ඉහත කමිටුවලින් විවිධ අයුරින් යෝජනා වුණා.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනකු නම් කිරීමේදී අරමුණු, නිර්නායකයන් පිළිබඳ නිර්වචනය වුණා.
මනාපය සහ මිශ්‍ර ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, අත්‍යවශ්‍ය නම් මධ්‍යම සංචිත යන ශිර්ෂ සහිත දිස්ත්‍රික් ඡන්ද කොට්ඨශ ලැයිස්තු 3 අතරින් ඕනෑම එකක් භාවිතා කරමින් කුසලතා අනුපිළිවෙළින් නව යෝජනා ඉදිරිපත් වුණා.
පස් අවුරුදු පක්ෂ මැතිවරණ ප්‍රකාශන නියාමන යාන්ත්‍රණයකට යටත්ව නඩු පැවරිය හැකි ලේඛන ලෙස සන්නාම ගත කර එය බුද්ධිමත් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීමට අවශ්‍ය මූලික සාධක ලෙස ඡන්ද දායකයාට පිළිගැනීමට අවශ්‍ය බව අදාළ කමිටු හා පුරවැසියන්ගෙන් යෝජනා වුණු අවස්ථා තිබෙනවා.
මේ සඳහා දේශපාලන සමතලා ක්‍රීඩා පිටියක් සහිතක කිරිම සඳහා මූල්‍ය ශක්තියෙන් තොර වඩාත් සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට අවශ්‍ය නිර්මානය හා ඊට අවශ්‍ය පසුබිම උපරිම ලෙස සකස් කිරීමක් පිළිබඳ යෝජනා ගොනු වුණා.
ඒ පිළිබඳව දැනට යම් සහතිකයක් නීතිගත කර තිබෙනවා.
මහමැතිවරණයකදී තම ජාතිය ඡන්ද ප්‍රතිශතය මත පදනම්ව ආසන දිනන පක්ෂවලට කැබිනට් ආසන ලබාදී තිරසාර ජාතික කැබිනට් ක්‍රමයක අවශ්‍යතාවය පෝෂණය කිරිමට යෝජනා වුණා.
දූෂිත ඩීල්වලින් තොර සදාචාරාත්මක සම්මුති වාදී දේශපාලන සංස්කෘතිකයක් සහතික කිරීම සඳහා පැති මාරු විගඩම තහනම් කිරීමේ අවශ්‍යතාවය අදාළ කමිටු හා පුරවැසි යෝජනාවල අන්තර්ගත වුණා.
මෙහිදි ලංකාවේ අධිකරණය ලබාදුන් තීන්දු පිළිබඳව වඩාත් සාකච්ඡා කිරිම සුදුසුයි.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තමයි මේ පැති මාරු කිරීමේ විගඩම සඳහා නෛතික සාධකය ලබාදුන්නේ.
එහිදී තවත් පැනනගින ගැටලු‍වක් තියෙනවා.
ලංකාවේ අගවිනිසුරු පත් කිරීමේ කිසියම් සම්ප්‍රදායක් තියෙනවා.
නීතිපති අගවිනිසුරු ධුරය දක්වා පැමිණීමේ ඉතිහාසයක් ලංකාවේ බොහෝ විට දකින්නට ලැබෙනවා.
නීතිපති තනතුරු යනු රජයට පක්ෂපාතී ලැදියා ඇති තනතුරක්.
ඒ හෙබවූ නීතිපති ධුරය යම් අයෙක් අගවිනිසුරු වූ පසු පෙර ඔහුගේ තනතුර තුළින් පවතින ආණ්ඩුවට තිබුණු ලැදියා නීති උපදේශක මානසිකත්වයෙන් අදාළ අගවිනිසුරුවරයාට මිදීමට හැකියාවක් තිබෙනවාද?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කරන පුරවැසියකු විවරණය කළ යුතු එක් තවත් අන්තර්ගත විය යුතු ප්‍රධාන කරුණක් මේ නීතිපති තනතුර සිට අගවිනිසුරු දක්වා යෑම පිළිබඳව නව ව්‍යවස්ථා කෙටුම්පතක අන්තර්ගත විය යුතු ප්‍රධාන කරුණක්.
ඒ වගේම ව්‍යවස්ථාව සාවද්‍ය ලෙස යොදාගැනීමට හැකි අවස්ථා ඉවත් කෙරෙන යෝජනා මේ කෘතිය තුළින් මනාව විදිමත්ව ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක්.
දැනට තිබෙන ව්‍යවස්ථාවේ හිමිකම් ලබාදී නැවත වසා තිබෙන අංශ විමර්ශනය නොකර තිබීම ඒ පිළිබඳ දැනුවත්විම අවශ්‍ය නම් අපගේ පෙර ලේඛන කියවීමේදී තහවුරු කරගන්න පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාවද්‍ය ලෙස යොදාගැනීම පිළිබඳව කරුණු කීමේදී ජනාධිපතිවරයා එය ව්‍යවස්ථානුකූලව මනාව ඉටු කරගැනීම පිළිබඳව උදාහරණ අප්‍රමාණව තියොනව.
ඉන් එකක් පමණක් දැනට පැහැදිලි කරන්නම්.
ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින අර්බුදය නිරූපණය වන අවස්ථාවන් ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය 2015 සිට දිගින් දිගටම අපට ඇහුණා.
විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදාකයේ සංවාදය ඕනෑම අවස්ථාවක නවතා දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය ලබාදී තිබෙනවා.
ව්‍යවස්ථාදායක යම් කාලසීමාවකට ඒ සංවාදය නවත්වලා ඉන් පසුව දානවා.
එක පැත්තකින් මෙය බරපතල කාරණාවක්.
නමුත් එය ව්‍යවස්ථාව තුළම පවතින තත්ත්වයක්.
මේ නිසා ඒ පිළිබඳව නව කෙටුම්පතක පුළුල්ව පැහැදිලිව විවරණය විය යුතුයි.
විධායක ජනාධිපතිවරයාගෙ අසීමිත බලපරාක්‍රමය පාර්ලිමේන්තු සැසිවාර කල්තැබීම තුළින් පෙන්නුම් කිරීම ප්‍රධාන කරුණක්.
ඒ පිළිබඳව දැනට තිබෙන මේ තත්ත්වය හා වෙනත් සෙසු තත්ත්වයන් පිළිබඳව කතුවරයා සැලකිලිමත් නොවූ බව කෘතිය පරිශීලනය කිරීමේදී පෙනී ගිය කරුණක්.
මේ පිළිබඳව තවදුරටත් පුළුල් සංවාදයක යෙදීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ ගැන තවදුරටත් කරුණු කීමේ හිමිකම දැනට තබාගන්නවා.
යෝජනාවලිය ලියන කතුවරයා ඉහත කමිටු වාර්තාව මනාව අධ්‍යයනය කර තිබුණා නම් වඩාත් හොඳ කෘතියක් නිර්මාණය වීමේ අවකාශය ප්‍රබලය.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න