ලංකාවේ මේ වන විට ඉතාම අන්ත දුගී තත්ත්වයකට රට තල්ලු‍වෙලා තියෙනවා.
ඒ තල්ලු‍වීම දිගින් දිගටම විවිධාකාරයෙන් සමාජගත වීම සිදුවෙනවා.
පුරවැසියාගේ හිමිකම් අහිමි කිරීමට උත්සාහ දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලැබි ඇති හිමිකම් අහිමි වන ලෙස ආණ්ඩුවේ මැරයන් හැසිරවීමේදී සාම නිලධාරින් වන පොලිසිය සිය වගකීම පැහැර හරිනවා.
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ආචාරධර්ම කඩ කිරීමේදී විධායකය හා ආණ්ඩුව නිහඬවීම දිගින් දිගටම සිදුවෙනවා.
මෙවැනි තත්ත්වයක් හමුවේ ලංකාවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටවත් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න විපක්ෂය අසමත් වෙලා තියෙනවා.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වශයෙන් තුන් වැදෑරුම් වෙනවා.
මේ බලකණු තුන මත පිහිටා රාජ්‍යයක පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.
නමුත් එක් බලාධිකාරියකට තවත් බලාධිකාරියකට අභිබවා ක්‍රියා කරන්නට බැහැ.
එක් බලාධිකාරියට අසීමිතව බලය හසුරුවමින් ක්‍රියා කිරීමට ද අවස්ථාව නැහැ.
නමුත් රනිල් වික්‍රමසිංහ රජය යටතේ එවැනි අවස්ථා ක්‍රියාත්මක වන බව දිනෙන් දින වර්ධනය වෙමින් ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
ප්‍රජාතන්තවාදී රාජ්‍ය ව්‍යුහයක එවැනි අසීමාන්තිකව බලය යොදාගැනීම පාලනය කළ යුතුයි.
එම ක්‍රියාවලිය සංවර්නය හා තුළනය කියල අපට හඳුන්වන්න පුළුවන්.
නමුත් එය මනාව ඉටු වෙනවාද?
ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩ ලෙස යම් ප්‍රකාශ නිකුත් කරනවා.
ඇතැම් විට අසමානතා ඇති දේවල් ප්‍රකාශ කරනවා.
එය හුදෙක් ජනාධිපතිවරණ අපේක්ෂාවක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ කොටසක් කියල දකින්න පුළුවන්.
නමුත් ලංකාවේ පුරවැසියන්ගේ හිමිකම් අහිමි කරමින් ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දේවල් ක්‍රියාත්මක වීමට ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.
දැනට ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය පිහිටුවීම පමණක් කල් ඉකුත් වෙමින් තිබෙනවා.
එය හුදෙක් ඇතැම් විට රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ව්‍යාප්තියේ වැඩසටහනක එක් කොටසක් වෙන්න පුළුවන්.
නමුත් අද හෙටම කැබිනට්ටුව පැටවු ගහන්න යන බව දේශපාලන කසුකුසුවක් දේශපාලන ලෝකය කළඹමින් තිබෙනවා.
මෙය දැන් මාස 6කට වැඩි කාලයක සිට දිගු වෙමින් තිබුණි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කැබිනට්ටුව 30 ට වඩා වැඩි කරන්න බැරි බවට තහංචියක් දාන්නට පෙර ඇමැතිවරුන්ගේ ගණන ජනාධිපතිවරයා තීරණය කළේ තමන්ගේ හිතවත්කම අනුව.
කැබිනට්ටුව පත්කර අවසන් වූ පසුව හිටිහැටියේ එය පැටවු ගහන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයාගේ ඕනෑ එපාකම් ඉටුකර ගන්නට කිව්වොත් නිවැරදියි.
ලංකාවේ බොහෝ කරුණු ඉතාම පහත් තත්ත්වයක සිදුවෙන්නේ මේ ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුකාලයේ සිට ඔහුගේ හැසිරීම භාවිතය තුළයි.
යහපාලන ආණ්ඩු කාල සීමාව තුළ සිදු වූ සුවිශේෂී දෙයක් මෙහිදී මතක් කරන්නට පුළුවන්.
විශ්වාස භංග යෝජනා එදා යහපාලන ආණ්ඩුවට දිගින් දිගටම ගෙන ආවේ කවුද?
මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය නියෝජනය කළ බහුතරයක් විසින්.
නමුත් ඒ විශ්වාසභංග යෝජනා සියල්ල දිගු වුණේ යම් කිසි ක්‍රියාදාමයකට අනුව ද යන්න පැහැදිලි වන්නේ ඒ හැම විශ්වාසභංග යෝජනාවක්ම ජයග්‍රහණය කිරීමට අසමත්වීම තුළයි.
මෙය මහින්ද රනිල්ගේ ගේමක් එදා වුණාද කියන එක දැන් පැහැදිලි වන සත්‍යයක්.
කොහොම වෙතත් ලංකාවේ සංවරණ හා තුළන ක්‍රියාවලිය යොදවාලීම සඳහා භාවිතා කෙරෙන ප්‍රධානතම මෙවලම දෝෂාභියෝගයයි.
විශ්වාසභංග යෝජනාවක් එනම් දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ආණ්ඩුව ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා තිබෙනවා.
මේ ප්‍රතිපාදන වර්තමාන විපක්ෂය ප්‍රයෝජනයට ගන්නවද?
මේ වන විට ආණ්ඩුව ජනාධිපතිවරයා සිය ආචාරධර්ම කඩ කිරීමේදී විධායකය හා සමස්ත ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.
ප්‍රාථමික පන්තියේ සිට උසස් පෙළ දක්වා නිදහස් අධ්‍යාපනය අහිමි වන ලෙස ආණ්ඩුවේ හැසිරිම හා භාවිතය.
ඊළගට ප්‍රාථමික පංතිවල දරුවන්ගේ වැඩපොත ලබාදීමටවත් මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා.
එහෙම තියෙද්දී ජනාධිපතිවරයා වැඩවසම් සමාජය ක්‍රම දියත් කෙරෙන බෞද්ධ මහනායක හිමිවරුන් හමුවේ කියා සිටින්නේ කුමක්ද?
බෞද්ධ හිමිවරුන් සඳහා බෞද්ධ විශ්වවිද්‍යාලයක් අලු‍තින් බිහි කිරීමට අදහස් කරන බවයි.
එය හුදෙක් ඇතැම් විට ප්‍රලාපයක් වෙන්න පුළුවන්.
නමුත් සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනයම විශ්වවිද්‍යාල පද්ධතියම හාන්සිවෙලා කියලා ප්‍රකාශයට පත් වෙලා තිබෙන මොහොතක විශ්වවිද්‍යාලයක් සඳහා ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කිරීම තුළ එහි අන්තර්ගතය කුමක්ද?
බෞද්ධකම විකුණාගැනීම සඳහා මහනායක හිමිවරුන්ගේ හා රටපුරා ඇති විහාරස්ථානවල අනුග්‍රහය දායකත්වය ලබාගැනීම සඳහා නොවේද?
දේශපාලන වේදිකාවල පසුගිය කාලය තුළ ප්‍රධාන මාතෘකාව වුණේ පළාත් පාලන මැතිවරණය.
සෑම දේශපාලන පක්ෂයක්ම තරගයට මෙන් මැතිවරණ ක්‍රියාකාරකම්වල නියැලු‍ණා.
නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ අවස්ථාවේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
එය හුදෙක් ජනාධිපතිවරයාගේ නායකත්වය ඇති එක්සත් ජාතික පක්ෂයට ලබාදී තිබෙන උපදෙස් නිසා වෙන්න පුළුවන්.
කොහොම වුණත් ලංකාවේ පාසල් පද්ධතියේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන්ට ලබාදෙන දිවා ආහාරය නැවතිලා තියෙනවා.
තණමල්විල යනු ඉතාම දුෂ්කර කර්කෂ ප්‍රදේශයක්.
ඒ ප්‍රදේශය තුළ ප්‍රාථමික පාසල් 43 න් 36කම දිවා ආහාර නැවතුණේ 2023 ජනවාරි මුල් සතිය තුළමයි.
දිළිඳු දුවාදරුවන්ගේ ඉරණම පැහැදිලිව සටහන් වන එවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවේ ප්‍රලාප දිගුවෙමින් තිබෙනවා.
ඇතැම් විට දිවා ආහාරය ලබාදෙන නිසාම පාසල් එන දරුවන් රට පුරා ඉන්නවා.
ඊට හේතුව ආර්ථික අර්බුදය හමුවේ පවුල් සංස්ථාවල විශේෂ ග්‍රාමීය පවුල්වල දරුවන්ට එදා වේල තුන් වේලා ලබාගැනීමට ගෙදරින් අවකාශ නැති නිසයි.
වේලෙන් වේලට අලු‍ත් වන බඩගින්න නිවා දැමීමට තරම් සවිමත් ආර්ථිකයක් මේ රටේ ග්‍රාමීය දෙමව්පියන්ට නැහැ.
එය නාගරික ද සුළු පිරිසක් හැරුණු කොට බහුතරයක් සිය දරුවන්ගේ බඩගින්න නිවා දැමීමට තරම් ආර්ථික යක් දෙමවුපියන්ට නැහැ.
රන් බඳුන්වල රජබොජුන වළඳන උරුමය අහිමි වී ඇති මේ දරුවන්ගේ තත්ත්වය සලකා විපක්ෂය ක්‍රියාශීලී මෙහෙවරක් කළ යුතු නොවේද?
දරුවෙකුට ආහාරවේලක් රස මසවුළෙන් ලැබීම ඔවුන්ගේ ප්‍රාර්ථනයයි.
2023 අවුරුද්දේ අලු‍ත් පන්තියට පැමිණි දරුවන්ගේ ප්‍රාර්ථනය වුණෙත් දිවා ආහාරය පාසලෙන් ලබාගැනීමයි.
නමුත් නොකඩවා තමන්ට දිවා ආහාරය නොලැබෙන තත්ත්වයක් හමුවේ දැන් මතුවී ඇති අලු‍ත්ම තත්ත්වය නම් පාසල් සැරිය අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා දෙමව්පියන්ට දණ්ඩනය ලබාදීමයි.
එනම් පාසල් සැරිය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් එයින් කොටසක් දෙමාපියන් දැරිය යුතු බව බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යවරයාගේ අලු‍ත්ම තත්ත්වය වෙලා තිබෙනවා.
දරුවන්ගේ සියලු‍ම සිහින ගලක හැපුණු වීදුරු පාත්‍රයක් මෙන් සුණු විසුණු කරල තියෙන්නේ විධායකය හා ආණ්ඩු පක්ෂය.
එසේ නම් එවැනි පරිසරයක් තුළ විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?
ඒ සඳහා ක්‍රියා කළ යුත්තේ විපක්ෂය කෙසේද?
මේ සියල්ලට වඩා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නෛතික බලය මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු හිමිකම අහිමි කරමින් ජනාධිපතිවරයාගේ හැසිරීම හා භාවිතය ප්‍රයෝජනයට ගෙන දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හිමිකම විපක්ෂයට පහසුවෙන් තියෙනවා.
නමුත් දෝෂාභියෝගයක් යන්න 38(2) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා තිබුණත් එය තරමක් දීර්ඝ වූත් වෙහෙසකර ක්‍රියාවලියක් බව අප දන්නා කරුණක්.
දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයකු ඉවත් කළ අවස්ථාවක් ලංකා ඉතිහාසයේ දැනට පෙන්නුම් වන්නේ නැහැ.
නමුත් දෝෂාභියෝග යෝජනාවක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී ඉදිරිපත් වුණා.
ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට හැකි අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා.
ජනාධිපතිවරයා මානසික සහ ශාරීරික දුබලතා හේතුකොටගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) උප වගන්තියේ සඳහන් ආකාරයට චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, රාජ්‍ය දෙ‍රාහීවිම, අල්ලස් ගැනීම ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිතා කිරීම, යම් නීතියක් යටතේ චරිත දූෂණය සම්බන්ධයෙන් වරදක් සිදු කිරීම යනාදී කරුණු සඳහන් වෙනවා.
මේ සියල්ල නොවුණත් බොහෝ කරුණු වර්තමාන ජනාධිපතිවරයාට අදාළයි.
ඒ සඳහා දෝෂාභියෝගයක් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම මූලික න්‍යාය ප්‍රායෝගිත්වය වර්ධනය කරගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දැන් පිහිටුවා තිබෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයටයි.
වරදක් සිදු කර ඇති විට පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොවැඩි පිරිසක් අත්සන් කොට එම යෝජනාව කථානායකවරයාට භාරදීමේ අවකාශය ගවේෂණාත්මකව විපක්ෂය ක්‍රියාත්මක කරනවානම් එය සිදු කරන්න පුළුවන්.
හේතුව වර්තමාන ආණ්ඩුව පිළිබඳව හදවතින් කනගාටුව ප්‍රකාශ කරන ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු අපමණවත් ඉන්නවා.
එය මනාව තේරුම්ගෙන ප්‍රයෝජනයට ගෙන කාලීනව ක්‍රියා කිරීම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල වගකීමක්.
එවැනි අවස්ථාවක කථානායකවරයා එවැනි දෝෂාභියෝග යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම අනිවාර්යයෙන් සිදු වෙනවා.
එහිදී ලංකාවේ විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ යම් ගැටලු‍වක් තිබෙනවාද?
නැත්නම් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ නොහැකියාවක් තිබෙනවාද?
සරල බහුතරයක් අත්සන් කර ඇති විටකදී නම් කථානායකවරයාට යම් අභිමතයක් පවතිනවා.
එනම් එකී චෝදනා සඳහා පදනමක් පවතිනවා යන්න පිළිබඳව කථානායකවරයා සලකා බැලීමයි.
නමුත් ලංකා ඉතිහාසයේ කථානායකවරුන්ගේ හැසිරීම පිළිබඳ සැලකා බැලීමේදී ලංකාවේ කථානායකවරු පිළිබඳ විශ්වාස කළ නොහැකි තත්ත්වයක් පෙන්නුම් වන අවස්ථා තිබෙනවා.
කවරකාරයකින් වූවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම යෝජනාව ඉදිරිපත් වූ විට නඩු විභාගයක් පැවැත්වෙනවා.
යම් හෙයකින් ජනාධිපතිවරයාට තවදුරටත් ධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට ඒ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලබනවා.
නමුත් එවැනි වාසනාවන්ත තත්ත්වයක් ලංකාවේ ජනාධිපතිවරුන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වූ හා ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළ අවස්ථා ඉතිහාසයේ අපට දකින්නට ලැබෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුව විසින් නැවත තුනෙන් දෙකක ඡන්දයකින් එම යෝජනාව සම්මත කරගත යුතුයි.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ දෝෂාභියෝග යෝජනාවක් කථනායකවරයාට බාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වීමයි.
නමුත් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිමේ බලය ජනාධිපතිවරයා සතුයි.
මේ මොහොත වන විට ලංකාවේ ඕන තරම් ජනාධිපතිවරයා සිය ධුරයට නුසුදුසු කියා අප්‍රමාණව සිදු කරලා තියෙනවා.
නිදහස් සෞඛ්‍ය සේවය පුරවැසියන්ට විධිමත්ව නොලැබීම.
බෙහෙත් ද්‍රව්‍ය මිල ඉහළ ගණන්වලින් ප්‍රජාව සූරාකෑමේදී පාරිභෝගික අධිකාරිය සිය රාජකාරිය සිදුකිරීමට අසමත් වීම.
ජීවන මාර්ග පුරවැසියන්ට අහිමි වීම, ආර්ථිකය බිඳ වැටීම දිගින් දිගටම වර්ධනය වීම.
නමුත් ඩොලර්යේ මිල රුපියල් 280, 290 දක්වා මේ වන විට පහළ ගිහිල්ල තියෙනවා.
පාරිභෝගික ද්‍රව්‍ය මිල පහළ බැස්සවීම සඳහා විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට කළමනාකරණ ප්‍රතිපත්ති සැකසීමට නොහැකියාව නිසා අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳින මේ රටේ පොදු ජනතාව.
විදේශීය කිරිපිටි රුපියල් 200කින් බැස්සවීමේදී ලංකාවේ ස්වදේශීය කර්මාන්තවල නිපදවෙන කිරිපිටි මිල පහත හෙළීමට අසමත්වීම තුළින් මේ රටේ ස්වදේශීය කර්මාන්ත කෙරෙහි වෛරී සහගත තත්ත්වයක් වර්ධනය කරන සුළු තත්ත්වයක් දැන් දියත් වෙමින් තිබෙනවා.
වෙළෙඳ අමාත්‍යවරයාට මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කර කිසියම් කළමනාකරණ සැලැස්මක් දියත් කරන්න පුළුවන්.
ඩොලරයේ මිල පහළ බහින විට ස්වදේශීය කර්මාන්තවල නිෂ්පාදන පාරිභෝගික ද්‍රව්‍ය අඩු කිරිම සඳහා මනා කළමනාකරණ ශක්තියක් වෙළෙඳ අමාත්‍යවරයා සතුව නැතිවීම ඇත්තටම ගැටලු‍ සහගත තත්ත්වයක්.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් කිරීමෙන් පුරවැසියන්ගේ අන්තර්ජාතික අනන්‍යතාවය මේ වන විට රනිල් වික්‍රමසිංහ ඇතූළු ආණ්ඩුව අහිමි කරල තියෙනවා.
නමුත් මෙහිදී වැදගත්ම කරුණක් තියෙනවා.
විදේශීය වීසා දඩය 50%කින් රජය අඩු කරල තියෙනවා.
වීසා බලපත්‍රකාලය අවසන් වන විදේශිකයන්ගෙන් මෙතෙක් අය කරන ලද ඩොලර් 500ක දඩය ඩොලර් 250 දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය මේ වන විට තීරණය කර අවසන්.
මේ තීරණය ගෙන ඇත්තේ එම දඩ මුදල සම්බන්ධයෙන් විදේශිකයන්ගෙන් ලැබී තිබෙන පැමිණිලි අනුවයි.
නමුත් මේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධව කොතෙකුත් ජනමාධ්‍ය හරහා සාකච්ඡාවට බඳුන් වූවත් පැමිණිලි පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කළත් ප්‍රජාවගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියා කිරිමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව අසමත් වි තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරල අනුමැතිය අරන් ඉවරයි.
වීසා කාලය අවසන් වීමෙන් පැයකට පසුව වූවත් සංචාරකයින් මෙම දඩයට යටත් වන අතර එය ඉතාම අසාධාරණයක් බව අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ වී තිබෙනවා.
නමුත් ස්වදේශිකයින්ගේ තත්ත්වය කුමක්ද?
ස්වදේශිකයින්ගේ බදු බර කොපමණද?
ලංකාවේ ස්වදේශික ජීවන තත්ත්වය දරාගන්නට නොහැකි වන ලෙස බදු බර 300%කින් වර්ධනය කරල තියෙනවා.
එය පාරිභෝගික ද්‍රව්‍ය දක්වා දිගු වෙලා තිබෙනවා.
මේ අතර ආයෝජන කලාපයෙන් බැහැර ප්‍රදේශවල නව ආයෝජන කර්මාන්ත ඉදිකිරීමට ආණ්ඩුව නීති පනවල තියෙනවා.
එය ඉතාම මෝඩ ක්‍රියාවක් බව දූපතක් වැනි අපේ ලංකාව තුළ ආයෝජන සීමා කිරීමෙන් ආණ්ඩුවේ ප්‍රඥාව පිළිබඳව පැහැදිලි වන සත්‍යයක්.
නමුත් මේ රටේ ආයෝජකයින්ට පහරදුන් මන්ත්‍රී ඇමති සගයන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට විධායකය අසමත් වී තිබෙනවා.
මේ තත්ත්වය අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරය වීම නිසා ඉදිරි කාලයේදී මේ රටට ආයෝජන සඳහා දිගුවෙන අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රජාවගේ සිමිත බවක් වර්ධනය වීම නිසා අනාගත ශ්‍රී ලංකා පුරවැසියන්ගේ හිමිකම් අහිමිවන
සමාජ පරිසරයක් වර්ධනය වී තිබෙනවා.
ආර්ථික සාමාජික සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදී සමස්ත හිමිකම් අහිමි වන ලෙස විධායකය හා ආණ්ඩුපක්ෂයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය මේ වන තෙක් සැලසුම් නොකිරිම තුළින් පැන නගින කරුණු ගණනාවක් තිබෙනවා.
මෙහි ප්‍රධානම කරුණ පළාත් පාලන මැතිවරණය කල් ඉකුත් කිරිම වෙන්න පුළුවන්.
කොහොම වෙතත් ජනාධිපතිට ඕන විදියට කැබිනට්ටුව පැටව් ගහන තත්ත්වය වැඩි ඈතක නොවේ.
ඒ නිසා මේ රටේ විපක්ෂය කාලීනව අවධියෙන් සිටිය යුතු මොහොතක අපි පසුවෙනවා.
දෝෂාභියෝගියක් පිළිබඳව ආණ්ඩුවට හා විධායකයට එරෙහිව ඉදිරිපත් කිරීමේ කාර්යක්ෂම හැකියාව විපක්ෂයට ලැබේවා යැයි අපි ප්‍රාර්ථනය කරමු.
තවදුරටත් මේ පිළිබඳ ඉදිරි ලේඛනවලින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න