ලංකාවේ ජීවය යෞවන හා ළමා පරපුරයි කිව්වොත් වඩා නිවැරදියි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉටු කිරීම මැයි මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් ඒ කාර්යභාරය පසුගාමී පරිසරයකට මේ වන විට තල්ලු‍ වෙලා තියෙනවා.
අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ හා නව ප්‍රවණතා හඳුනාගන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව.
අධ්‍යාපන කොමිෂන් සභාව මෙතෙක් පැවතියේ පවතින විධායකය යටතේ.
මෑතකදි අධ්‍යාපන අමාත්‍යංශය ජනාධිපතිවරයාගෙන් ගලවාගෙන අධ්‍යාපන අමාත්‍යංශයට ගොනුකරගෙන තිබෙනවා.
මේ තොරතුරු ලේඛනය ලියන විට අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සොයාබැලීමේදී හෙළි වූයේ ඔහු විදේශගතව සිටින බවයි.
ලංකාවේ අධ්‍යාපන කොමිසම සිය කාර්යභාරය ඉටු කිරීම සඳහා එහි ප්‍රධානියා දීර්ඝ කාලීන විදේශගතවීමක් සිදුවන්නේ නම් අධ්‍යාපනයේ ගුණාත්මක වටිනාකම හා ඉදිරි දැක්ම කොයිබටද කියල ප්‍රශ්නයක් මතුවෙනවා.
ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක මැදිහත්වීම තුළින් නිපුනතා පාදක ඉගෙනුමක් මේ රටට අවශ්‍ය යුගයක්.
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති නව ඇගයුම් සඳහා රජය පසුගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එබඳු රටකට අත්විය හැකි ඉරණම කුමක්ද?
අධ්‍යාපන අන්තර්ගතය අනුව ශිෂ්‍ය බාහිර ඇගයිම් යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිගු වෙලා තියෙනවා.
ගුරුවරයා පාසල් පද්ධතිය තුළ ඒ සඳහා පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේදයක් ද ජාතික අධ්‍යාපන ආයතනය සකස් කරල තියෙනව කියල තමයි ආරංචිය.
ගුරුවරයා කොහොමද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ විභාගයට මුහුණ දෙන දරුවන්ට ලකුණු ලබාදෙන්නේ.
මොකද මේ මොහොත වන විටත් රජයේ පාසල්වල ගුරුවරුන් තම තමන්ට අදාළ ටියුෂන් න්‍යාය පත්‍ර සකස් කරගෙන තිබෙනවා.
ඒ න්‍යාය පත්‍ර අනුව දරුවකුට යම් අසාධාරණයක් සිදුවන්න පුළුවන්ද?
ඒ පිළිබඳ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමෙන්තුව, ජාතික අධ්‍යාපන කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් සහගත, න්‍යායාත්මක හා නෛතික වැඩපිළිවෙළක් ඔවුන් සතුද?
ඒ පිළිබඳ තොරතුරු අප මේ වන විට අදාළ ආයතනවලින් විමසමින් ඉන්නවා.
ඒ නිසා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නත් එය නියාමනය කරන්නත් පටන් ගන්න ඕන.
නමුත් 2023 මැයි මාසයෙන් ආරම්භ කිරීමට තිබුණු ක්‍රියාත්මක වීම පස්සට තල්ලු‍ වෙලා තියෙනවා.
ඒ නිසා සවිංඥානාත්මක බලගැන්වීමේ අධ්‍යාපන නිපුණතා සංවර්ධනය පසුගාමී වෙලා තිබෙනවා.
ගඟක්, ඇලක්, වනාන්තරයක් කඳුවැටියක්, මුහුදු වෙරළක් හෝ ඓතිහාසික දරුවාගේ පරිසරය තුළ භෞතික මූලාශ්‍රවල ජීවන ශක්තිය කුළුගැන්වෙන අධ්‍යාපනයක් එවැනි පද්ධතියක් දැනට ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
එහෙම නම් තුළනාත්මක ශාස්ත්‍රීය සම්බන්ධීකරණය තුළින් ගුරු දෙගුරු ශිෂ්‍ය සමෝදානාත්මක කිරීමේ අධ්‍යාපන සැලැස්මක් ලංකාවට අවශ්‍ය නොවේද?
දැනුම ප්‍රවර්ධනය, සාකච්ඡා, සම්මන්ත්‍රණ, වාද විවාද, ප්‍රදර්ශන, පාසල් බිත්ති සඟරා, පුවත්පත් නිර්මාණ තුළින් දරුවන්ගේ නිපුණතා මතු කරන්න පුළුවන්.
ඒ සඳහා පූර්ව සැලසුමකින් යුතුව කෞතුකාගාර, විද්‍යාත්මක අධ්‍යාපන චාරිකා සංවිධානය, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හා ස්මාරක පිළිබඳ සොයා බැලීම එය හුදෙක් චාරිකාවක් නොවන ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක මුහුණුවරින් ළමයින් ඒ සඳහා යොමු කිරිම පාසල් අධ්‍යාපනය තුළින් මතු විය යුතු කරුණු.
එවැනි තත්ත්වයක් නැති රටාව තුළ දැනුම මනාව පාසල් අධ්‍යාපනය තුළ කිඳා බැස ක්‍රියාත්මක වෙන්නෙ.
එවැනි විධිමත් හරයාත්මක ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳ ගවේෂණාත්මය පදනම් කරගත් අධ්‍යාපන පද්ධතියක අවශ්‍යතාවය මනාව රටට මේ වන විට දැනෙන සුළුයි.
නිපුණතා ගොඩනැගීමට හැකිවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරින් අවධානය යොමු කරනවාද?
නමුත් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ එහි බලධාරින් බහුතරයක් සිය තනතුරු හා තනතුරු වටා බලය රැකගැනීමේ ක්‍රියාදාමයක මේ මොහොත වන විට යෙදී ඉන්නවා.
පරිපාලන අධ්‍යාපන සේවය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් යන සාධකය මතය බහිරවයන් සේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ ඊට අදාළ සෙසු අමාත්‍යංශවල හා ආයතනවල පැල්බැඳගෙන ඉන්නා මේ නිලධාරි පැලැන්තිය නිසා ලංකාවේ අධ්‍යාපනය සුනඛ තත්ත්වයට තල්ලු‍ වී තිබෙනවා.
ඒ පිළිබඳ පුළුල් විවරණයක් පසුවට හෙළි කිරීමේ හිමිකම ලියුම්කරු දැනට තබාගන්නවා.
කොහොම වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාව නංවන්නට නම් ලංකාවේ සමස්ථ ගුරුවරුන්ට වගේම විදුහල්පතිවරුන්ට ද මනා පුහුණුවක් ලබාදිය යුතුයි.
ඒ සඳහා පුහුණු පාඨමාලා හා විභාග ක්‍රමය පවා සම්පූර්ණයෙන් වෙනස් වන පරිවර්තනය තුළ විධිමත් වැඩසටහන් සකස් විය යුතුයි.
අධ්‍යාපන අමාත්‍යංශය විභාග දෙපාර්තමේන්තුව, විද්‍යාපීඨ වෙනත් අධ්‍යාපන ආයතන හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඒ සඳහා උර දිය යුතුයි.
ඈත අතීතයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්තිවල සිට අපේ පන්ති කාමරවල බහුලව ක්‍රියාත්මක වූ සම්ප්‍රදායික සම්ප්‍රේෂණ භූමිකාව පසුකාලීනව හඳුන්වාදෙනු ලැබූ ගනුදෙනු භූමිකාව වර්තමාන පන්තිකාමර තුළ තවමත් කැපී පෙනෙන සුළුයි.
පාසල් හැර යන දරු දැරියන්ගේ චින්තන කුසලතා, පුද්ගල කුසලතා හා සමාජ කුසලතාවල අද දක්නට ලැබෙන්නේ පිහිරීම පිළිබඳ සමාජ ලක්ෂණ.
ඒවා විධිමත්ව හඳුනාගැනීමේ ක්‍රියා පටිපාටියක් රට තුළ තිබුණා නම් මේ වන විට ශ්‍රී ලංකා සමාජය අවිධිමත් තත්ත්වයකට තල්ලු‍ වෙන්නේ නැහැ.
ලංකාව ලෝකයත් එක්ක තරග කරන්න බැරි තත්ත්වයකට අපි පත්වෙලා තියෙනවා.
ඊට ප්‍රධාන හේතුව ඉංග්‍රීසි අධ්‍යාපනය අපට මනාව විධිමත්ව නොලැබීම.
ශිෂ්‍යයා දක්ෂ මොන අංශයට කියල හඳුනාගන්න බැරි අධ්‍යාපන රටාවක් දැනට පාසල් ශිෂ්‍යයා තුළ ආත්මගත වෙලා තිබෙනවා.
දරුවා කැමති සහ වැඩියෙන්ම දක්ෂ විෂයන් තෝරාගැනීම සඳහා අදාළ පාසල්වල ඒ සඳහා ගුරුභවතුන් නැති කම තවත් එක් ප්‍රශ්නයක්.
අද කලා වානිජ විද්‍යා ගණිත වගේ අංශයන්ට ශිෂ්‍යයන් වෙන් කරන්නේ සාමාන්‍යපෙළ විභාගය නිසා.
6 වසරේ ඉඳලා විෂයයන් ගණනාවක් උගන්වලා සාමාන්‍ය පෙළ විභාගයටත් විභාගවත් නැතිව කොහොමද මේ බෙදීම එකපාරම කරන්නේ කියල තේරුම්ගැනීම අද දවසේ ඉතාම වැදගත් කරුණක්.
ගුරුවරයා පංති කාමරය තුළ ඇති කරගන්නා දෙබස සම්ප්‍රදායික ගුරු භූමිකාවේ ආරම්භක අවස්ථාවයි.
ගුරුවරයාගෙන් සිසුන්ට හා සිසුන්ගෙන් ගුරුවරයාට ගලා යන අදහස්වලට අමතරව සිසුවියන් අන්තර් ක්‍රියාද පසුව ඇතිවීම නිසා මේ සංවාද දෙබස විධිමත් ශ්‍රාස්ත්‍රීය සංවාදයකට පරිවර්තනය කිරීමේ භූමිකාවක් ගුරුවරයාට ආත්මගත කළ යුත්තේ ජාතික අධ්‍යාපන ආයතනය හා ඊට අදාළ සෙසු ආයතන මගින්.
දන්නා දෙයින් නොදන්නා දෙයට සරල දෙයින් සංකීර්ණ දෙයටත් සංයුක්ත දෙයින් වියුක්ත දෙයටත් සිසුන් ගෙන යෑම සඳහා ගුරුවරයා දිගින් දිගටම සංවාදශීලී සාකච්ඡා මණ්ඩප පන්ති කාමරයේ ගොඩනැගෙන වේදිකා සකස් කිරීමෙන් මාවතක් දිගු වෙන්න අවශ්‍යයි.
සම්ප්‍රේෂණ ගුරු භූමිකාවේදී සිසුන් උගත යුතු සියල්ල දන්නා අයකු ලෙස ගුරුවරයා පිළිගැනෙනවා.
සිසුන් ඒ කිසිවක් නොදන්නා අය ලෙස සලකා ඔවුන් වෙත දැනුම සම්ප්‍රේෂණය කිරීම ගුරු කාර්යභාරයට අද පත් වී තිබෙනවා.
ගුරුවරයාගෙන් සිසුනට දැනුම ගලා යෑමට පමණක් සීමා වන දේශන මුහුණුවරක් ගන්නා දැනට පවතින ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිසු චින්තනය අවදි කිරීමට හෝ සිසුන්ගේ පෞද්ගලික හා සමාජ කුසලතා සංවර්ධනය කිරීමට ප්‍රමාණවත්ව දැනට දායක වෙන්නේ නැහැ.
නිපුණතා පාදක අධ්‍යාපනයේදී ශිෂ්‍ය කාර්යයන් ප්‍රබල ස්ථානයක් ගන්නා බව ඔබ දන්නා කරුණක්.
සැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඒ ඒ නිපුණතාව සම්බන්ධ අඩු තරමින් ආසන්න ප්‍රවීණතාවයට හෝ ගෙන යාමට මැදිහත් වන සම්පත් දායකයකුගේ තත්ත්වයට ගුරුවරයා පත්වීම අවශ්‍යයි.
ඉගෙනුමට අවශ්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් සැලසුම් කිරීමට මෙතෙක් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සකස් වෙලා නැහැ.
එය කනගාටුවට කරුණක්.
සිසුන් ඉගෙන ගන්නා අයුරු සමීපව නිරීක්ෂණය කිරිම ශිෂ්‍ය හැකියාව හා නොහැකියාව හඳුනාගැනීම මෙහිදී ඉතාම වැදගත්.
අවශ්‍ය ඉදිරි පෝෂණය හා ප්‍රතිපෝෂණය අධ්‍යාපනය තුළින් ලබාදීම ගුරුවරයාගේ ගුරු භූමිකාවයි.
නමුත් දැනට ගුරුවරයා බොහෝ විට සිදු කරන්නේ සම්ප්‍රදායික දේශන රටාවක්.
ඉගෙනුම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම පන්ති කාමරයෙන් බැහැරට ඉගෙනුම් හා ඉගැන්වීම් දීර්ඝ කිරීම සඳහා ඇගයීම් උපකරණ සකස් කිරීම ඒ සඳහා අධ්‍යාපන බලධාරින් ඊට අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාම වැදගත්.
මේ නිසා ගුරු භූමිකාව පරිනාමය කළ යුතු විකල්ප මාවත් සොයාගත යුතු තත්ත්වයක අද පසුවෙනවා.
අද වන විට අලු‍ත් අධ්‍යාපන ක්‍රමවේදය යටතේ මොනවද දරුවකුගේ යහපත් සමාජ ගුණාංග කියලා ඔවුනොවුන්ට ආත්මගත වන රටාවක් තිබෙනවාද?
එහෙම තිබෙනවා නම් කනගාටුදායක සිද්ධීන් පාසල් පද්ධතිවලින් දිගින් දිගටම වාර්තා වෙන්න පුළුවන්ද?
මැතකදී සිදු වූ කළුතර සිද්ධිය අවාසනාවන්ත සිදුවීම්වලට ආසන්නම උදාහරණයක්.
සදාචාර සම්පන්න ගුණගරුක මිනිසෙක් බිහි කිරිමට ලංකාවේ අධ්‍යාපනය අසමත් වී තිබෙන බවට එය හොඳ සාධකයක් නොවන්නේද?
ඒ නිසා විස්තරාත්මක විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත හැකි ක්‍රියාකාරකම් තේරුම්ගැනීම අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක්.
සෑම ක්‍රියාකාරකමක්ම අඩු තරමින් පියවර කීපයකින් ගොනුවෙන්න අවශ්‍යයි.
ඉගෙනුමට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරන ඒ සඳහා මැදිහත්වන සියලු‍ උවමනාවන් වෙනුවෙන් නැත්නම් සමස්තය වෙනුවෙන් දරු දැරියන්ට ඒ සඳහා උරුම කිරීමට අධ්‍යාපන බලධාරින් පළමුව සිය මූලධර්මය බවට පත් කර ගත යුතුයි.
ගුරුවරයා අධ්‍යාපන ගනුදෙනු භූමිකාවේ ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් සිසුන් සමඟ දෙබසකට පාසල් මූලාශ්‍රවල මුල පුරන්න ඉතාම වැදගත්.
පසුව සංවාදයකට පරිවර්තනය වන දෙබස යටතේ ගුරුවරයාගේත් ශිෂ්‍යාගේත් ගවේශනාත්මක සංවර්ධන මාවත මූලික නිපුනතාවය කරගත් දැනුම සිහිපත් කරන ක්‍රියාකාරකම් පෙළක් පිළිබඳ ඉඟි ලබාදෙන මාවත් ඒ දෙබස තුළින් දෙපාර්ශ්වයෙන්ම ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම ඇති කිරීම අධ්‍යාපන විශේෂඥයින්ගේ ප්‍රධාන භූමිකාවක්.
එය හුදෙක් ප්‍රහේලිකා හෝ සිද්ධි ඉතිහාසයට පමණක් සීමා නොවිය යුතුයි.
එය බොහෝ විට දෙබස් භූමිකා රංගන කවි ගීත හා සංදර්ශන ශ්‍රව්‍ය දෘෂ්‍ය පට යොදාගැනීම තුලින් අදාළ උපක්‍රමික මාවත් ගොඩනගා ගන්න පුළුවන්.
ඒ තුළින් අධ්‍යාපනයේ මනා අරමුණු හා ක්‍රියාකාරකම් නිරවුල්ව හා ප්‍රිය මනාපව බිහි කරගන්න පහසුවෙන් පුළුවන්.
එවැනි සමාජ වටපිටාවකට අපේ අධ්‍යාපන බලධාරින් මේ වන විට සූදානම් ද?
සූදානම් නම් ඒ සඳහා මෙතෙක් කර ඇති ක්‍රියාකාරකම් කවරේද?
ඒ පිළිබඳව තිබෙන ව්‍යාකූලතා හඳුනාගැනීම සඳහා පූර්ව සමීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යංශය වහාම දියත් කළ යුතුයි.
පාසල් අධ්‍යාපනය තුළ සාකච්ඡා කරන අධ්‍යාපන විචාර සංකල්ප පිළිබඳ තරගකාරී සමාජ මානසිකත්වයක් ගොඩනැගීමේ පසුබිම ඇතිවන පරිසරයක් අධ්‍යාපන බලධාරින්ගේ මැදිහත්වීමෙන් මතු කළ යුතුය.
එය නිරවුල් අවබෝධයක් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මූලික නිමිත්තක් විය හැකියි.
අධ්‍යාපන මනා සංදර්භයක පිහිටුවමින් ව්‍යක්තව ඒ පිළිබඳ අවශ්‍ය මූලික අනන්‍යතා පෙළ ගැස්වීම ඉතාම වැදගත්.
ව්‍යාජ අධ්‍යාපනය නොව ඉතිහාසයේ වීරයන් පුම්බාලීමට මහන්සි දරන අධ්‍යාපනයක් නොව පාසල් පද්ධතිය තුළ නැවත නැවත සාකච්ඡා කරන න්‍යායික සංකල්ප අභිබවා ප්‍රායෝගික විශ්ලේෂණාත්මක පොහොසත් විකල්ප අධ්‍යාපන රටාවකට අප ගොනු විය යුතුයි.
නව අධ්‍යාපන සංකල්පීය ප්‍රවේශ ඇති කරගැනීමට නම් ඒ සඳහා දැනගත යුතු කරුණු පළමුවෙන් තේරුම්ගත යුතුයි.
එසේ නැත්නම් තවදුරටත් ශ්‍රී ලංකාව ව්‍යාකූල පරාජිත රටක් බවට අනාගතයේදී තවදුරටත් මතුවනු ඇත.
අධ්‍යාපන ශාස්ත්‍රාලීය තුළ වගකීමට ප්‍රබල ලෙස උරදීමට අවශ්‍ය විධිමත් පදනම ගොඩනැගීම ඉතාම අද දවසේ අධ්‍යාපන බලධාරින්ගේ ප්‍රධාන කාර්ය භාරයයි.
සියුම් සංසන්දනාත්මක අධ්‍යාපන අනන්‍යතා වර්ධනය කිරීම සියල්ලකගේ ඉලක්කය විය යුතුයි.
ඒ ඉලක්කය කරා යාමට නම් විචාරය ඉතාම වැදගත් කරුණක්.
පටු ජාතිවාදී මුහුණුවර අධ්‍යාපන විෂයන් තුළින් සහමුළින්ම ඉවත් කිරිම කාලීන අද දවසේ අවශ්‍යතාවයයි.
මීට අදාළ සෙසු කරුණු තවත් ලේඛනයක් තුළින් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න