2 කොටස
අවිචාර රාජ්‍ය සේවය පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්තගෙන් ප්‍රකාශ වුණා.
එනම් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා බොහෝ විට නිල සාකච්ඡා මඟහරින බවයි.
ඊට අමතරව අතිරේක ලේකම්වරියක් අමාත්‍යවරයා නොසලකා හැරි කකුළෙන් අදින පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ යැයි සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍ය වරයා ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කලාතුරකින් සහභාගි වන ඇතැම් සාකච්ඡාවකදි පවා වචනයක් කතා නොකර බිම බලාගෙන සිටින බව තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.
ඇත්තටම අමාත්‍යංශයක් යනු භෞතික හා මානව සම්පත් පදනම් කර ගත් සජීවී ආයතනයක්.
එය ආණ්ඩුවක ජාතික මට්ටමේ කාර්යාලයක්.
මීට අමතව පළාත් මට්ටමේ කාර්යාල, දිස්ත්‍රික් මට්ටමේ කාර්යාල, ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල හා ඊට පහළ ගම් මට්ටමේ කාර්යාලය දක්වා රාජ්‍ය අංශය ක්‍රියාත්මකයි.
නමුත් බොහෝ විට රාජ්‍ය අංශයේ පරිපාලනය ඉතාමත් අවිචාරාත්මකයි.
මේ අවිචාරාත්ම බව ජනතාව විටින් විට අත්විඳිමින් තිබෙනවා.
අනුපිළිවෙළකින් තොරව පුරවැසියන් අසහනකාරී තත්ත්වයට පත් කිරීම අවිචාර රාජ්‍ය සේවය කියල කියන්න පුළුවන්.
නමුත් රාජ්‍ය සේවයට කොපමණ මුදලක් මහජන බදු මුදල් වැය කරනවාද?
රාජ්‍ය ඒකාබද්ධ අමුදලින් අප්‍රමාණ වූ මුදල් වැය කරනවා.
එය හුදෙක් මහජන සුවසෙත ලබාදීමටයි.
නමුත් කාර්යක්ෂම සේවයක් රාජ්‍ය සේවයෙන් ඉටු වෙන්නේ නැහැ.
ඒ පිළිබඳ විවිධ මතවාද තිබෙනවා.
නමුත් මේ සඳහා පුරවැසියන් කිසියම් අරමුණක් කරා ක්‍රියාත්මක වීමේ වපසරියක් ද දකින්න ලැබෙන්නේ නැහැ.
මීට ප්‍රධාන සාධකයක් තමයි සැලසුම්ගතව තොරව විශ්ලේෂණාත්මකව රාජ්‍ය සේවය සකස් වී නැති බව ඉන් තහවුරු වෙනවා.
විශ්ලේෂණය හා තොරතුරු මත දනම්ව රාජ්‍ය සේවයේ යම් නිලධාරියකුට තීරණ ගැනීමේ හැකියාව ඇතැම් විට වුවමනාවෙන් බැහැර කරන අවස්ථා කොතෙකතුත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශවලින් ප්‍රකාශ වෙන අවස්ථා අප්‍රමාණයි.
ලංකාව සුබසාධන රාජ්‍යයක්.
එය හුදෙක්ම පාදඩ දේශපාලනයේ පැවැත්ම සඳහා යොදාගත් ක්‍රමවේදයක් ද?
උපත පැවැත්ම හා මරණය තෙක්ම ජනතාව කෙරෙහි පැවරී ඇති රාජකාරි බොහොමයක් ආණ්ඩුවේ කාර්යාලය සතුයි.
උප්පැන්න ලියාපදිංචි කිරීමේ සිට පුරවැසියාගේ මරණය ලියාපදිංචිය දක්වා සහතික නිකුත් කරන්නේ රාජ්‍ය අංශය.
ඊට අමතරව පුරවැසියන් ආර්ථික, සාමාජීය, සංස්කෘතික ව්‍යවනවලින් ඔවුන් ආරක්ෂා කර නැවත ඔවුන්ගේ ජීවිතය අවදි කරන්නට මේ රාජ්‍ය අංශයේ කාර්යාලවලට වගකීමක් යුතුකමක් තියෙනවා.
නමුත් ආවට ගියාට ආණ්ඩුවේ ආයතන ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක වීම නිසා ඉතාම ගැටලු සහගත තත්ත්වයක් රට පුරා උද්ගත වී තිබෙනවා.
ඒ බව තවදුරටත් සනාථ කරන එක් සාධකයක් තමයි අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථිර ලේකම් සහ අතිරේක ලේකම්වරියගේ නිහඬතාවය තුළ ප්‍රදර්ශනය වන්නේ.
පුරවැසි සේවා ලාභින්ට යාමට හා ඒමට අපහසු කාර්යාල කොතෙකුත් තියෙනවා.
කාර්යමණ්ඩල සපයාගැනීම, පහසුකම් උපකරණ අදාළ නඩත්තු කටයුතු ප්‍රතිපාදන නැතිබව ප්‍රකාශ කරමින් යැපෙන රාජ්‍ය ප්‍රධානින්ද ඒ අතර වෙනවා.
විවෘත හා අවෘත සර්ව දිසා දර්ශන නැති කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයෙන් බදු ගෙන තිබෙන අවස්ථා ද අප්‍රමාණව දකින්න ලැබෙනවා.
එය හුදෙක් අමාත්‍යංශය හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කොමිස් ලබාගැනීම මත සිදු වන්නක්.
රාජ්‍ය නිලධාරින් හා සේවා ලාභීන් එකිනෙකා ඍජු සම්බන්ධතා ඇතිවන අවස්ථා බොහෝ විට රාජ්‍ය සේවයේ තියෙන්නේ රාජ්‍ය නිලධාරියාට අයුතු දීමනාවක් ලබාගැනීමේ ක්‍රම සම්පදානයක් මත.
පුරවැසියාගේ සේවා අවශ්‍යතාවය අඳුනාගෙන එය දිගු කරන්නේ ඔහුගෙන් යම් මුදලක් ලබාගැනීමේ ඉලක්කයක් ඇතිව.
මේ නිසා මහජන පීඩාව හා අවිචාර රාජ්‍ය සේවය ඉතාම ප්‍රබල ලෙස ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙලා තිබෙනවා.
යම් කිසි කාර්යාලයක සේවා කටයුතු අනුපිළිවෙළකට ඒ ඒ අංශවලට පිහිටුවා නැති වීමත් තවත් ගැටලුවක්.
ඊට ප්‍රධාන හේතුව අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නොහැකියාව නිසා කාර්යාලයක ශාඛාව නොහොත් අංශ සංවිධානය මනාව ඉටු නොවීමයි.
පිළිසැකස්මක් සකස් කිරීමට සැලසුම් කිරීමේදී වැදගත් වන කරුණු අතර ආබාධිත ප්‍රජාව පිළිබඳව අදාළ කටයුතු කිරීම ඉතාම වැදගත්.
අධීක්ෂණය කිරීමට ඇති අපහසුව, ඉඩකඩ හඳුනාගැනීමට තිබෙන ගැටලුව, කාර්යාල මණ්ඩලයට අවශ්‍ය උපකරණ ස්ථානගත නොවීම ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ ඉහළ සම්පත් සැපයීමේ නොහැකියාව මත ඇතිවන ගැටලුත් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා.
රජයේ කාර්යාලයක අරමුණු සාක්ශාත් කරගැනීමට අදාළ රජය සිය මූලධර්මය වශයෙන් සලකා මූලික පහසුකම් සැපයීම රජයක වගකීමක්.
ඇතැම් විට දේශපාලන සාධක මත මේ ක්‍රියාවන් වෙනස් වන අවස්ථා තිබෙනවා.
කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපකරණ ස්ථානගත වී නැතිනම් එය මහ ආණ්ඩුවට පවරා පළාත සභා හා ප්‍රාදේශීය සභා නිලධාරින් ක්‍රියා කරන අවස්ථා ද තිබෙනවා.
ඉතාම කනගාටුදායක මේ තත්ත්වය විවධ ආකෘතීන් ඔස්සේ සමාජය තුළ මුල් බැසගෙන තිබෙනවා.
මීට ප්‍රධාන සාධකය ඇත්තටම කුමක්ද?
ලංකාවේ දුරාචාර දේශපාලන ව්‍යුහයේ මූලධර්මයයි.
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය පෙන්වමින් අයුතු දේශපාලන ධුරාවලියක් රට තුළ ස්ථාපිත වීම මේ තත්ත්වයේ ප්‍රධාන සාධකයක්.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඉන්පසුව බිහි වුණු සියලු පක්ෂ හා වාමාංශික පක්ෂ මීට වගකිව යුතුයි.
මේ වන විට ලංකාවේ දේශපාලන ව්‍යාපෘතීන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බලයක් ක්‍රියාත්මක වනවාද යන ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.
පුද්ගලයින් කිහිපදෙනෙකුගේ සංවිධානාත්මක පුද්ගල සාමුහිකත්වය තුළ ගොඩනැගී තිබෙන දේශපාලන පක්ෂ රටාව තුළින් බිහිවන ආණ්ඩු ජනතාව සතු පරමාධිපත්‍ය මනාව තහවුරු කරන්නේ ද කියන ප්‍රශ්නය උද්ගත වී තිබෙන්නේ තවත් සාධකයක් මත.
එනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දඩමීමා කරගෙන ඉදිරි දිනවල දී මතු කිරීමට අපේක්ෂා කරන ප්‍රති ත්‍රස්තවාදී පනත නිසයි.
මේ පනත නිසා ලංකාව ඉදිරි කාලයේදී අන්තර්ජාතික සමාජයෙන් බොහෝ දේවල් අහිමි වීමේ ඉඩකඩ අප්‍රමාණයි.
ජී.එස්.පී. ෆ්ලස් තීරබදු සහනය අහිමි වීමේ අවදානම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.
යුරෝපා සංගමය දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
ජාත්‍යන්තර නීති වේදීන්ගේ අදහස් වී ඇත්තේ මේ පනත ධනාත්මක කරුණුවලට වඩා ගැටලුකාරී කරුණු වැඩි බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි දෙස් විදෙස් ආයතන සංවිධාන කර තිබෙන ඉල්ලීමට මුවාවී ඊටත් වඩා භයානක පනතක් ගෙන ඒමට ආණ්ඩුව තවදුරටත් සැරසෙමින් ඉන්නවා.
ඒ ජනමාධ්‍ය හා සමාජජාලා නියාමනය කිරීමේ පනතයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් කියන්නේ පුළුල් සංවාදයකින් පසුව මේ පනත් ගෙන ආ යුතු බවයි.
ඒ පිළිබඳව තවදුරටත් සුපරික්ෂාකාරීව පනත අධ්‍යයනය කළ යුතු බව පවසා තිබෙනවා.
කරුණු කෙසේ වෙතත් මෙවැනි කරුණු පවසන තවත් අය විද්වතුන් ඉන්නවා.
ඒ අය බොහෝ විට මතුපිටින් නොව තිරය පිටුපස පවතින ආණ්ඩුවට කඩේ යන පිරිස් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
එවැනි අය පිළිබඳව බොහෝ විට හෙළිදරව් වන්නේ ඔවුන්ගේ මතුපිට ක්‍රියාකාරකම් හා පසුකාලීනව ඔවුන් රජයේ ඉහළ තනතුරුවලට පත්වීම නිසයි.
ඒ නිසා තමයි අවිචාරවත් රාජ්‍ය සේවයක ගති ලක්ෂණ මේ වන විට දිවයින පුරා ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපරාධ නිතියට අයත්.
ඒවා අවභාවිතය වනවා වැඩියි.
තිබෙන පනත දැනටමත් අවභාවිතා වනවා නම් මේ ප්‍රතිත්‍රස්ත පනත අවභාවිත නොවන බව කාටද කියන්න පුළුවන්.
ත්‍රස්තවාද වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 1979 ගෙන ආවේ.
එය ජේ ආර් ජයවර්ධන නායකත්වය යටතේ ගේන කාලයේදී ඔහු ප්‍රකාශ කළේ කුමක්ද?
හුදෙක්ම එය එක් අවුරුද්දකට පමණක් සීමා කරනවා කියලා.
නමුත් එය හුදෙක් ප්‍රලාපයක් බව සනාථ වන්නේ පසුගිය අවුරුදු 44 පුරාම මේ තාවකාලික පනත රට පුරා ක්‍රියාත්මක වූ නිසාය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ ජාවඩ් යූසුප්ගේ අදහස වන්නේ ත්‍රස්තාවදය වැළැක්වීමේ පනත වැනි පනත් වලට වඩා මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත් කරන හදිසි පනත්වල (හදිසි නීතිය) යම් ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී බවක් අන්තර්ගතව තිබෙන බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමට හෝ පාලනය කිරීමට හදිසි නීතිය පැවතීම ප්‍රමාණවත් බව ඔහු වැඩිදුටත් පවසනවා.
1971 මාර්තු 31 වනදා පනවන ලද හදිසි නීතිය 1976 දක්වා එක දිගටම පැවතුණා.
ඒ සිරිමාවෝ බණ්ඩාරනායකගේ රාජ්‍ය සමයයි.
ත්‍රස්තවාදය මර්දනයට යැයි කියමින් 1978 දී පැනවූ හදිසි නීතිය වරින් වර අලුත් කරමින් දශක ගණනාවක් එක දිගට පැවතුණා.
ඉන් පෙනී යන්නේ ජාවඩ් යූසුප්ගේ අදහස අර්තවත් බවයි.
එහෙත් පාලකයන්ට උවමනාව ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් මර්දනයට පාර කපාගැනීමටයි.
ඒ අන් කිසිවකට නොව 75 වසරක් වැජඹුණ අයුරින් තවදුරටත් රාජ්‍ය දුරාචාරය ක්‍රියාත්මක කිරීමටයි.
පාලකයින් මේ පිළිබඳව ඔවුන්ගේ ප්‍රකාශය තුළ ඇත්තේ මේ පනත තුළින් ජනතාව සුරක්ෂිත කරන බවයි.
රටේ දේපළ හා රටේ සම්පත් ඉන් සුරැකෙන බවයි.
කරුණු කෙසේ වෙතත් මෙහිදී පැහැදිලි වන්නේ තවදුරටත් කුමක්ද?
අවිචාර රාජ්‍ය සේවය සාමාන්‍ය කාර්යාලවල ස්ථාපිත වී තිබෙන පරිසරයක ආරක්ෂක අංශවලට වඩාත් බලවත් විධිවිධාන නිකුත් කිරීමෙන් අවිචාර රාජ්‍ය සේවය තවදුරටත් සංකීර්ණ වන බව නොවේද?
මේ ගැන තවදුරටත් 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදය යටතේ 10 වන ව්‍යවස්ථාව ගැන හිතමු.
යම් තැනැත්තෙකුට තමන් අභිමත ආගමක් ඇදහීම හෝ වැළඳගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ඇතුළත්ව සිතීමේ නිදහසට හෘදය සාක්ෂියේ නිදහසට හා ආගමට හිමිකම් ඇත්තේය යනුවෙන් සඳහන්ය.
නමුත් මේ සියලු දේවල් යටපත් කර වසා දමන ප්‍රති ත්‍රස්ත පනත තුළ කරුණු අඩංගුයි.
11 වන ව්‍යවස්ථාව අනුව කිසියම් තැනැත්තෙකුට වද හිංසාවට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතු බව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්.
නමුත් අවාසනාවන්ත හෝ අවසන් සැලකිල්ල ප්‍රති ත්‍රස්ත පනත යටතේ ව්‍යවස්ථාපිතව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අංශයේ හමුදාව හා පොලිසියට හිමිකම් පැවරෙන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙනවා.
12 ව්‍යවස්ථාවට අනුව නීතිය පසඳලීමේ හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණය සාධාරණ විය යුතු බව 78 ව්‍යවස්ථාවේ අන්තර්ගතයි.
නමුත් රැකවරණ හා සර්ව සාධාරණත්වය මුළුමනින්ම අහිමි කිරීමේ තත්ත්වයක් ප්‍රතිත්‍රස්ත පනත යටතේ අන්තර්ගතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 යටතේ 12 ව්‍යවස්ථාවේ අංක 1 නීතිය පසඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතු බව සඳහන් වෙනවා.
නමුත් ප්‍රති ත්‍රස්ත පනත යටතේ එම සාධාරණත්වය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා.
එතකොට 12 ව්‍යවස්ථාවේ අංක 2 යටතේ කිසිම පුරවැසියකු වර්ගය ආගම භාෂාව කුළය ස්ත්‍රී පුරුෂ භේදය දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ යනුවේන සඳහන් වෙනවා.
මේ සියල්ලක් දෙස බලන විට ප්‍රති ත්‍රස්ත පනත යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම විකෘති කිරීමේ මූලධර්මය මත මේ ප්‍රති ත්‍රස්ත පනත ගෙන එන බව පැහැදිලි සත්‍යයක් නොවේද?
රාජ්‍ය සේවයේ අධිකරණ සේවයේ පළාත් සේවයේ නැතහොත් රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, සේවා නියුක්තික තත්ත්වයක සිටින බොහෝ රාජ්‍ය නිලධාරින්ගේ අවිචාර රාජ්‍ය සේවය නිසා මේ ප්‍රති ත්‍රස්ත පනත තවදුරටත් ඉතාමත් අයුතු සහගත ලෙස සමාජ ආකෘතීන් සංයුක්ත වන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මෙය ඇත්තටම ගෞරවනී පුරවැසියකුගේ සමානාත්මතාවය හා ජීවත් වීමේ අයිතිය නැති කිරීමක්.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද මූලික අයිතිවාසිකම් කොටසක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණා.
එම ව්‍යවස්ථාවේ 18 (1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස පිළිබඳ පරිච්ඡේදයක් ඇතුළත් වී තිබුණා.
ඒ පරම අයිතිවාසිකම් හා 78 ව්‍යවස්ථාවේ ඇති අයිතිවාසිකම් සියල්ලක් දෝෂදර්ශනයට ලක් වෙමින් උල්ලංඝනය වන තත්ත්වයක් දැන් ගොඩනැගී තිබෙනවා.
මේ සම්බන්ධව මූලික ක්‍රියාදාමය ඇත්තේ පරමාධිපත්‍ය බලය ඇති ජනතාවටයි.
ජනතාව වැඩවසම්වාදී ආකල්පයන්ගෙන් බැහැරව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිය මනස යාවත්කාලීන කරගත යුතු අවස්ථාවන් පසුකරමින් සිටින බව තේරුම්ගත යුතුයි.
රාජ්‍ය සේවක ඊනියා විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් හා වෙනත් විද්වතුන් එකතුව ඇත්තටම සැබවින්ම ඉහත පනත සම්බන්ධව මනා සමාජ සංවාදයක් හා වේගවත් සමාජ බලපෑමක් මේ වන විටත් සමාජය වෙත මුදාහැර නැත.
ප්‍රජාතන්ත්‍රවාදය හරහා ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම සඳහා ගෙන එන මේ පනත ඇත්තටම ජනතාවගේ පරමාධිපත්‍ය ශුන්‍ය කරන බව හා ජනතාව මෙතෙක් විඳින හිමිකම් අන්සතු කරන බව පැහැදිලිය.
ඒ මැකියාවේලිගේ න්‍යාය මත හැසිරෙන සමාජ සංස්කෘතය අනුව එය මනාව ප්‍රදර්ශනය වන්නක්.
මේ තත්ත්වය සමාජ භාවිතයේදී තවදුරටත් ගැටලු‍ සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මැකියාවේලිගේ න්‍යායට අනුව රටට නායකයකු වීමට නම් මනා කපිටියකු විය යුතුය.
ඒ කපටි බව තවදුරටත් සනාථ කරන මහින්ද නඩයේ පිරිස තුලින් වක්‍රව මතු වී එන්නේ කුමක්ද?
ජනතාවගේ පරමාධිපත්‍ය හා මූලිකඅයිතිවාසිකම් ශුන්‍ය කිරීමට රනිල් වික්‍රමසිංහ අදාළ මහ මග හා දිසාගත වීම මේ පනත යටතේ අදාළ ප්‍රතිපාදන සම්පාදනය කර ගන්නා බව නොවේද?
දැනට ජනතාව තුළ විශ්වාසනීයත්වයක් නැති වර්තමාන පාලන ව්‍යුහය සඳහා අනියම් ලෙස සුරක්ෂිත ව්‍යවස්ථානුකූලව තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියුම් පැති සංවර්ධනය කරගනිමින් යන්නා මොහොතක් මේ තුළින් ප්‍රදර්ශනය නොවන්නේද?
ප්‍රතිපත්ති සම්පාදනය පාර්ලිමේන්තුව සතුය.
නමුත් 69 ලක්ෂයකගේ බලය අයුතු ලෙස කේන්ද්‍රගත වූ ජනාධිපතිවරයකු බිහි වී තිබෙන මේ අවස්ථාවේ සිදුවී ඇත්තේ කුමක්ද?
ලංකාවේ අයහපත සඳහා ආර්ථික ව්‍යවසනය සඳහා ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති ගොනු වී ඇති පසුබිම වර්තමාන ආණ්ඩුව තුළින් මනාව ප්‍රදර්ශනය නොව්නනේ ද?
මේ පිළිබඳව පුළුල් සමාජ කථිකාවක අවශ්‍යතාවය දිගින් දිගටම විවරණය කිරීමේ කාර්යභාරය ඇත්තේ ප්‍රභූ දේශපාලනයට නොව විද්වත් සමාජ සංස්ථාවලටය.
ඒ සඳහා මැදිහත් වීමේ වගකීම කාර්යභාරය ඔවුන් මනවා ඉටු කළ යුතුය.
ඒ ඉටු කිරීම කොතෙක් දුරට සාධාරණව ඉටු කරන්නේද යන්න ජනතාව තේරුම්ගැනීම වැදගත්ය.
දැනට යම් දුරකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අදාළ පනත පසුගාමී තත්ත්වයක තිබෙන නමුත් ක්‍රියාකාරි විද්වතුන්ගේ හැසිරීම භා භාවිතය තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් පසුපසට තල්ලු‍ කිරීම නොව ශුන්‍ය කිරීමේ වගකීම පොදු මහජනතාවටත් සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලටත් හිමිකම ඇත්තේය.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න