ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහගේ ගෞරවය හා මානව හිමිකම් කොමිසමේ පැවැත්මට හනිදායක වන අයුරින් මේ වන විට අයුතු මාධ්‍ය භූමිකාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
යුතුකම් ඉටු කරන්නේ නම් හිමිකම් ආරක්ෂාවන්නේ යන පදනම මත මේ ලිපියේ කරුණු අන්තර්ගත වෙනවා.
හිමිකම් හෝ යුතුකම් නොව වගකීම් ඉටු වන්නේ නම් අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් ඇති නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙක් විසින් මේ වන විට ජනාධිපතිවරයා අමතා යවන ලද ලිපියක කරුනු අනුව ඒ අදහස මතු කිරීම වැදගත් යැයි ලියුම්කරු සිතනවා.
හිමිකම් දිනාගැනීම මෙන්ම යුතුකම් රැකගැනීමේ වැදගත්කමක් අපි අගය කරන්න ඕනෑ.
යුතුකම් ඉටු නොවන තැන හිමිකම් රැකෙන්නේ නැහැ.
හිමිකම් උල්ලංඝනය වන්නේ යුතුකම් ඉටු නොවූ විට පමණක් ද යන්න මේ ගැටලුවේදී විවාදාත්මකයි.
සමාජ සත්වයකු ලෙස දේශපාලනයට හුදකලා වන පුද්ගලයින්ගෙන් පශ්චාත් කාලය තුළ දේශපාලන හැසිරීම් තුළ යැපුණු අය බොහෝ විට මේ තත්ත්වය තේරුම්නොගෙන වගකිව යුතු ආයතනයකට පත් වූ පසුත් ඔවුන්ගේ හැසිරීම හා භාවිතය නිර්වචනය වන අවස්ථා තිබෙනවා. (පෙර පරිදිම)
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරිය මානව හිමිකම් කොමිසමේ ගෞරවයත් හිමිකම් හා යුතුකම් හා වගකීම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් යම් දුරකට පෙනී සිටීම පිළිබඳව අප ලාංකිකයින් වශයෙන් කෘතඥ විය යුතුයි.
නමුත් ගරු සභාපතිනිය සත්භාවයෙන් ක්‍රියා කරන්නේද යන්න මතු වී ඇත්තේ 2023 අප්‍රේල් 11 දින දිවයින පුවත්පතට කර තිබෙන ප්‍රකාශයක් නිසයි.
ඒ තත්ත්වය මතු වන්නේ 2023 අප්‍රේල් 9 වන ඉරිදා මවුබිම ප්‍රධාන ශීර්ෂ පාඨයට එක් වන ප්‍රවෘත්තිය නිසයි.
ඊට අන්තර්ගත වන්නේ කොමිසමේ කොමසාරිස්වරු තිදෙනෙක් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි, පූජ්‍ය කළුපහණේ පියරතන යන අය පනතට පටහැනිව පෞද්ගලික අභිමතය පරිදි සභාපතිනිය ක්‍රියා කරන බවට දක්වා ඇති චෝදනාව නිසයි.
මේ සම්බන්ධව 2023 මාර්තු 29 දිනත් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා කියලා මේ තිදෙනා අදාළ පුවතින් ප්‍රකාශ කර තිබෙනවා.
ඕනෑම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සභාපතිනියට ඇති බලය පිළිබඳව ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.
මේ ප්‍රවනතාවය මතුවන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපතිවරයා හමුවීමේ මාවතක් ගොඩනැගීමේ පරිසරයක් සමඟ.
ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින්ට නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා හෙළිදරව් කරමින් ජනාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැසිරීම භාවිතය තුළ සමාජ පාදඩකරණයකට සමස්ත ශ්‍රී ලංකාව තල්ලුවෙමින් තිබෙන පසුබිමක් හමුවේ.
2023 පෙබරවාරි 28 දින මානව හිමිකම් කොමිසම විසින් යෝජනා කර තිබෙන කිසිවක් සභාපතිනිය වශයෙන් ඇය අනුමත නොකළ බව අදාළ තිදෙනාගේ ලිපියේ කරුණු සඳහන් කර තිබෙනවා.
නොසලකා හැර ඇති යෝජනා කවරේද යන්න ඉන් පැහැදිලි වන්නේ නැහැ.
පනතට පටහැනිව සභාපතිනිය ක්‍රියා කරන්නේ නම් ඊට අදාළ නෛතික වගන්ති පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අදාළ කොමසාරිස්වරු තිදෙනා අසමත් වෙලා තිබෙනවා.
පොලිස් ඇමතිට හිමිකාරත්වය ඇති මවුබිම පුවත්පත මගින් විශාල ඝෝෂාවක් කිරීමට අදාළ කොමසාරිස්වරු මේ වන විට සමත් වී තිබෙනවා.
මේ තත්ත්වයට නිමිත්ත වන්නේ පොලිස් පහරදීම් හා උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීම හා භාවිතය සම්බන්ධව පොලිස් අමාත්‍ය අලස් මහතා මානව හිමිකම් කොමිසමට කැඳවීමට සභාපතිනිය ගත් උත්සාහය නිසාද?
තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ න්‍යායට අනුගත වෙමින් අදාළ තිදෙනා මේ වන විට ක්‍රියා කර තිබෙන බව පැහැදිලි සත්‍යයක්.
ස්වාධීන කොමිසම් සභාවල ස්වාධීනත්වය කෙළසා දැමීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී ගත් උත්සහයන් පිළිබඳ තොරතුරු අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ සඳහා පළමුවෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට ජනාධිපතිවරයාගේ මැදහත්වීම යටතේ සීල් තැබුවා.
එය සිදුවූයේ 2023 පෙබරවාරි 16 වන දින.
මේ සිද්ධියත් සමඟ ලංකාවේ ස්වාධීන කොමිෂන් සභාවල දිසානතිය කොහාටද යන්න ගැටලුව මතුවෙනවා.
කොල්ලුපිටිය පොලිසිය මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයට එලෙස මුද්‍රා තැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුවයි.
කොල්ලුපිටිය පොලිස් වසමේ මයිකල් මාවතේ මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පිහිටා ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ කාර්යාලයට පසුගිය මාර්තු 16 දින දහවල 12.30ට පමණ ගිය පොලිසිය අධිකරණ නියෝග ප්‍රකාරව එම කාර්යාලයට සීල් තබා පොලිස් ආරක්ෂාව යොදවනු ලැබුවා.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා අදාළ නියෝගය මාර්තු මාසයේදී නිකුත් කළා.
කඩාකප්පල්කාරී පිරිසක් කොල්ලුපිටිය පොලිස් වසමේ මයිකල් මාවතේ මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමකින් යුත් ලේඛන හා ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩකඩක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට එදා වාර්තා කරා.
එය හුදෙක්ම ප්‍රලාපයක් බවට පසුගිය ගත වූ මාසයක් තුළ එවැනි තත්ත්වයක් උද්ගත නොවීමෙන් පැහැදිලියි.
බුද්ධි තොරතුරුවලට අනුව කඩාකප්පල් පිරිස රජය අපහසුතාවට පත් කරන ආකාරයෙන් කටයුතු කරමින් ඒ ආකාරයට හැසුරුණොත් එය සමාජ කැළඹීමක් ඇතිවන ක්‍රියාවක් බවට ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
ඒ කියන්නේ පැහැදිලිව පවතින රජය කඩාකප්පල්කාරී තත්ත්වයකට තල්ලු වීම මහජන උද්ඝෝෂණ හමුවේ පසුගාමිත්වයක් තමයි ඉන් ප්‍රදර්ශනය වී තිබෙන්නෙ.
අදාළ තොරතුරුවලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති පොලිසිය පරීක්ෂණ අවසන් වන තුරු මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාමරයට මුද්‍ර තබා එයට පොලිස් ආරක්ෂාව ලබාදීමට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අංක 124 වන වගන්තිය ප්‍රකාරව අවසර ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් පසුගිය මාර්තු මාසයේ අදාළ ඉල්ලීම අධිකරණයෙන් සිදු කළා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වන ජනක රත්නායක මහතා ඒ වන විට විදේස්ගතව සිටි බවට කරුණු අනාවරණය වුණා.
ඔහු ලංකාවට පැමිණි පසුව එම නිල කාර්යාලය ඔහු ඉදිරිපිට විවෘත කර එය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමටත් එහි ඇති ලිපි ලේඛන සහ ලිපිගොනු පරීක්ෂා කිරීමටත් අවසර ලබාදෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් එදා ඉල්ලීමක් කළා.
ජනක රත්නායක මහතා විදෙස් ගතව ඇද්දයි යන්න සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද පොලිසිය අධිකරණයෙන් අවසර එදා පැතුවා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කොල්ලුපිටියේ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර දෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරයාගේ නිල කාමරයට මුද්‍රා තැබීමට අවසර ලබාදුන්නා.
මේ එක් කරුණක් පමණයි.
නිදහස් මහජනතාවට මහජනතාවගේ උපයෝගිතා සඳහා නෛතිකව පිහිටුවා තිබෙන ආයතනයක නිදහස් බව, යුක්තිගරුක බව කඩාකප්පල් කිරීමට රජය ගත් එක් උත්සාහයක් ඒ.
මේ තත්ත්වය තුළ තවදුරටත් මේ තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාව දක්වා දිව යන තත්ත්වයක් ගොඩනැගුණා.
මේ පිළිබඳව දිගින් දිගටම වාර්තා කළ යුතු තත්ත්වයක් මේ ගැන විමර්ශනය විය යුතු සමාජ පරිසරයක් පුළුල්ව විශ්වවිද්‍යාල මට්ටමෙන් පරීක්ෂණාත්මක මට්ටමක් සමාජ විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ යුතු කාලයකට අපි පැමිණ තිබෙනවා.
කරුනු කෙසේ වෙතත්, ඒ තත්ත්වය හමුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ හැසිරීම හා භාවිතය අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට ගන්නේ එවැනි පසුබිම හමුවේ.
ඊට ප්‍රධාන සාධකය වන්නේ කරුණු විමසීමක් සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට පොලිසිය අයත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අයත් ටිරාන් අලස්ට කර තිබූ දැනුම්දීමකට අනුව තමයි මෙහි අදාළ නිමිත්ත ප්‍රධාන වශයෙන් උද්ගත වන්නේ.
ඒ සම්බන්ධයෙන් ඔහු කියා තිබුණේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් ඔහුට විධිමත් දැනුම්දීමක් ලැබී නැති බව ප්‍රසිද්ධ ප්‍රකාශයනක් කර තිබුණා.
ඒ ආකාරයට මානව හිමිකම් කොමිසන් සභාවට ටිරාන් අලස් ඇමතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම කොමිසම නිවේදනය කර තිබුණේ ඇමතිවරයා එම කොමිසම හමුවට කැඳවීමට සිතාසි නිකුත් කර නොමැති බවත් එම කොමිසම පවත්වන පරීක්ෂණයක් සඳහා කරුණු පැහැදිලි කරගැනීමට කැඳවීමක් කළ බවයි.
ඉන් ජනිත වන්නේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගේ පසුගාමිත්වයක් ද යන ගැටලුව තවත් පැත්තකින් නිරීක්ෂණයට ලක් වන්නක්.
ටිරාන් අලස් ඇමතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව එම කොමිසම පවත්වන පරීක්ෂණ සඳහා යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
එම කොමිසම හමුවේ වෙනත් දිනයක පෙනී සිටින ලෙස ඇමැති ටිරාන් අලස්ට දැනුම් දී තිබු බවක් මේ වන තුරු වාර්තා වූයේ නැහැ.
ඇමැති අලස් මානව හිමිකම් කොමිසමේ දැනුම් දීම අනුව එහි නොයන බව පැවසීමෙන් පෙන්නුම් කළේ මානව හිමිකම් ඔවුනට අදාළ නැති බව හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති එවැනි යාන්ත්‍රණ ගැන අදාළ ඇමැතිවරයාගේ එතරම් තැකීමක් නැති බව නොවේද?
කරුණු මේ විදියට වාර්තා වෙන පසුබිමක මැතිවරණ කොමිෂන් සභාවේ තීන්දු තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදන නිකුත් කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණයක් ගත්තා.
ඉන් පරිබාහිරව වෙනත් පාර්ශව වෙතින් තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටින ලෙස මාධ්‍ය වෙතින් කොමිසන් සභාව ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.
ඒ සම්බන්ධව පළවන වාර්තා පිළිබඳව කොමිසන් සභාවේ වගකීමක් නැති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරා.
කරුණු කෙසේ වෙතත් ටිරාන් අලස් අමාත්‍යවරයා කැඳවීමට අවශ්‍ය බලතල පැරිස් මූලධර්ම අනුව මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව තිබෙන බව කරුණු දක්වා සිටියේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සේවක සංගමයයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකු විසින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් එම කොමිසම හමුවට පැමිණවීමට අනුමැතිය ලබානොදුන් බවට මවුබිම පුවත්පතට කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය බව අදාළ සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රසිද්ධ කර තිබුණා.
කොමසාරිස්වරුන් එම ප්‍රකාශ කර ඇත්තේ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමකින් තොරව අසත්‍ය කරුණු පවසමින් බවත් රට තුළ සිදුවන ඕනෑම මානව හිමිකම් කඩවීමක් පිළිබඳව සොයා බැලීමට ඒ පිළිබඳ විමර්ශනය කිරීමට රජයට උපදෙස් ලබාදීමට හා ඕනෑම පුද්ගලයකු කැඳවීමට අවශ්‍ය බලතල කොමිසම සතු වන බව අදාළ සේවක සංගමය හෙළිදරව් කර තිබුණා.
එවැනි කිසිදු අවබෝධයක් නැතිව අදාළ කොමසාරිස්වරුන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් කොමිසමේ ස්වාධීනත්වයට බලවත් හානියක් සිදුවී ඇති බවත් මහජන ආරක්ෂක ඇමැතිවරයා කොමිසන් සභාව වෙත කැඳවීම සම්බන්ධයෙන් එහි කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇති බවත් එසේ දැනුම්දීමක් නොකළ බවට චෝදනා නැගීම කොමිසමේ ස්වාධීනත්වයට, ගෞරවයට හා පැවැත්මට හානියක් කරන ද්වේශසහගත ප්‍රකාශයක් බවත් සේවක සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව එහි සාමාජිකයින් පත් කිරීමේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රායෝගික හා අනෙකුත් සුදුසුකම් සපුරාලූ අයගෙන් එය සමන්විය යුතු බව පනතේ සඳහන් කර තිබෙනවා.
ඒ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කළ කොමසාරිස්වරුන්ගෙන් ඇතැමෙකුට මූලික සුදුසුකම් නොමැති බවත්, සමහරු මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බ න්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වී ඇති බවත්, සමහරු අල්ලස් චෝදනා ලබා ඇති බවත්, සමහරු අසත්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර පරීක්ෂණවලින් වැරදිකරුවන් වී ඇති බවත් අදාළ සේවක සංගමය වැඩිදුරටත් හෙළිදරව් කර තිබෙනවා.
එය අසවල් පුද්ගලයින් යැයි නම් කිරීමට අසමත් වන සේවක සංගමය විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි, කළුපහනේ පියරතන යන කොමිසමේ කොමසාරිස්වරු සම්බන්ධයෙන්ධයෙන් එම නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ.
ඔවුන් මේ ආකාරයට කටයුතු කරන්නේ ඔවුන් නැවතත් දේශපාලනඥයින්ගේ හොඳහිත දිනාගෙන නැවත මානව හිමිකම් කොමිසමට පත්වීමට දේශපාලනඥයින් හා ජනාධිපතිවරයාගේ රුචිකත්වය ලබාගැනීමට ගන්නා උත්සාහයක් වශයෙන් තමයි මේ තුළින් පොදු ප්‍රජාවට හැඟී යන්නේ.
පත් වී සිටින එම කොමසාරිස්වරුන්ගේ නුසුදුසුකම් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම්දීමටත් අදාළ සේවක සංගමය මේ වන විට කටයුතු කර තිබෙනවා.
කොහොම වෙතත් මේ තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයක්.
ඊටත් අමතරව ටිරාන් මානව හිමිකම් කොමිසමට නොඑන බවට ප්‍රසිද්ධ ප්‍රකාශනය තුළිත් යම්කිසි ගැටලුවක් මතුවෙනවා.
කරුණු කෙසේ වෙතත් මේ තත්ත්වය තවදුරටත් දිගුවෙමින් යන පරිසරයක් වර්ධනය වෙන්නේ වර්තාමන ජනාධිපතිවරයා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් ගෙන්වා කරන ලද සාකච්ඡා සහ මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයින් ගෙන්වා කරන ලද අපහැදිලි පටලැවිලි සහගත තත්ත්වයක් හමුවේ.
ඊට උත්තේජනය ලබාගන්නේ මානව හිමිකම් කොමිසම් සබාවේ අදාළ කොමසාරිස්වරුන් මේ ගැන පුළුල්ව කතා කරන්නේ නම් මහජන උපයෝගිතා කොමිසම් සභාව කියන නම ඇහුන ගමන් හැමෝටම මතකයට එන්නේ කොමිසමේ සභාපතිවරයා පිළිබඳවයි.
ඒ කියන්නේ අදාළ සභාපතිවරයා විදුලිය කැපීමට එරෙහිව ඍජු දැඩි තීරණයක් ගන්නවා.
ඒකට අදාළ වන්නේ කොමිසමේ සාමාජිකයින් 5 දෙනෙක් ඉන්නවා 2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිසමේ පනතේ තමයි අදාළ සඳහන් වන්නේ.
කොමිසමට අදාළ වන ප්‍රධාන පනතකට අනුව කිසිදු විශේෂ බලතලයක් සභාපතිට නැති බව කොමිසමේ සාමාජික මොහාන් සමරනායක පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.
පනතට අනුව ඔහුට පුළුවන් කොමිසමේ සාමාජිකයන්ගේ රැස්වීම් කැඳවන්න.
ඒ වගේම නියෝජ්‍ය සභාපතිවරයාව පත් කරන්න.
ඒ වගේම කොමිසමේ මුද්‍රාව ඒ කියන්නේ කොමිසමේ සීල් එක ඔහු ළඟ තබාගන්න පුළුවන්.
ඔහු යම් ප්‍රකාශයක් කොමිසමේ නාමයෙන් කරනවා නම් එය කරන්නට අවශ්‍ය වන්නේ අනික් සාමාජිකයින්ගෙන් විමසලා කියන එක සමරනායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
එය නිත්‍යානුකූල වන්නේ එවිට බවටත් කොමිසමේ සාමාජිකයින් 5ක් ඉන්න ඕනෑ යැයි සමරනායක වැඩිදුරටත් පවසා තිබෙනවා.
නමුත් දැනට සාමාජිකයින් ඉන්නේ 4 දෙනයි.
එක් අයෙක් ඉල්ලා අස්වුණා.
එය සිදුවූයේ පසුගිය වසරේ අප්‍රේල් මස.
දැනට ඉන්න සාමාජිකයින් සමඟ කතා කරල තමයි යමක් මාධ්‍යයට හෝ වේවා කුමන දෙයක් වුවත් පවසන්න අවශ්‍ය වන්නේ කියන එක මොහාන් සමරනායක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණා.
ඛනිජ තෙල් විකුණන්නේ ඉතාමත් විශාල ලාභයක් තියාගෙන කියල කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව බොහෝ කටයුතු සහ ඊට ගැටලු සහගත තත්ත්වයන් ගණනාවක් උද්ගත වුණා.
කරුණු කෙසේ වෙතත් කොමිසන් සභාවල ස්වාධීනත්වය රැකගෙන කොමිසමකට මනා පෞර්ෂවයකින් යුතුව ක්‍රියා කිරීමේ හැකියාව වර්තමාන රජය අඩපණ කරල තියෙනවා.
ඒ පිළිබඳව දිගින් දිගටම අප සාකච්ඡා කළ යුතුයි.
මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳවත් තත්ත්වය එසේමයි.
කොහොම වෙතත් මෙවැනි සමාජ පරිසරයක් වර්ධනය වන්නේ ආණ්ඩුවේ කූඨ ක්‍රියා නිසා.
ඒ පිළිබඳව සහ තවත් පැති පිළිබඳව තවදුරටත් අපි ඉදිරියේදී කතා කිරීමේ අවකාශය තබාගෙන තවදුරටත් පුළුල් පසු විමර්ශන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
එය සමස්ත ලාංකික ප්‍රජාවගේම වගකීමක් නොවන්නේ ද?
පුද්ගලික අවශ්‍යතා සම්පුර්ණ කරගැනීම සිට ජීවිතයේ අභියෝග කෙසේ වෙතත් ජීවත් වීමේදී අප කාටත් අවදානමක් ඇති වන සුලුයි.
සමාජ යුතුකම්, වගකීම් ඉටු නොකරන සමාජ සත්වයකුට එම සමාජය තුළ පිළිගැනීම හෝ පැවැත්මක් නැති බව අප තේරුම්ගත යුතුයි.
රාජ්‍ය ජනතාවට වගකීම් ඉටු කිරීමට බැඳී සිටිනවා.
ඒ අතර රාජ්‍ය ජනතාව වෙතින් එකී වගකීම් ඉටු කිරීමේදී සිය යුතුකම් ඉටු කරනු ඇතැයි සියල්ලන් බලාපොරොත්තු වෙනවා.
මේ බව සිහිපත් වන්නේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් වන විජිත නානායක්කාර, නිමල් කරුණාසිරි හා පූජ්‍ය කළුපහණේ පියරතන භික්ෂුවක් විසින් මානව හිමිකම් කොමිසමේ සභාපතිනියට එරෙහිව මේ වන විට දියත් කර තිබෙන අයුතු චෝදනාත්මක වැඩපිළිවෙළ නිසයි.
මහින්දගේ බුලත් කොළය යටතේ ඡන්දයට ඉදිරිපත් වූ චරිතත් මේ කොමසාරිස්වරු අතර ඉන්නවා.
දේශපාලනඥයන් සමඟ කඩේ ගිය ප්‍රතිරූප ගොඩනැංවීමට දායක වූ චරිත මීට පෙරත් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් වශයෙන් පත් වී තිබෙනවා.
ඒ පිළිබඳ අප සතු තොරතුරු අපමණයි.
මේ වන විට මානව හිමිකම් කොමිසමේ පැවැත්මට අභියෝගයක් වන පරිදි මේ තත්ත්වය ගොඩනගන්නේ මේ වන විට ස්වාධීන කොමිෂන්වලට පත් කරන සාමාජික සංඛ්‍යාව සහ සභාපතිවරුන්ට එරෙහිවීම සඳහා ගොඩනගන දූෂණ ප්‍රතිරූප රටාවේ තවත් එක් පැතිකඩක් පමණයි.
ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව මානව හිමිකම් කොමිසමේ ප්‍රවෘත්ති නිවේදනයක් පසුගියදා ප්‍රකාශයට පත් වුණා.
එය පවතින රජයේ හොඳ හිතට තරම් නොවේ.
ඒ නිසා ඒ සඳහා මැදිහත්ව අයුතු ප්‍රයෝජන ගැනීමේ ඉලක්ක සමඟ මේ නන් වැදෑරුම් චෝදනා මානව හිමිකම් කොමිසමේ සභාපතිනියට ගොඩනගමින් තිබෙනවා.
ආගම මගින් මානව හිමිකම් කෙරෙහි ඇති කරන ලද බලපෑම සුළුපටු නැහැ.
ආගම විසින් පෝෂණය කරන ලද අධ්‍යාත්මය විසින් පුද්ගලයා තුළ විනය සහ සංවරකම ස්ථාපනයට අනුබල දෙන බුදු දහමේ පැවැත්ම සඳහා රාජකාරීමය ස්වභාවයකට බැඳී තිබෙන පූජ්‍ය පක්ෂයක් මීට මැදිහත්ව තිබීම කනගාටුවට කරුණක්.
ආගම ඇත්තටම සංවේදී මාතෘකාවක්.
බුදුදහම තුළ ඇත්තේ දර්ශනයක්.
ඒ දර්ශනය පෝෂණය වී ඇත්තේ මානවයාගේ පැවැත්ම සඳහා වන යහපත් සහ පළදායි ගුණාත්මක ලක්ෂණ ආශ්‍රිතවයි.
එවැනි පරිසරයක් තුළ ලංකාවේ පූජ්‍ය පක්ෂය දේශපාලනඥයින්ගේ පැවැත්ම සඳහා කඩේ යන හැසිරෙන සහ අනුග්‍රහය දක්වන පිරිසක් බවට පත් වී තිබෙනවා.
විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියත් බුද්ධ දේශනයත් අතර පවතින සමාන බව අප තේරුම්ගන්න අවශ්‍යයි.
මිනිස්කමට නොගැලපෙන දූෂණය, වංචාව, අල්ලස, සමාජ අසාධාරණය සහ සිය අත්මාර්ථය පමණක් ඉටු කරගන්නා සමාජය තුළ පූජ්‍ය පක්ෂයක් සිටීම ඉතාම කනගාටුවට කරුණක්.
මානව හිමිකම් කොමිසම පිහිටුවා ඇත්තේ හිංසනයට පත්වන පුරවැසියන්ගේ ජීවත්වීමේ හිමිකම ස්ථාවර කිරීම හා රැකගැනීමට අවශ්‍ය නෛතික හිමිකම ලබාදීමටයි.
නමුත් එවැනි ගෞරවනීය ආයතනයක සභාපතිවරයා සිය වගකීම නෛතිකව පැවරී ඇති කාර්යභාරය මනාව ඉටු කරන විට ඊට එරෙහිව සෙසු සාමාජිකයින් හැසිරෙන්නේ නම් තත්ත්වය කෙබඳු විය හැකිද?
මානව හිමිකම් අරුතට එරෙහි වූ මත ආකල්ප සහ විරෝධතා ප්‍රචලිත කිරීම දූෂිතයින් වංචනිකයන් සහ මානව විරෝධීන් අතර පවතින මූලික ලක්ෂණයක්.
ඒ අනුව එවැනි තත්ත්වයකට සභාපතිනියට එරෙහි වන කොමසාරිස්වරුන් මේ වන විට පත්වී තිබේද?
අධිරාජ්‍යවාදී හෝ බටහිර සංකල්පයක් වශයෙන් මානව හිමිකම් පිළිබඳ නිර්වචන ගොඩනැගී තිබෙනවා.
නමුත් සැබවින්ම බුද්ධ දර්ශනයේ හරය තුළ ලෝකයේ පළමුවෙන්ම මානව හිමිකම් සඳහා සිය දේශනාව ඉදිරිපත් කර තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ.
විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියේ දැක්වෙන ව්‍යවස්ථාවන් වසර 2500කට පෙර බුදු හිමියන් දෙසූ දහමේ දැක්වෙන දේ යැයි නූතනයේ විද්වත්හු අවධාරණය කරන අවස්ථා අප කොතෙකුත් දැක තිබෙනවා.
මානව සදාචාරය මෙන්ම හෘද සාක්ෂිය පිළිබඳව ස්වයං විනිශ්චයකට ඇති අවස්ථා තහවුරු කරන මානව හිමිකම් කොමිසම තුළම ඊට ප්‍රතිවිරුද්ධව හැසිරෙන, ක්‍රියා කරන කොමසාරිස්වරුන් පත්වීම පිළිබඳවත් සදාචාරාත්මක ගැටලු තිබෙනවා.
දුරාතීතයේ පැවති ආගම් ඇතැම් ඇදහිලි විශ්වාස හේතුවෙන් පුරවැසියන්ගේ එදා මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා ස්වභාවධර්මය දේවත්වයෙන් සැලකූ බව අදාළ පොතපතින් අප ඉගෙනගෙන තිබෙනවා.
ගිගුරුම් හඬ, විදුලිය කෙටීම වැනි දේ තමන්ට පාලනය කළ නොහැකි අද්භූත බලවේගවලට දේවත්වය එදා ජනතාව ආරෝපණය කළා.
වර්තමාන මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු එවන් ඉතිහාසයකට තල්ලුවෙමින් තිබෙනවාද යන්න තේරුම්ගැනීම සඳහා තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කළ යුතු නොවේද?
පුරාණ ඉන්දීය සමාජයේ ව්‍යාප්ත වූ දේවවාදය වැනි සංකල්පයන් තුළ මිනිසා මවන්නේ දෙවියන් විසින් යන අදහස ප්‍රචලිත වී තිබෙනවා.
ඒ අනුව දියුණු සමාජයක යැපෙන අපි තවදුරටත් එවැනි තත්ත්වයක් තුළ දේශපාලනඥයන් විසින් බුද්ධිමත් මිනිසාව ගොඩනගනවාද යන්න මිත්‍යා සංකල්පයක් මත ඇතැම් විද්වත්හු තවමත් ඉන්නවාද යන්න සැක සහිත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
කුලීන, කුලහීන ලෙස මානව වර්ගයා බෙදූ මිණුම් දණ්ඩ නිසා කුල හීනයන්ට ආගම ඇදහීමට තිබූ නිදහස එදා ආගම විසින් ගොඩනගා තිබුණු මිත්‍යා තත්ත්වයක්.
ඒ අනුව තමන්ට පැවරී ඇති වගකීම, කාර්යභාරය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මැදිහත්ව ක්‍රියා කරන විට සෙසු ඇතැම් සාමාජිකයින් ඊට එරෙහිව හැසිරෙන්නේ නම් අප ප්‍රාග් ඉතිහාසය දක්වා තල්ලුවීමක් එයින් ජනිත නොවන්නේද?
ඉන්දියාවේ කුලහීනයන්ට කෝවිල හෝ දේවස්ථානයට ඇතුළු වීම එදා තහනම් වුණා.
දෙවියන් වෙනුවෙන් ස්ත්‍රෝත ගායනය සීමා වුණේ ඉහළ යැයි සම්මත කුලයන්ට පමණයි.
පහත් කුලයක යමෙකු දෙවියන් වෙනුවෙන් ස්ත්‍රෝත ගායනය කළේ නම් එය කට කපාගැනීමට තරම් බරපතල වරදක් ලෙස එදා බමුණු සමාජයේ නීති පනවා තිබුණා.
ආණ්ඩුවට ගැතිකම් කරන ආණ්ඩුවට කඩේ යන ඇතැම් පුරවැසියන් වගකිව යුතු ගෞරවනීය ආයතනයකට පත් වීමෙන් පසු ප්‍රදර්ශනය කරන්නේ එවැනි තත්ත්වයක්ද?
පවතින රජයට ස්ත්‍රෝත ගායනා කිරීම පමණක් කළ යුතු බවට කරන පූර්ව ප්‍රවේශයක් වශයෙන් මේ තත්ත්වය පැහැදිලි නොවන්නේ ද?
පෙරදිග මෙන්ම අපරදිග සමාජයේද උපයන දෙයින් වැඩි ප්‍රමාණයක් පල්ලියට ගෙවීමට ඇතැම් පූජකයෝ එදා බටහිර සමාජය තුළ නියම කර තිබුණා.
ඔවුහු ආගමට මුවාවී දිළින්දන් සූරාකෑම සහ පුද්ගලයින් පීඩනයට පත් කිරීමට කටයුතු කළා.
නමුත් බුද්ධිමත් සහ තෙවැනි ඇසක් තුළින් ප්‍රඥයින් බිහිවීම තුළ නව මතයන් ඉදිරිපත් කිරීම තුළ පවු සමා කිරීමේ බලපත්‍රය, ක්‍රමවේදය බටහිර සමාජයෙන් ඉවත් වුණා.
සිය හිමිකම් රැකගැනීම වෙනුවෙන් අන් අයගේ හිමිකම් අහිමි කෙරෙන අසාධාරණ සමාජ රටාවක් නිර්මාණය සඳහා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ හැසිරීම භාවිතය තුළින් එවැනි තත්ත්වයක් මතු නොවන්නේද?
බුදුදහම තුළ සමානාත්මතාවය, සහෝදරත්වය, සහජීවනය නිරතුරු අවධාරණය කෙරෙනවා.
එදා බුදු හිමියන් කාන්තාවන් උදෙසා භික්ෂුනී සාසනය පිහිටුවා නිසිතැන ලබාදුන්නා.
පාරිභෝගිකයින් විසින් පාරිභෝගික අයිතීන් වෙනුවෙන් බුදු දහමේ පැවති දැක්මට හොඳම උදාහරණය සේරිවානිජ ජාතිකය.
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වර්තමානයේ ප්‍රඥප්තීන් ඇතත් එදා ආලවක දමනය, සෝපාකට සරණවීම් ආදී අවස්ථා සටහන් කළේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ළමා අයිතීන් වෙනුවෙන් සිදුකළ මෙහෙවර යුක්තිය වෙනුවෙන් නොවේද?
එවැනි දර්ශනයක් ඇති ගෞරවනීය සම්භාවනීයත්වයට පත් වූ බුදු රජාණන් වහන්සේගේ පැවැත්ම සඳහා සංඝ සමාජය නියෝජනය කරන භික්ෂුවක් මේ කොමිසමේ කොමසාරිස්වරයකු වශයෙන් පත් වී සිටියදී මූලික බුදුදහමේ හරය තේරුම් ගැනීමට අසමත් වීම ඉතාම කනගාටුවට කරුණක්.
ආගම් හා ඇදහිලි මානව අයිතීන් බොහෝ විට ඓතිහාසික සමාජය තුළ රැකීමට අසමත් වී තිබෙනවා.
ඇතැම් ලබ්දීන් හා ඇදහිලි විසින් පුද්ගලයින්ගේ හිමිකම්වලට එරෙහිව ක්‍රියා කළ ආකාරය ඇතැම් ආගම් පිළිබඳ විමසීමේදී අපට පෙනී යන කරුණක්.
එවැනි තත්ත්වයක් වර්තමාන සමාජය තුළ ව්‍යාප්ත වනවාද යන්න සැක සහිත බව සිතෙන්නේ පූජ්‍ය පක්ෂය නියෝජනය කරන භික්ෂුව විසින් මානව හිමිකම් කොමිසමේ සභාපතිනියට ගෙන යන නීති විරෝධී අරගලය නිසා නොවන්නේද?
යුතුකම් සහ වගකීම් අමතක කර දැමූ සමාජයකට කොමසාරිස්වරු දෙන පණිවිඩය කුමක් විය යුතු ද?
ආගම ධර්මයක් නැති එකා හය හතර නොදත් එවුන් යැයි ගැමි වහර පවසන ඓතිහාසික ප්‍රකාශන වර්තමානයට ගැලපෙන්නේ නැතිද?
කරුණු කෙසේ වෙතත් සදාචාරය හා නීතිය තේරුම්ගෙන වැඩ කිරීම එවැනි ඉහළ තනතුරුවලට පත්වන සාමාජිකයින්ගේ වගකීමක්.
සදාචාරයේ සෝදාපාලුවට ලංකාව තල්ලුවෙමින් යන්නේ මෙවැනි පරිසරයක් නිසා නොවේද?
නීතිය වල් වැදී ඇතැයි යම් අවස්ථාවල මහජනතාව පුන පුනා පවසන්නේ මෙවැනි සමාජ හැසිරීම් හා භාවිතාවන් නිසා නොවේද?
මේ නිසා දේශපාලනය තුළින් කැලෑ නීතිය පිළිබඳව නිර්වචන ඇතැම් දේශපාලන සුනඛයින්ට මතු කිරීමට තවදුරටත් සමාජය අවකාශ දිය යුතු නපුසංකත්වයක් තුළ කොටුවිය යුතුද?
අදහස් උදහස් මෙන්ම ආකල්පයන් තුළ සත්‍ය අසත්‍යය භාවය තේරුම්ගෙන ක්‍රියා කිරීමට අප කවුරුත් තේරුම්ගත යුතුයි.
සදාචාරය නිර්මාණය වන්නේ යහපත් සංසිද්ධින් සමූහයක ක්‍රියාවලියක් තුළින්.
නමුත් මානව හිමිකම් කොමිසමේ වර්තමාන තත්ත්වය තුළ එවැනි සදාචාරත්මක මිනුම්දඬු තිබෙනවාද යන්න ගැටලු සහගත තත්ත්වයකට පුරවැසියන් තල්ලු කරන පරිසරයක් ගොඩනැගෙමින් තිබෙනවා.
පුරවැසියා විසින් සිය ආගම ඇසුරෙන් පුරුදු පුහුණු කරගත් සිතුවිලි අතරින් සුවිශේෂී වටිනාකම් ඉදිරියට ගෙන යෑමට අපහසු තත්ත්වයන් මෙවැනි හැසිරීම් හා භාවිතාවන් තුළින් මතු නොකරන්නේද?
හොඳ නරක තේරුම්ගත් සමජයක නරක ඉවත් කිරීමෙන් හොඳ දේ පවත්වාගෙන යාම අප කාගේත් වගකීමක්.
සදාචාරය නීතියක් ලෙස නීති විද්වත්හු අවධාරණය කරනවා.
රටක සංස්කෘතිය රඳාගනු ලබන්නේ සදාචාරය පිළිබඳ සාමුහික හැඟීම මතයි.
එසේ නම් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරු සාමුහික වගකීමට බැඳෙමින් මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථානුකූල රාජකාරිමය බැඳීම තුළ සිය වගකීම් ක්‍රියාකාරකම් ඉදිරියට කිරීමේ ප්‍රඥාව වර්ධනය වේවායැයි අප බලාපොරොත්තු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න