කෝප් කමිටුව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම අරභයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතාට එරෙහිව කෝප් කමිටුව නීතිමය පියවර ගැනීම අපහසු තත්වයක සිටීම නීතිගරුක ප්‍රජාවට කරන බලවත් අගතියකි.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක සර්වජන ඡන්දබලය මගින් නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කර ගැනේ. එය ජනතා බලය තාවකාලිකව පැවරීමකි.

පසුව එය රජයේ පරමාධිපත්‍ය බලය බවට පත්වේ. ආඥාදායකත්වයේ කැමැත්ත මත අමාත්‍යංශ හා අමාත්‍යවරු ජනාධිපතිවරයා පත් කෙරේ. ජනතා පරමාධිපත්‍ය ප්‍රධාන කරුණු 3 කින් සමන්විත වේ. එනම් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වේ.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවට මැතිවරණ කොට්ඨාසවලින් මහජන නියෝජිතයන් පත් කිරීමෙන් ය. රටේ ජනතාවට හිතකර නියෝජිතයින් පාර්ලිමේන්තුව තෝරා මහජන ඡන්දයෙන් පත් කරන්නේ ජාතික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා නීතිමය ව්‍යවස්ථා සම්පාදනය සඳහා වේ.

කෝප් සභාපතිවරයා කමිටුව ඉදිරියේ බොරු කීමට නිමිත්ත වන්නේ විදුලිබල පනත කඩිමුඩියේ වෙනස් කර මිල ගණන් කැඳවීමෙන් තොරව මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලිබලාගාර ඉදි කිරීමට අදානි සමාගමට ලබා දීම සඳහා ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සභාපති ෆර්ඩිනැන්ඩු මහතාට බලපෑම් කිරීම සම්බන්ධවය.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බලපෑම් කිරීම නිසා මෙය සිදු කළ යුතු බව මණ්ඩලයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කළ බව ප්‍රසිද්ධ ප්‍රකාශයකි. එය පසුව මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්කර ගන්නේ මෙරට රජ්‍ය නිලධාරින් ගේ හා සභාපතිවරුන්ගේ  සැබෑ නිරුවත ප්‍රදර්ශනය කරමින් ය.

පාදඩ දේශපාලන සංස්කෘතිය නිසා ලාංකික සමස්ත ප්‍රජාවම  අන්දමන්දව සිටින පසුබිමක සභාපතිවරයාගේ ප්‍රකාශය බොරු බවට කර ඇති ප්‍රකාශය ලිඛිත ලියුමකින් පමණක් කොප් කමිටුව සෑහීමකට පත් වන්නේද යන්න ජනතාව නගන ප්‍රශ්නයකි.

පරිපාලන නීතිය යටතේ පරිපාලන මූලධර්ම ඇත. නීතියට ඇතුළත් වීම යුක්ති සහගත වීම සාධාරණ මූල ධර්ම කාර්යය පරිපාටිය ප්‍රධාන මූලධර්මය වේ. මේ කඩකිරීම පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නා බව දැනට ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වන වගන්තියේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බව සඳහන් ය. නමුත් රාජ්‍ය නොවන සංවිධාන බුද්ධිමත් ප්‍රජාව මේ සඳහා තවත් ඉදිරියට යා යුතු බව පී එෆ් පී පුවත් (PFP News) විශ්වාස කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය සහ ඒ බලය ක්‍රියාත්මක කිරීම 126 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වේ.

එහි දෙවැනි වගන්තියේ යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති විටක හෝ කඩ කිරීමට ආසන්නව ඇති බවට පුරවැසියකු සිතන්නේ නම් ඒ සඳහා ගරු අධිකරණයේ බලය යෙදවිය හැකිය. එම වගන්තියේ තුන්වැනි ඡේදයේ හබයාස් කෝපුස්, සර්ටියෝරාරි තහනම, ට්‍රොසිබෙන්ඩෝ, මන්ඩාමුස් හෝ ත්වෝ වොරොන්තෝ අඥා අභියාචනාධිකරණයේ  විභාග සඳහා නඩුකර ගොනු කළ හැකිය.

බැලූ බැල්මට පෙනෙන සාක්ෂි ඇති නිසා ප්‍රජාව මේ සඳහා මැදිහත් වීම ඉතාම වැදගත් ය. මාස දෙකක් ඇතුළත අදාළ නඩුකරය අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. රීට් වශයෙන් හඳුන්වන්නේ විධායක හෝ පරිපාලනමය වංචනික ක්‍රියාවන්ට එරෙහිව ඇති පොදු නීතියේ ප්‍රතිකර්මයන් ය.

බලය සහ නිලතල වැරදි අන්දමින් භාවිත කරන අවස්ථාවල රීට් අධිකරණ බලය පුරවැසියන්ට සෘජුව හෝ සිය නීතිඥයකු ගේ සේවය මගින් භාවිත කළ හැකිය. රීට් ආඥා සර්ටියෝරාරි, මන්ඩාමුස්, ප්‍රබෝෂින්,  ත්වෝ වොරොන්තෝ  හා හබයාස් කෝපුස්  වර්ග කීපයකි.

නීතිමය නොවන යම් කිසි රජයේ බලධාරියකු වාචිකව හෝ ලිඛිතව නිකුත් කළහොත් බලය අත්තනෝමතිකව යෙදවුව හොත් (Altra vires) එම තීරණ නිෂ්ප්‍රභ කිරීම සඳහා සර්ටියෝරාරි ආඥාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගත හැකිය.

ජනතාවගේ බලය අත්තනෝමතිකව යෙදුව හොත් එම තීරණය හා ප්‍රකාශය අවලංගු කිරීම සදහා මහජනතාව අවදි වීම ඉතාම වැදගත්ය. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රකාශය නැවත වරක් ඉල්ලා අස් කර ගැනීම තුළ මේ තත්වය පැන නැගී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ (කෝප් කමිටුව) විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශය මෙහි නිමිත්තයි.

පාදඩ දේශපාලන සංස්කෘතිය නිසා ලාංකික සමස්ත ප්‍රජාවම අන්දමන්දව සිටින පසුබිමක සභාපතිවරයාගේ  ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පමණින් ම නොසලකා හැරීම කෝප් කමිටුවේ වගකීම නොවේ.

අදානිට ලබා දීමෙන් ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ සුළංවලින් නිෂ්පාදනය කරන විදුලිය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 160 ක් ගෙවීම ට ජනතාවට සිදු වේ. සුළං විදුලි බලාගාර කඩිනමින් ඉදි කිරීම සඳහා ස්වදේශීය ව්‍යවසායකයන් දිරි ගැන්වීම රජයේ යුතු කමකි.

එය තරගකාරී මිල ගණන් අනුව මිල දී ගැනීම රජයේ මූලධර්මය විය යුතුය.

ඉන් බැහැරව අදානි සමාගම ට සුළං බලාගාර ඉදිකිරීමට ලබා දීම ලාංකික ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි.

ස්වදේශික සමාගමක් ඩොලර් මිලියන 75 කින් වාර්ෂිකවවිදුලිය සැපයීමට ඉදිරිපත් වී ඇති පසුබිමක ජනතාව ආතතියෙන් ආතතියට නැඹුරු කිරීම වගකිව යුතු රජයක යුතුකම නොවේ.

ඉන් ප්‍රදර්ශනය වන්නේ  ගෝඨාභය-රනිල් ආණ්ඩුවේ රාජ්‍ය දුරාචාරයයි.

අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ස්ංස්ථා මණ්ඩල සභාපතිවරු පත් කරන්නේ අමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ  සහ ජනාධිපතිවරයාගේ ලැදියාවන් හා ඉලක්ක මතයි.

පරිපාලන නිලධාරින්ගේ සිට ග්‍රා. නිලධාරි පත්වීම දක්වා පත් කිරීමේ වගකීම මෙන්ම ඔවුන්ගේ අවභාවිතයන් හා වංචාවන් බොරු කීම දක්වා  ක්‍රියා කිරීමට ආයතන සංග්‍රහයක් ඇතත් එය මනාව විනිවිදව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවේ.

මේ නිසා අමාත්‍යංශ ලේකම්වරුන් ගේ සිට ග්‍රා. නි. දක්වා බොරුව මෙවලමක් කර ගෙන හැසිරෙන හා භාවිත වන රාජ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවට උරුම වී තිබේ.

නමුත් රාජ්‍ය අංශයේ සමස්ත නිලධාරින් ගේ අගතිගාමී හා රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණයට කුමන්ත්‍රණය කිරීම අයුතු ලාභ ලැබීමට බොරු කීම නෛතික සාක්ෂි පදනම් කරගෙන ගරු අධිකරණය දක්වා චෝදනා ඉදිරිපත් කිරීම පාරිශුද්ධ වගකිව යුතු අංශවල වගකීමය.

මහජනතාවගේ විදුලි බිල සියයට තුන්සියයකින් (300%) වැඩි කළ යුතු බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසා සිටින්නේ මැති ඇමතිවරු ඇතුළු ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව විදුලි බිල් ගෙවා නැති පසුබිමකය.

එක් කෝටි විසි හය ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි ශත අසූ තුනක මුදලක් (රු.12,656,803.83) මණ්ඩලයට ගෙවීම පැහැර හැර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතාය.

ඒ පසුගිය මාසයේ දෙසැම්බර් අවසානය දක්වා වූ මුදලක් පමණි.

නමුත් එවැනි අවස්ථාවල දී විදුලිය විසන්ධි නොකර දැනුම් දීම පමණක් මණ්ඩලය සිදු කරයි. නීතිය පොදුවේ සැමට සමාන විය යුතු ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද පැහැදිලිව කරුණු දක්වා තිබේ.

මෙවැනි හිඟ මුදල් බිල්පත් නොගෙවා සිටින පාර්ශ්වවල සැබෑව නිරුවත් නොකර සාමාන්‍ය මහජන විදුලි පාරිභෝගිකයන් ගේ විදුලි බිල වැඩි කිරීමට උත්තේජනය මතු කරන සභාපතිවරයාගේ රාජ්‍ය දුරාචාරය ඉන් ප්‍රකට කරයි.

සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ බොරු කීවේ ආතතිය නිසා බව කියා ඇත.

මහ ජනතාව අසීරුවට පත්ව ඇති සමාජ පසුබිමක 300% විදුලි බිල වැඩි නොකර සේවක පඩි ගෙවීමට අපහසු බවට සභාපතිවරයාගේ ප්‍රකාශයෙන් ලාංකික ප්‍රජාව ගේ ආතතිය කෙබඳු විය හැකිද?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් සඳහා මහජනතාව නෛතික පියවර සඳහා පෙළඹවීමේ වගකීම ඇත්තේ විපක්ෂ දේශපාලන පක්ෂවලටය.

මහජන මුදලෙන් යැපුණු ෆර්ඩිනැන්ඩු සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සෑහීමකට පත් වීම ප්‍රමාණවත් ද?

මණ්ඩලයේ සභාපතිවරයා සත්‍ය ප්‍රකාශ කිරීම නිසා සිය ධූරයෙන් ඉල්ලා අස්වූවාද?

තත්වය මෙසේ නම් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ කප්පාදුවක් ගෝඨා-රනිල් ආණ්ඩුව ආරම්භ කර තිබේ ද?

හිට්ලර්, මුසලෝනිලා සිහිපත් කිරීමත් ඉන් සිදු නොවන්නේ ද?

2021 නොවැම්බර් 25 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට යවන ලද ලිපියෙන් අනාවරණය වන සත්‍ය කුමක් ද?

මෙසේ ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ සහචර ධනවාදයේ ප්‍රකාශයක් ද?

අදේශක දේශපාලන නඩවල ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ද?

ලාංකික ප්‍රජා ආකෘතිය තේරුම් නොගැනීමේ අද්‍යතන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නොහැකියාව නිසා සමස්ත  රටම ආර්ථික අර්බුදයකට තල්ලු වීම ද?

දේශපාලන පක්ෂ ලැදියාවන් ගොනු කර ගෙන ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන විද්වත් සමාජ සංස්කෘතියක් යථෝක්ත ප්‍රශ්නවලින් මතු නොවන්නේ ද?

මේ නිසා සමාජ අරගලය ගෘහස්ථවල කුස්සියේ සිට නාගරික ග්‍රාමීය ප්‍රාදේශීය විවිධ ක්ෂේත්‍ර හා වීදි දක්වා විහිදී ඇත.

සමාජ කැළඹීම පාලක, විපක්ෂ ඉදිරිපිට කැඩපතක් සේ ප්‍රදර්ශනය වෙමින් තිබේ.

මේ දෙපක්ෂයට ම විධිමත් දැක්මක් හෝ අනාගත වැඩපිළිවෙලක් පේන මානයක නැත.

  • සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න