කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා වෙනුවෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක් සම්බන්ධව අවධානය යොමු කරමින් ඔහුට ඇප ලබා දීම ගැන සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් මේ මස 09 වැනි දිනට ( 03 වැනිදා ) කල් තබන ලදී.
තවද දැනට සැගවී සිටින සැකකරුවන් තිදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා දොන් සරත් කුමාර එදිරිසිංහ යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධව සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ද මහේස්ත්‍රාත්වරිය විසින් එදිනට (09 වැනි දිනට) කල් තැබුවාය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
මේ නඩුව ( 03 වැනිදා ) පෙරවරුවේ නැවත කැඳවු අවස්ථාවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවීන් වීරකෝන් , හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ජයන්ත සිංහබාහු කබ්රාල් යන තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු අතර ඔවුන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලදී.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කිහ.
දැනට සැගවී සිටින ප්‍රසන්න රණවීර , මිල්රෝයි පෙරේරා හා දොන් සරත් කුමාර එදිරිසිංහ යන තිදෙනා අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශන කණ්ඩායම් කීපයක්ම යොදවා තිබෙනවා. ඔවුන් පදිංචි නිවෙස් වලින් පලා ගිහින් සිටිනවා. මේ බව ඔවුන්ගේ ඥාතීන්ගෙන් හා ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරින්ගෙන් ලබා ගත් ප්‍රකාශ වලින් තහවුරු වුනා.
මේ අතර ඔවුන් සම්බන්ධව ලැබුණු තොරතුරු මත විවිධ ප්‍රදේශවල අවන්හල් හා නිවාස පවා සෝදිසියට ලක් කළා. ඒත් එම ස්ථානවල ඔවුන් සිටියේ නැහැ. දැන් ඔවුන් රටේ නීතියට අවනත වී සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ඔවුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී දෙවන සැකකාර හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
දෙවන සැකකාර මර්වින් සිල්වා යන අයට මේ නඩුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නට කීවා. ඒ අනුව ඔහු ගිහින් ප්‍රකාශයක් ලබා දුන්නාට පසුව ඔහු අත් අඩංගුවට ගත්තා. ඔහු කිසිවිටක අධිකරණය මගහැර සිටියේ නැහැ.
මේ නඩුවට තුඩු දී තිබෙන ව්‍යාජ ඔප්පුව සකසා තිබෙන්නේත් ලියා තිබෙන්නේත් විමල් අත්තනායක කියලා පුද්ගලයෙකුයි. ඔහු තවම නිදැල්ලේ සිටිනවා. ඔහුට එරෙහිව කටයුතු කර නැහැ. දෙවන සැකකාර මර්වින් සිල්වාට තිබෙන චෝදනාව හිස් කොළයකට අත්සන් කරන්නට කියලා කීවා කියන දේ පමණයි. ඔහුට වෙන කිසිම චෝදනාවක් නැහැ.
දැන් ඔහුට වයස අවුරුදු 82 යි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැන් දිනෙන් දිනම දුර්වල වෙමින් පවතිනවා. මේ සම්බන්ධව ඔහුගේ බිරිඳ විසින් අද දින දිවුරුම් ප්‍රකාශයක් සමග වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. මේ ගැන අධිකරණයේ අවධානය යොමු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා.
මේ සැකකරුට ඇප ලබා ගැනීම සදහා මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. එය ලබන මැයි මස 07 වැනි දිනට කැඳවීමට ද නියම කර තිබෙනවා.
තුන්වන සැකකාර කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් වෙනුවෙන් පෙනි සටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
මේ තුන්වන සැකකරු අධික රුධිර පීඩනයෙන් පසුවෙනවා. ඔහුට අවශ්‍ය ඇතැම් ඖෂධ බන්ධනාගාර රෝභලේ නැහැ. ඒවා පිටතින් ගෙන්වා ගැනීමට අවසරය ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
පළමුවන සැකකාර නවින් වීරකෝන් වෙනුවෙන් පෙනි සටි නීතීඥ විරේන්දා කනංකෙගේ මහත්මිය විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබා ගැනීම සදහා මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බව යන්නය.
මෙහිදී දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් දෙවන සැකකරුට ඇප ලබා දීම සම්බන්ධව සලකා බලා තීන්දුව ලබා දීම හා සැඟවී සිටින සැකකරුවන්ට වරෙන්තුවක් නිකුත් කිරීම ගැන සලකා බලා තීන්දුව ලබා දීම ප්‍රකාශයට පත් කිරීම මේ මස 09 වැනිදා දිනට සිදු කරන බවත් එතෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක විජේතුංග උප පොලිස් පරික්ෂක සම්පත් හා පොලිස් සැරයන් ඩෙන්සිල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥවරුන් වන විශ්ව ගුණරත්න විරේන්දා කනංකෙගේ හා දේශාල් පෝල් ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.