කෲර වධහිංසනයට ලක් කොට එප්පාවල කිරලෝගම ශ්‍රී රුක් සෙවණ අසපුවේ වැඩ විසූ හැට නව හැවිරිදි හිමිනක් අභිරහස් ලෙස ඝාතනය කළ බව කියන සැකකරු වහා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය පෙරේදා (25) රාත්‍රී එප්පාවල පොලීසියට නියෝග කළාය.
(25) පස්වරුවේ 2.30 ට පමණ උන්වහන්සේ අසපුව ඉදිරිපිට හාන්සි පුටුවක සිටියදී කිසියම් පුද්ගයෙකු විසින් මුහුණ තියුණු ආයුධයකින් කපා විකෘති කොට අනතුරුව උන්වහන්සේගේ රහසග කපා රැගෙන ගොස් තිබියදී පෙරේදා (25) පස්වරුවේ එම අසපුව වෙත වැඩම කළ වෙනත් හිමිනමක් විසින් අසපුවේ වැඩවිසූ හිමිනම මියගොස් සිටි අයුරු දැක එම අවස්ථාවේ දී පොලිසිය වෙත කළ දැනුම්දීමක් මත එප්පාවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද රණවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ.
මෙලෙස ඝාතනය කොට ඇත්තේ එප්පාවල කිරලෝගම කදුරුගස්වැව පිහිටි ශ්‍රී රුක් සෙවණ අසපුවේ වැඩවිසූ පූජ්‍ය මහවිලච්චියේ පේමරතන හිමියන්ය.
ඝාතනය කළ බව කියන උන්වහන්සේ ඉකුත් 23 වෙනිදා රාත්‍රී 8.29 ට අවසවරට කිසියම් අයෙකුට දුරකථන ඇමතුමක් ලබා ගෙන ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මේ අතර උන්වහන්සේට අයත් බව කියන රතු පැහැති ත්‍රීරෝද රථයද එම සිද්ධියෙන් පසු අතුරුදහන්ව ඇති බවටත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
උන්වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත (25) පස්වරුවේ කරුණු වාර්තා කිරීමෙන් පසු ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
මේ පිළිබඳව එප්පාවල පොලිස් ස්‍ථානාධිපති මහින්ද රණවීර මහාතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.