අභිනවයෙන් ඉදි කරන ලද ගාල්ල නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය , ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (19) සිදු විණි.
ගාල්ල කොටුව තුළ පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිලි තුළ පවත්වාගෙන යනු ලබන අධිකරණවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා පැරණි ගොඩනැගිලි නඩත්තුව සදහා විශාල වියදමක් දැරීමට සිදු වීම හේතුවෙන් ගාල්ල බෙලිගහ හංදිය ප්‍රදේශයේ හෙක්ටයාර 1.856 ක ඉඩමක නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමට 2013 ජනවාරි මස 12 වැනි දින එවකට කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු කර තිබේ.
ගාල්ල නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම ව්‍යාපෘතියේ කටයුතු 2014 ජනවාරි මස 20 වන දින ආරම්භ කළ ද විවිධ හේතුන් නිසාවෙන් ව්‍යාපෘතිය අතරමග නැවතිණි. ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදි කිරිම ව්‍යාපෘතිය – දෙවන අදියර ලෙස 2020 සැප්තැම්බර් 21 වන දින ආරම්භ කළ අතර, වත්මන් අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් අනුව ඉදි කිරීම් කටයුතු කඩිනමින් කරන ලදී.
රුපියල් මිලියන 1600 ක මුදලක් ගාල්ල නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සදහා වැය කර ඇති අතර, අධිකරණ සංකීර්ණය මහල් හයකින් සමන්විත වෙයි.
සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසා අධිකරණ තුනක්, මහෙස්ත්‍රාත් අධිකරණ දෙකක්, ක්වාසි අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක්, පරිවාස කාර්යාලයක්, ණය සහනදායී මණ්ඩලය සදහා කාර්යාලයක්, ඇතුළු අධිකරණ සදහා අවශ්‍ය සියලු පහසුකම් නව අධිකරණ සංකීර්ණයට අන්තර්ගත වේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළේය.
ගාල්ල අධිකරණය හා නීතිඥ ප්‍රජාව දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. මෙතෙක් කාලයක් ගාල්ල අධිකරණයේ කටයුතු ගාල්ල කොටුව තුළ ස්ථාපිත අධිකරණ ගොඩනැගිලි තුළ සිදු කරනු ලැබුවා. 2013 වසරේ ගාල්ල බෙලිගහ මෙම අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම සිදු කළත් විවිධ බාධක හේතුවෙන් වැඩ අවසන් කිරීම සදහා වසර 12 ක පමණ කාලයක් ගත වුණා. පසුගිය කාලය තුළ සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නතර කර තිබුණත් අතිගරු ජනාධිපතිතුමා ඒ සදහා ප්‍රතිපාදන ලබා දුන්නා. පසුගිය කාලය තුළ මාතර, රත්නපුර, වැලිමඩ, තෙල්දෙණිය නව අධිකරණ ගොඩනැගිලි විවෘත කිරීමට හැකියාව ලැබුණා. 2015 – 2016 කාලය තුළ අධිකරණ සංකීර්ණ 40 කට පමණ මුල්ගල තැබීමට හැකි වුණා. ඒවා මේ වන විට විවෘත කර තිබෙනවා. මේ රට අරාජික වු අවස්ථාවේ අපි වගකීම් භාර ගත්තා. රට අරාජික වීමට ප්‍රධාන හේතුව බවට පත් වුණේ නීතියේ ආධිපත්‍යය බිද වැටීමයි. වෙනසක් අවශ්‍ය බවට ප්‍රකාශ කළ අයට නොහැකි වුවත් අපි අවශ්‍ය වෙනස සිදු කළා. නීතිය හදනවාට වඩා වැදගත් වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. පවතින අභියෝග ආශිර්වාදයක් කරමින් රටට අවශ්‍ය වෙනස අපි කළා.
දේශපාලන අවශ්‍යතා අනුව මේ අධිකරණය විවෘත කරන බවට මාධ්‍ය මගින් ඇතැම් අය ප්‍රචාරය කර තිබුණා. අපි මේ අධිකරණය විවෘත කළේ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න නොවෙයි. එම මාධ්‍ය ප්‍රකාශ තුළින් දුටු ගැමුණු රජතුමාටත් අපහාස කර තිබුණා. දුටු ගැමුණු රජතුමා රුවන්වැලිසෑය සළු පිළිවලින් වසා විවෘත කළා වගේ මේ අධිකරණ සංකීර්ණය විවෘත කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. දුටුගැමුණු රජතුමා සළු පිළිවලින් වසා රුවන්වැලිසෑය හැදුව නිසා අද බැතිමතුන් ගෞරයෙන් වන්දනා කරනවා. මේ අධිකරණ සංකීර්ණයේ අඩු පාඩු තිබෙනවා. නීතිඥ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් ගේ කාර්යාල පහසුකම් සදහා මුල්ගල තැබු කාර්යාල සංකීර්ණයේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද අමාත්‍යතුමා සදහන් කළේය.
ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, , සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, රුවන් ආසිරි ද සිල්වා යන මහත්වරුන් අදහස් පළ කළ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ, ලලිත් යු ගමගේ, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය , නීතිඥ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩක්රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් රෝහණ හපුගස්වත්ත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු ගරු විනිසුරුතුමන්ලා, නීතිඥ මහත්ම මහත්මීන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මෙම අවස්ථාවට එක්වුහ.
ගාල්ල නීතිඥ සංගමය විසින් ගරු ජනාධිපතිතුමා ඇතුළු ප්‍රධාන ආරාධිතයින් වෙත සමරු තිලිණ ප්රදානය කිරීම මෙහිදී සිදු විය.