වැලිකන්ද පොලිස් ලොක්කාගේ දේපල තහනම් කරන්නට පොලොන්රුව අධිකරණය තීරනය කරයි!
පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරි ගවයින් 20 දෙනෙකු රජයේ සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබියදී එකී අධිකරණ නියෝග කඩ කරමින් අදාල කිරි ගවයින් ජාවාරම් කරුවන් පිරිසකට මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට අධිකරණය මගහැර පළා ගොස් සිටින වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සතු වත්කම් සහ නශ්චල, චංචල දේපල තහනම් කර අධිකරන බාරයට ගන්නා ලෙස ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අන්වර් සදාස් නියොග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, එම කාර්යාංශ වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයින් විසි දෙනෙකු 2024 වසරේ සැප්තැම්බර් 23 දින පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, එම සතුන් රජයේ සත්ව ගොවිපොලකට භාර දෙන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා සැකකාර වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායක මහතාට මීට පෙර නියෝග කර තිබිණ.
එහෙත් අදාළ නියෝග කඩ කර ඇති වැලිකන්ද පොලිස්ස්ථානාධිපතිවරයා ජාවාරම්කරුවන් පිරිසකට මෙම කිරි ගවයන් අලවි කර, වංචනික ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල විය.
පසුව ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා මීට පෙර අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කරනු ලැබීය.
අධිකරණ නියෝගයට අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙහෙයුම ඇරඹුවද සැකකාර ස්ථානාධිපතිවරයා පොලිසිය සහ අධිකරණය මග හරිමින් පලා ගොස් තිබිණ.
පසුව ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝග කරමින් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට වරෙන්තු නිකුත් කළේය.
වරෙන්තු නිකුත් කල දිනයේ සිට මේ දක්වාම සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළද සැකකාර ස්ථානාධිපතිවරයා සිටින තැනක් සොයා ගැනීමට නොහැකි වූ බව පසුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව වැලි කන්ද පොලිස්, ස්ථානාධිපතිවරයා සතු සියලු වත්කම් සහ චංචල නිශ්චල දේපල තහනම් කිරීමට මෙලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ වත්කම් සහ නිශ්චල, චංචල දේපල තහනම් කර අධිකරණය බාරයට ගන්නා ලෙසත් සැකකාර ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වා ගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර, එම මුදල්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද මහ බැංකු අධිපතිවරයාටද තව දුරටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර ස්ථානාධිපතිවරයාට විදේශ ගත වීම වළකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග කළේය.