ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ (The National Steering Committee on Elimination of Child Labour) මෙම ර්වෂය සඳහා වන පළමු රැස්වීම පසුගියදා (11) නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට අදාල අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් විය.

ළමා ශ්‍රමය තුරන් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ පිහිටුවා ඇති මෙම ජාතික මෙහෙයුම් කමිටුව 8.7 සන්ධානය ( Alliance 8.7 ) නම්වූ තිරසර සංර්වධන ඉලක්ක 8.7 සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරී එකමුතුව ( Working Group ) ලෙස ද කටයුතු කරයි. ඒ අනුව, 2030 ර්වෂය වන විට සියලුම ආකාරයේ ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව ප්‍රකාශයට පත් කිරීම අරමුණු කර ගනිමින් කම්කරු දෙපාර්‌තමේන්තුවේ www.labourdept.gov.lk වෙබ් අඩවිය හරහා හඳුන්වා දී ඇති සේවායෝජක ප්‍රතිඥාව ලබාදීමේ වැදගත්කම ද මෙම රැස්වීමේදී අවධාරණය කරන ලදි.

ළමා ශ්‍රමය වැළැක්වීම සහ වාර්තා කිරීම සඳහා මාධ්‍ය සහ ප්‍රජා පොලිස් කමිටුවල දායකත්වය සහිතව බිම් මට්ටමේ මහජනතාවගේ දැනුවත් භාවය වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. ජාතික මට්ටමේ සංඛ්‍යා ලේඛන කෙරෙහි අවධානය යොමු කිරීමේදී දකුණු ආසියාව තුළ ළමා ශ්‍රමය අවම රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතීම සම්බන්ධයෙන් සතුටු විය යුතුව ඇති බවද මෙහිදී පෙන්වා දෙන ලදි. ළමා ශ්‍රමය රට තුළින් සම්පූණයෙන්ම තුරන් කිරීම සහතික කිරීම සඳහා ක්ෂණික හා ඵලදායී පියවර ගත යුතුව ඇති බවටද, මෙම ජාතික මෙහෙයුම් කමිටුවේ නියොජිතයෝ එකඟතාව පළ කළහ. විශේෂයෙන්ම, ළමයින් සේවයේ යෙදවීම සම්බන්ධව පසුගිය වසරේ පැවැති නඩුවකදී රුපියල් ලක්ෂ පහක් වන්දියක් ලෙස, අගතියට පත් ළමයා වෙත ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර ඇති බව ද මෙහිදී අණාවරණය විය.

කම්කරු දෙපාර්‌තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීති සහ කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර යන මහත්වරුන් ද ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ පාශවකරුවන් වශයෙන් අදාල අමාත්‍යාංශ සහ දෙපාර්‌තමේන්තු ප්‍රධානීන්,රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජිතයන්,සේව්‍ය – සේවක සංගම් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශීය නියෝජිතයන් ද එක්ව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න