පාරිභෝගිකයා නොමඟ යවමින් හා තරඟවිරෝධී ලෙස ව්‍යාපාරික කටයුතු කරනු ලබන ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනයකදී ජලනළ උපාංග සහ නානකාමර උපාංග වෙළඳ ලාංඡන හා නාමයන් ව්‍යාජ ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ 14 ප්‍රදේශයේදී 2024.12.11 දින වැටලීමක් සිදු කරන ලදී.
එහිදී පැමිණිලිකාර ආයතන විසින් බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කරගෙන ඇති වෙළඳ ලාංඡන හා නාමයන් වන චීනස්, ප්ලම්බර් හා රයිඩා යන ජලනළ උපාංග සහ නානකාමර උපාංග කොළඹ 14, ශාන්ත ජෝසප් වීදිය අංක 180/1 පිහිටි A.N.M. Trading Lanka (Pvt) Ltd සමාගම විසින් ව්‍යාජ හා කූට ලෙස සකස් කර, තොග චාජයෙන් අලෙවි කිරීම සහ අලෙවි කිරීමට ගබඩා කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරන ලදී.
එය සම්බන්ධයෙන් අදාළ චින්නිකාර සමාගම සහ M. Habbulla Mohamed Asfar යන අයට විරුද්ධව 2024 දෙසැම්බර් 17 දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරන ලද අතර, එහිදී ඔවුන් වරද පිළිගැනීමෙන් පසු ගරු අධිකරණය මඟින් එම සමාගමට රු. 25,000ක් සහ M. Habbulla Mohamed Asfar යන අයට රු. 25,000 බැගින්, ඊට අදාළ නඩු 3ක් සඳහා රු. 150,000ක දඩ මුදලක් නියම කරන ලද අතර, අදාළ ව්‍යාජ ලෙස ආනයනය කර බෙදාහැරීමට ගබඩා කර තිබූ, රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමක් සහිත භාණ්ඩ තොගය විනාශ කිරීමට ගරු අධිකරණය නියම කළේය.
ඒ අනුව, පාරිභෝගිකයින්ට භාණ්ඩ සැපයීමේදී ව්‍යාජ නිෂ්පාදන පිළිබඳ සැලකිලිමත් වන ලෙස ව්‍යාපාරිකයින් දැනුවත් කරන අතර, භාණ්ඩ මිලදී ගැනීමේදී ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ප්‍රජාව වෙත දැනුම්දෙයි.
තරඟවිරෝධී ලෙස පාරිභෝගිකයින් නොමඟ යවමින් වෙළඳ නාමයන් ව්‍යාජ ලෙස භාවිතා කරන වෙළෙන්දන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරඟකාරිත්ව ප්‍රවර්ධන අංශය වෙත පැමිණිලි කළ හැකි අතර, අදාළ විමර්ශන සම්පූර්ණ වූ පසු නඩු පැවරීමට කටයුතු කරනු ලැබේ.