පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්හි කාර්යය සමාලෝචන පළමු සමුළුව අද, දකුණු පළාත මූලික කරගනිමින් පැවැත්විණි. ඒ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී යි. සමුළුව පැවැත්වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් සහ දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, Clean sri lanka යනු හුදෙක් කැළිකසළ ඉවත් කිරීම පමණක් නොවන බවයි.රාජ්‍ය සේවය සේම, මහජනතාවද සමාජයීයව සහ ආයතනගතව ද පිරිසිදු විය යුතුය යන්න Clean Sri lanka ව්‍යාපෘතියට අයත් බව ඒ මහතා පෙන්වා දුන්නේය. කිසිදු බලපෑමක් නොමැතිව රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි පරිසරය සකසන බවට සහතිකවන බව ද අමාත්‍යවරයා, ප්‍රකාශ කළේය.
මේ අතර, නව රජයේ වැඩපිළිවෙළට අනුගතව ඒ සමඟ සමානුපාතව රාජ්‍ය සේවය සැපයීමෙන් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම පහසුවන බව සමුළුවට සහභාගී වූ පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පෙන්වාදුන්නේ පෙර පැවති දේශපාලන සංස්කෘතිය තුළ පත්වීම් මාරුවලට මුවාවෙන් සිදුකෙරුණු දේශපාලන පළිගැනීම්වලට හෝ දේශපාලන ධාරාවෙන් එල්ලවන පීඩනයන් හේතුවෙන් කාර්යය කුමක්ද වූවද, රටට අයහපතක් සිදුවන දේ වල දී පවා මුනිවත රැකීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් රාජ්‍ය සේවකයාට සිදුවූ බවයි. නමුත් වර්තමාන රජය යටතේ එවැනි බලපෑම් සිදුනොවන බවත්, නිවැරදි දිශානතියකට රට යොමුකරවීමේදී රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෙනි සිටින බවත්, රාජ්‍ය සේවකයා නිවැරදි නම් එවැනි අවස්ථාවලදී රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීමට බැදීසිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට ගොඩනැගීමෙහි ලා රාජ්‍ය සේවකයා සතුව විශාල වගකීම්ක් සහ කාර්යය සමුදායක් බැදී පවතින බවයි.ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඇපකැපවී කටයුතු කළයුතු බවද අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙන්වා දුන්නේ ය.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතාගේ මූලික යෝජනාවක් අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් මෙම සමාලෝචන සමුළු දිවයින පුරා පැවැත්වීමට නියමිතව පවතී.
වත්මන් රජයේ ප්‍රධාන අරමුණු ත්‍රිත්වයට අයත් කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට ඇති ඉදිරි වගකීම් පිළිබඳ සාකච්ඡා කිරීම සහ සැලසුම් සාකච්ඡාවට ලක්කිරීම ප්‍රධාන ලෙස සිදුවෙයි. දරිද්‍රතාවය තුරන් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය වැනි අරමුණු ඉතා ඉක්මනින් සාර්ථක කරගැනීමටත් එහි ප්රතිලාභ මහජනතාවට සමව ලැබෙන සේ ක්‍රියාත්මක කිරීමටත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන යොදාගැනීම මෙහි මූලික අරමුණයි. එමෙන් ම එම ආයතන වල කාර්යය සාධන මට්ටම වර්ධනය වෙනුවෙන් වූ ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කරගැනීම ද මෙහි අපේක්ෂාවකි.
සමුළුව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර යන මහත්වරුන් මෙන්ම දකුණු පළාතේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරු සහ නිලධාරිහු සහභාගීවී සිටියහ.