නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙති.

පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා ඉදිරියේ අද (17) දිවුරුම් දුන්හ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ගරු අර්ජුන සුජීව සේනසිංහ, ගරු මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ ගරු මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගරු මොහොමඩ් ෆයිසර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් මෙසේ දිවුරුම් දුන්හ.

නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු මෙම නව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබූහ.

පසුගිය නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය. ඒ වන විට සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4 ක් සඳහා නම් ගැසට් කොට නොතිබුණු අතර පසුගිය 12 වැනිදා මෙම නව මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට තිබුණි. ඒ අනුව මෙසේ එම මන්ත්‍රීවරුන් සිව්දෙනා අතරින් තිදෙනෙකු අද දිවුරුම් දීම සිදු විය.

එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම ගැසට් කොට නොතිබුණු අතර පසුගිය 11 වැනිදා එම මන්ත්‍රී ධුරය සඳහා නම ගැසට් කොට තිබුණි. මේ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ගරු මොහොමඩ් ෆයිසර් මුස්තාෆා මහතාද අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු කළේය.

මින් පෙර ගරු අර්ජුන සුජීව සේනසිංහ, ගරු මනෝ ගනේෂන් සහ ගරු මොහොමඩ් ෆයිෂර් මුස්තාෆා යන මහත්වරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් ලෙස කටයුතු කොට තිබේ.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න