- ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව පවසයි…
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ප්‍රමුඛ එක්සත් ජනපද ඉහළ පෙළේ නියෝජිත පිරිසක් කථානායක ගරු. (ආචාර්ය) අසෝක රන්වල මහතා 2024.12.06 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවූහ.
ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතනයේ (USAID) ආසියා කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur) මහත්මිය සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth) මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත්ව සිටියහ.
ජනතාවගෙන් ලැබුණු ජනවරම ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, වගවීම, විනිවිදභාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහිත පාලනයක් ලෙස වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (USAID) අනුග්‍රහය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ගණනාවක් ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබඳතාව ඉහළ නැංවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් කථානායකවරයා ඒ පිළිබඳව සිය ස්තුතිය පළ කළේය. එසේම ඉදිරියේදීත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපද සහාය අපේක්ෂා කරන බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහය තවදුරටත් ලබාදීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ප්‍රමුඛ දූත පිරිස මෙහිදී ප්‍රකාශ කළහ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය, USAID මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් රණප්‍රිය අබයසිංහ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














