දේශීය වෙදකම හා බැදුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යන කෘතිය පිළිබඳව විශ්ලේෂණයේ දී අවධානය යොමු නොවුණු පැති කිහිපයක් අද විචාරය තුලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .
පුරවැසියෙකුගේ මනස ප්‍රධාන බලවේග තුනකින් සමන්විත යි .
විඥානය , අවිඥානය , උපවිඥානය .
මේ ක්‍රියාදාමයන් තුළ , පරිසරය තුළ තමයි භෞතික , කායික , මානසික ගැටලු යම් පුරවැසියකුට උද්ගත වෙන්නේ .
ජාතියක ඇදහිලි , ජීවන ශිල්පීය ක්‍රම , කෞශල්‍ය , වෙදකම් සියල්ලක ඓතිහාසික බවක් තියෙනවා .
ඒත් පුද්ගලයාගේ චරිත ප්රකාශනය කිරීමේ දී අපට සංස්කෘතියේ ලකුණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා .
ඒ පුළුවන් වීම මිනිසා සතුව පවතින ගති පැවතුම් ගුණ සමූහයට සංස්කෘතිය යැයි කියන්න පුළුවන්.
ශිෂ්ටාචාරයේ සංකලනයන් තුළින් විවිධාකාර ගති පැවතුම් ඇති වෙනවා.
එය වැළැක්විය හැකි හෝ වළක්වන්නට උවමනා කරුණක් ද නොවේ.
දැන උගත්කම , විනිශ්චය , විශ්වාසය අනුවත් ගති ගුණ පිළිබද පදාර්ථ වශයෙන් , ජාතික වශයෙන් ලාංකික සමාජ සංස්කෘතිය තුළ යම් යම් අරටු තිබිලා තියෙනවා .
මේ පිළිබදව සියුම් ලෙස විග්රහ කිරීම මෙවැනි කෘතියක ප්‍රධාන ඉලක්කයක් විය යුතුයි.
මේ කෘතිය තුළ මේ ක්ෂේත්රය පිළිබදව ප්‍රශ්නාවලි ක්‍රමයෙන් තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කරුණු ගොනු කරගෙන තියෙන්නේ.
පරම්පරාවෙන් ලද දැනුමක් ද , නැත්නම් විශේෂ දේව වරමක් ද , මන්ත්‍ර බලයක් ද නැතහොත් වෙනත් උපක්‍රමයක් ද යන වග මේ පොතේ ගොනු වෙලා තියෙනවා .
සහය වන්නේ විශේෂ දෙවි කෙනෙක් ද , මළගිය ප්රාණකරුවෙක් ද , ප්‍රේත භූත නාග හෝ යක්ෂ ආත්මයක් ද යන වග පොතේ සටහන් වෙලා තිබෙනවා .
රෝගියෙකු හඳුනාගන්නේ අදාළ වෛද්‍යවරයා කොහොම ද ?
ඒ සඳහා වෛද්‍යවරයා අනුගමනය කරන්නේ කෙබඳු ක්‍රමවේදයක් ද ?
මේ ප්‍රශ්නාවලිය තුළ ගොනු වෙලා තිබෙනවා .
ඒ අදාළ මන්ත්රාචාර්යවරයා හෝ පාරම්පරික වෛද්‍යවරයා කටයුතු කරන්නේ තනිවම ද , කණ්ඩායමක් වශයෙන් ද ?
ලෙඩ සුව කරන්නේ කවර ආකාරයෙන් ද?
ඒ සදහා යොදා ගන්නා මන්ත්‍ර බෙහෙත් ද්‍රව්‍ය ආදීය පිළිබඳ විස්තර සොයා බලලා තියෙනවා.
තමාගෙන් පසු දෙවැනි පරම්පරාවකට හෝ වෙනත් අයෙකුට පවරනවාද , යන්න සමීක්ෂණ කණ්ඩායම විමසිලිමත් වෙලා තිබෙනවා .
සුවය ලද අයෙක් පිළිබඳ විස්තරත් තියෙනවා .
යන්ත්‍ර මන්ත්‍ර සහිත පුස්කොළ අත්පිටපත් පිලිබඳවත් , ඒ මොනවාද යන්නත් සොයා බලලා තියෙනවා.
කෘතිය හැදෑරීමෙන් වඩාත් තහවුරු වෙන තවත් පැති තියෙනවා .
කටපාඩම් කිරීමෙන් යොදා ගෙන ඇති යන්ත්‍ර මන්ත්‍ර කවරේ ද , ඒවා යොදා ගන්නේ කවර රෝග සඳහා ද , යන්ත්‍ර ගුරුකම් පවත්වන්නේ විශේෂ දිනක ද , ඒ සඳහා හේතු මොනවා ද ,යන්න ගොනු කර ගත් දත්ත සැකසුම් ක්‍රියාවලියක් තුළින් තමයි මේ සදහා මැදිහත්වෙලා තියෙන්නේ.
නමුත් මේ පිළිබඳව වැඩිදුර පුරවැසියෙකුගේ මානසික ක්‍රියාවලිය සමතුලනය කරන්නා වූ භෞතිකමය පදනම පිළිබඳ විග්‍රහයක් පොත තුළ අන්තර්ගත වෙන්නේ නෑ.
නොවිසිදී පවත්නා අවිනිශ්චිත රහස්‍ය පිළිබද විග්‍රහයක් මතු වන්නේත් නැහැ .
ඉතින් ඇත්තට ම මේ ශාස්ත්‍ර , නිමිති , අංජනම් , පේන ආදී සියල්ල ම ගුප්ත විෂයන්ට අයත් බව කිවයුතු සත්‍යයක්.
මේවා යම්කිසි ආකාරයක හෝ හරයකින් තවමත් විද්‍යාත්මකව ඔප්පු කොට නැහැ .
නමුත් මේ සියල්ල තුළ විඥාපනය මිනිසුන් මුලා කිරීම හා රැවටීමයි .
එය අතීතයේ පටන් සිදු වී තිබෙනවා .
නමුත් එය හුදෙක්ම සැබෑ සත්‍යයක් යැයි කිව නොහැකි තත්ත්වයක් ද තිබෙනවා .
නමුත් මෙහි ඇති මානසික ව්‍යාධීන් පිළිබඳව විශ්ලේෂණය කිරීමට පොතේ කතුවරයා යම් උත්සාහයක් ගෙන නැති බව පේන කරුණක් .
ව්‍යාපාරයක් වශයෙන් ස්වකීය ආදායම උදෙසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බහුතරයක් රට තුළ ව්‍යාප්තව ඉන්නවා.
නමුත් මේ විශ්වවිද්‍යාල කණ්ඩායම තෝරා ගත් මාතර දිස්ත්‍රික්කය තුළ එවැනි අයුතු ඉපයීම් කරන යන්ත්‍ර මන්ත්‍ර ආදි වෘත්තියේ නියැලී සිටින අය පිළිබඳව සඳහනක් වෙන්නේ නැහැ .
මේ ක්‍රියාදාමය තුළ ගුප්ත බව වඩාත් තීවෘර කරමින් ගුප්ත බව හා මුග්ධ බවින් ප්‍රයෝජන ගන්නා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන දේශීය වෙදකම කරන මාතර දිස්ත්‍රික්කයේ නැති බව තමයි , මේ කෘතිය තුළින් වැඩිදුරටත් අපට හිතාගන්න වෙලා තියෙන්නේ .
සාමාන්‍ය පුරවැසියෙක් ගැටලුවක් මතුවුණාම කොයිම අවස්ථාවක දී හෝ තමන්ගේ අරමුණු ඉටු වෙනවයි කියන විශ්වාසය මත යැපෙනවා.
ස්වකීය මානසික යම්කිසි ලැදියාවන් ගුප්ත විෂයයන් සමඟ ගලපා ගැනීම පිළිබඳව විග්‍රහයක් මේ කෘතිය තුළින් සිදුවන්නෙ නැහැ .
ගුප්ත විෂයන්වල පිහිට පතන බහුතරය පිළිබඳවත් , ඒ සඳහා කැපවී සිටින පිරිස් පිළිබඳවත් මේ කෘතිය තුළින් බොහෝ විට කරුණු ගෙන හැර දක්වනවා .
යම්කිසි පාරම්පරික ඇතැම් වෙදුන් විසින් මුදල් නාස්ති කරවන බවක්ද , අසරණභාවයට පත්වන පුරවැසියාට පිළිසරණක් නොමැති වුව ද ජීවත්වන පරිසරය පිළිබඳව පැහැදිලි වෙන්නේ නැහැ .
ලංකාව පුරාම බොහෝ විට මේ විෂයන්වලට අදාලව අවිද්‍යාත්මක කපටි සම්මුතීන් සමග එකඟව ක්‍රියා කරන පිරිස් බහුලයි.
එය අපට ඉරිදා පුවත්පතක් ජාතික පුවත් පත්වල වෙළඳ දැන්වීම් වලින් වඩාත් තහවුරු වන සත්‍යයක් .
ගුප්ත විෂයන් විශ්වාස කරන්නා වූ මිනිසුන්ට මනෝ විශ්ලේෂණය හා උපදේශන සේවය ඉතාම අවශ්‍ය යුගයක ඒ සඳහා යම් දත්ත තොරතුරු හෙළිදරව් වීමත් මේ කෘතිය තුළින් සමාජ විද්‍යාත්මක පැත්ත හෙළි කළා නම් වඩාත් වැදගත්.
මෙවැනි අසරණභාවයට පත්වන පුරවැසියන්ගේ ගැටළුව නිවැරදිව විග්රහ කරමින් බල පවත්නා වූ චෛතසික හේතු අනාවරණය කිරීමට මනෝවිශ්ලේෂණය තුළ ඇති සත්‍ය පිළිබදව කිසිදු විග්‍රහයක් පොත තුළින් අනාවරණය වන්නේ නෑ.
යථාර්ථය පිළිබද නිවැරදි සත්‍ය සමාජයට සමාජ ගත කිරීම මනෝ විශ්ලේෂණයේ කාර්යය භාර්යයක් .
එය එසේ නොවූ විට සමස්ත සමීක්ෂණය හුදූ වාර්තාකරණයක් බවට පත් වෙනවා.
අවිඥානික මනස අනාවරණය කරමින් එය විසදා ගැනීම සදහා මනෝ විශ්ලේෂණයේ ඇති විෂය කාර්යය භාර්යය පිළිබදව හදුන්වා දීමක්වත් කෘතිය තුළින් සිදු වෙලා නෑ.
මිනිසා අවිද්‍යාව , අන්ධකාරයෙන් මුදවා ගැනීම උගත් සමාජයේ වගකීමක් .
ගුප්ත විෂයන් හදුනා ගැනීමේ නිරර්ථක බව සමාලෝචනය කිරීමත් ඒ සදහා නිවැරදි දැක්මක් ලබා දීමත් පොතට කළ හැකි කාර්යය භාර්යය මග හැරී තිබෙනවා.
මේ නිසා ස්වකීය විසදා ගත නොහැකි ගැටළු තවදුරටත් ඉදිරියට තල්ලු වන සමාජ සංස්කෘතික මාර්ගයක් කෘතිය තුළින් උද්දීපනය වෙනවා.
මිත්‍යා විශ්වාසයන්හි එල්බ ගැනීම අද ඊයේ සිදු වූවක් නොවේ.
ආදි කල්පිත යුගයේ පටන් පැවත එන්නා වූ මිනිසාගේ සහජ පුරුද්දක් .
ඒ සහජ පුරුද්දට ප්‍රඥාව ලබා දීම යම් දුරකට මේ කෘතිය තුලින් සිදු වූවා නම් වඩාත් යහපත් පහන් ආලෝකයක් .
ස්වභාව ධර්මයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට අපොහොසත් ආදිකල්පිත ප්රාග් යුග මනුෂ්‍යයාගේ පටන් මේ තත්ත්වය සමාජ පඨිතයක් සේ ඉදිරියට ආවා කිව්වොත් නිවැරදියි.
ස්වභාව ධර්ම සංසිද්ධිවලට ගුප්ත බවක් ආරෝපණය වූයේ ආගම තුළින් .
ඒ නිසා තමයි පූර්ව විචාරවල අප ඒ පිළිබඳව පසුකාලීනව දේව සංස්කෘතියට පන්සල ආශ්‍රිතව ගොනු වී තිබෙන ඓතිහාසික කරුණු ගෙනහැර ඉදිරිපත් කළේ .
නුවර යුගය වන විට ගෞතම බුදුරජාණන් වහන්සේගේ භෞතික ඉදිකිරීම් වල දී විෂ්ණු දෙවියන් හා කතරගම ( Murukn ) දෙවියන් බුදුන් වහන්සේගේ දෙපැත්තට විහාරස්ථාන ආශ්‍රිතව ඉදි කිරීම තුළින් ඒ බව මනාව පැහැදිලි වන සත්‍යයක්.
ගුප්ත විෂයයන් පිළිබඳව දැඩි බව වැඩි භක්තිවන්තයින් ඒ සංස්කෘතිය මහජනතාවට පවරා දීමේ කාර්යභාරය මානසිකමය පරිවර්තනයක් බවට පත් කළේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා කිව්වොත් වඩාත් නිවැරදියි.
අපි බලමු සිහිනයක් ඉතා සුළු වශයෙන් ගූඪත්වය හා සම්බන්ධයි කිව්වොත් වඩාත් නිවැරදියි.
සිහිනයක් යන්න විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.
යම්කිසි පුරවැසියාගේ භාවිතය , හැසිරීම දවල් කාලය තුළ සිහින විශ්ලේෂණය මාර්ගයෙන් නිරවුල් නිගමනවලට එළැඹිය හැකි බව සිහින විද්‍යාත්මක පර්යේෂණ විෂයන්වල නියැලී සිටින අය පෙන්වා දෙන සත්‍යයක්.
නමුත් විද්‍යාත්මක විෂය පථයට ගූඪත්වයක් එකතු වීම ගැටලු සහගතයි .
ගූඪත්වය විද්‍යාවේ පරස්පරය වන නිසා මේ සමාජ පඨිතය දිගු වීමට තවත් එක් සාධකයක් .
ගූඪත්වය හුදෙක් පෝෂණය වූයේ සමාජ විද්‍යාත්මක පදනමකින් තොරවයි.
මානසික විශ්වාසයන් තුළින් දිගට ම ගූඪත්වය ඉදිරියට ආවා , මෙවැනි විෂය ක්ෂේත්රයන් තුළින්.
ස්වභාවධර්මය හමුවේ අසරණතාවයට පත් මිනිසා බොහෝ විට ඉන් මිදීමට ගූඪත්වයේ පිහිට පැතුවා .
ඒ මිනිස් සිතේ එක් වූ හූදූ සිතුවිල්ලක් පමණ යි.
සිතිවිලිවල සමුදාය සඳහා කිසිම සමාජ විද්‍යාත්මක පදනමක් අවශ්‍ය නැහැ .
අසරණ භාවයෙන් මිදීම සඳහා මිනිසා සරණ ගිය ගූඪ විශ්වාස බොහෝ විට මනංකල්පිත පමණක් බව කියන්න පුළුවන්.
ප්රාතිහාර්ය මිථ්‍යාව හා ගුප්ත දේව විශ්වාසය කිරීම , මිනිසාට සහජ පෙළඹීමක් තිබෙනවා .
එය බොහෝ විට මේ දිගු වීමට ප්‍රධාන සාධකයක් .
විද්‍යාව විසින් සත්‍යයේ ආලෝකයෙන් පතුරුවන තෙක් එය සමාජගත වන තෙක් මේ තත්ත්වය දිගු වීම නොවැලැක්විය හැකි කරුණක් .
විද්‍යාවේ පරිසරය වන විද්‍යාත්මක සත්‍යයට එරෙහිවන ගූඪත්වයට සෑම විටකම කටයුතු කිරීම සඳහා උගත් ප්‍රජාව මැදිහත් විය යුතුයි .
මිනිසා මේ විද්‍යාත්මක සත්‍ය නිවැරදි වටහා ගන්නා තෙක් ගැටුම මේ පිළිබඳ සමාජය සවිඥානික වීම තවදුරටත් ඉතා පසුගාමී තත්ත්වයක තියෙන්න පුළුවන් .
ගූඪත්වයේ මිත්‍යාවන් විසරණය වන්නේ ආගමික පරිසරය හා භක්තිය තුළ .
විද්‍යාව තුළට ආක්‍රමණශීලී ලෙස අනවසරෙන් කඩා වදින ජනප්‍රිය ගූඪ වාදය තුළින් මේ ප්රගතිශීලී ලෝකයේ වගකීම් සහිත කාර්යභාරය සමාජය තුළ සංවර්ධනය වෙන්නේ නැහැ.
අවිඥානික මනසෙහි සහසම්බන්ධතාවයන් ඒවා අහම්බෙන් යම්කිසි නිර්මාණය වන ක්‍රියාදාමයන් තුළින් තමයි බොහෝ විට ගැටලු මතුවන්නේ .
කොහොම හරි මේ ව්‍යාජ සත්‍ය සිදුවීම්වල අවසානය කුමක්ද ?
අවසානය ඉතාමත් ම තවදුරටත් පුරවැසියන් ආර්ථික සමාජීය සංස්කෘතික අවපාතයට තල්ලු කිරීමක් .
ජීවිත කාලය පුරා ලබන සියළු අත්දැකීම්වලට අවිඥානික මනසෙහි ගලීනව පවතින බව මනෝවිශ්ලේෂණයේ මතයක්.
මිනිසා විෂයයෙහි මානසිකව බල පවතින පීඩාවන්හි නිමිති අවිඥානික මනස තුළ අවරෝධිත ආශාවන් සහ බලාපොරොත්තු තමයි , මේ තුළ අන්තර්ගතව පවතින්නේ .
අවිඥානික මනස පරණ බඩු ගබඩාවකට සමානයි කිව්වොත් නිවැරදියි .
සෑම ජීවිත අත්දැකීමක් ම එහි ආත්මගතව පවතිනවා.
මනස රෝගී වීම සඳහා ප්රමුඛ හේතු සාධක අවිඥානික , අවරෝධිත ආශාවන් යන්න මේ කෘතිය තුළින් මතු කිරීම සදහා යම් වෑයමක් ගත්තේ නම් වඩාත් නිවැරදියි .
මානසික රෝගී ප්‍රතිකාර සඳහා මීට වඩා ඇත්තට ම මනෝවිශ්ලේෂණයහි ප්‍රායෝගික පැති අප්‍රමාණව තිබෙනවා .
පාරම්පරික සංසිද්ධියට මුවා වෙලා ඒ සංස්කෘතිකමය වටිනාකම ඉදිරි පරම්පරා වෙත රැගෙන යාමේ ඉලක්කයකට පමණක් සීමා වී දියුණු මානසික විශ්ලේෂණ ක්‍රමවේදය සරලව පැහැදිලි කිරීම , මෙවැනි කෘතියක කාර්යභාරයයි , අපගේ විශ්වාසයයි .
මනෝවිශ්ලේෂණය මෙහි දී විවේචනය කිරීමටත් මේ පාරම්පරික වෛද්‍ය හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිතව ඇති සිදුවීම් සමග ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය සාක්ෂි මේ කෘතිය තුළින් පදනම් කර ගැනීමට තිබූ මහගු අවස්ථාව කතුවරයා තුළින් මඟහැරී ගොස් තිබෙනවා .
ජාත්‍යන්තර මනෝවිශ්ලේෂණවාදී සංවිධාන ලෝකය පුරා බොහෝ විට ඇතිවෙලා තිබෙනවා .
මිනිසාට වැළදෙන බොහෝ රෝගවලට නිමිති මානසිකත්වය යන්න දියුණු ලෝකයේ පැහැදිලි කරන සත්‍යයක්.
මානසික විය යුතු යම් ගැටළු මනාව ඖෂධ ප්‍රතිකාර මඟින් පමණක් ම රෝගයක් සුව කළ නොහැකි බව සත්‍යයක්.
මනෝවිශ්ලේෂන තාක්ෂණය භාවිත කළ යුතු බව මේ පිළිබඳව ප්‍රවීනයන් විසින් කළ පර්යේෂණවලින් පැහැදිලි වී තිබෙනවා .
එදා සමාජයේත් , අද සමාජයේත් මානසික රෝගීන් විෂයෙහි ප්‍රතිකාර ප්‍රවේශයක් ලෙස මනෝවිශ්ලේෂණය භාවිතා කිරීම සඳහා අවශ්‍ය සමාජ ශාස්ත්‍රීය දැනුම ලබාදිය යුත්තේ මෙවැනි කෘතියක් තුළින්.
මානසික රෝග ප්‍රතිකාර වර්තමානය වන විට සාහිත්‍ය කලාව, නාට්‍ය , චිත්‍රපට , ආගම , දේශපාලනය, ක්‍රීඩාව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ද මෙවැනි රෝගී තත්ත්වයන් සමාජයෙන් බැහැර කිරීම සඳහා මනෝ විශ්ලේෂණවාදී න්‍යාය භාවිතා කරන බවට අපට දකින්න පුළුවන් .
සිහින , ප්‍රමාද දෝෂ , අවිඥානය , අනාවරණය සඳහා මේ කෘතිය තුළින් විශේෂ කාර්යභාරයක් කිරීමට තිබූ අනගි අවස්ථාව කතුවරයාට මඟහැරී තිබෙනවා .
ඇත්තට ම “ සයික්රෝසියාව හෙවත් උමතු බව ” තුළින් අවිඥානය විග්රහ කිරීමට තිබූ අනගි අවස්ථාවක් මග හැරී තිබෙනවා.
පුරවැසියන්ගේ නිවැරදි බව හරහා අවිඥානික මනස විග්රහ කරමින් සමකාලීන සමාජය ප්‍රගතිය සඳහා ක්‍රියා කිරීමේ වගකීමෙන් කතුවරයා බැහැර වී තිබෙනවා .
හුදෙක් ජනප්‍රිය සංස්කෘතිය විෂය කරගත් පාරම්පරික දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව සම්ප්‍රදායික සටහනක් විදියට මේ කෘතිය හඳුන්වන්න පුළුවන් .
නමුත් ඒ පිළිබඳව යම් පුරවැසියෙකුට ඒ අවශ්‍යතාවය පරිදි කෘතිය මිලදී ගැනීමෙන් ඒ සඳහා ඔවුන් ඔවුනොවුන්ගේ විශ්වාසයන්ට අනුව අදාළ තොරතුරු සොයාගැනීමේ මාවතක් ද මේ කෘතිය තුළින් අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා .
මිනිසාගේ අදහස් සංකලන විඤ්ඤාණ , නිර්මාණය මිනිසුන්ගේ භෞතික ක්‍රියාකාරීත්වය සමග එකට වෙළී තිබෙන බව අප දන්නා සාමාන්‍ය සංසිද්ධියක් .
මිනිසාගේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයන් ඔවුන්ගේ භෞතික චර්යාවන්ගේ ඍජු ගලා යාමක්.
ස්වකීය සංකල්ප අදහස් ස්මරණය කර වන්නේ ඒ නිෂ්පාදකවරයාත් , පුරවැසියාත් වේ .
විඤ්ඤාණය යනු සෑම විටක ම සවිඥානික පැවැත්ම හැර අන් කිසිවක් නොවන බව කාල් මාක්ස් පෙන්වා දී තිබෙනවා .
මෙවැනි පාරම්පරික සාම්ප්‍රදායික ජීවන පැවැත්ම ඇත්තට ම පුරවැසියාගේ ජීවන ක්‍රියාදාමයට වඩා , ඊටත් වඩා ඉදිරියෙන් විශ්වවිද්‍යාල උගත් සමාජය සිටිය යුතු බව අපට පෙනී යන කරුණක් .
විඥානය විසින් ජීවිතය තීරණය නොකරන බවත් , ජීවිතය විසින් විඥානය තීරණය කරන බවත් මාක්ස්ගේ ඉගැන්වීමයි .
විඥානය යනු ආරම්භයේ පටන් සමාජමය නිෂ්පාදනයක් .
ඒ පිළිබඳව මනාව අවබෝධ කර ගෙන ස්වයං නිරීක්ෂණ ජාලාවක් තුළින් දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ පර්යේෂණාත්මක කෘතිය තුළින් අවිඥානික ආශාවන් හඳුනා ගැනීමට කිසියම් උත්සාහයක් දැරුවා නම් , ඉතාම වැදගත් කරුණක්.
ප්‍රමාද දෝෂ , නින්ද , සිහින දැකීම සිහින අර්ථකථනය , ළමා සිහින , සිහින විකෘති වීම , සිහිනයේ සංකේතාර්ථ , සැඟවුණු සිහිනය , කාංසාව ,භීතිකා , මනෝ ව්‍යාධි දේශපාලනය , මනෝ ලිංගික අවධි, ළමා ලිංගිකත්වය , ගුප්ත විෂයන් මේ පොත තුළින් මනාව සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට තිබුණු අනගි අවස්ථාව මඟහැරී යාම ඉතාම කණගාටුවට කරුණක්.
විවිධ ප්‍රපංච අතුරෙන් අවබෝධ ගැනීමහිලා වැදගත් අසීරු ප්රපංචයන් මිනිස් සිත තුළ කළඹවනවා.
සෑම මොහොතක දීම ගත කරන ඒ ස්වභාවයෙන් ම වෙනස් වීම් කරන කොට ඇතිවෙන බිය සංකාව තමයි අවසානයේ දුරවබෝධයකට පවතින ප්‍රධාන සාධකයක් .
ඇත්තටම මේ සඳහා සුවිශාල කාර්යභාරය මානව චර්යා විමර්ශන නිගමනවලට එළඹීම ඉතාම වැදගත් කරුණක් .
මිනිස් සිත සෑම මොහොතක දීම වෙනස් වන සුළුයි .
මිනිසා යනු නිරන්තරයෙන් විවිධ බලවේගවලට ගොදුරුවන්නෙක් .
එකී ප්රවේශයන් මානව චර්යාවන් විශ්ලේෂණය කොට දැනුම ඥාන මණ්ඩලයක් කරා රැගෙන යාම සඳහා මේ කෘතිය තුළින් වැරදි මගහැරීම් අතපසුවීම්වල තිබෙන දුර්වලතැන් හඳුන්වා දීමට කතුවරයා කිසිදු උත්සාහයක් ගෙන නැති බව හැඟෙන සත්‍යයක් .
- සුමිත් කොඩිතුවක්කු –