මහරගම අපේක්ෂා රෝහලේ සිටින රෝගීන් සඳහා විවිධ අවස්ථා වලදි උදව් උපකාර කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරනු ලබයි. ඒ අතර විවිධ වෛද්‍ය උපකරණ, ඖෂධ වර්ග, රෝගීන්ට ලබා දීම සඳහා මුදල් එකතු කිරීම් විටින් විට සමාජ මාධ්‍ය පණිවුඩ ලෙස අපට දැක ගැනීමට හැකි වේ. එවැනිම ආකාරයට මුදල් එකතු කිරීමකට පසුගිය දිනවලද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් සංසරණය විය. එම පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.
මෙවැනි ආකාරයට වට්ස්ඇප් ඔස්සේ මෙම පණිවුඩය සංසරණය වී තිබුණද එම පණිවුඩය සංසරණය වූ වට්ස්ඇප් සමුහය තුළම මෙම පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බවට අදහස් දක්වා තිබුණි. එම අදහස්ද පහතින් දැක්වේ.
මෙවැනි පරස්පර අදහස් මේ සම්බන්ධයෙන් සංසරණය වී තිබීම නිසාවෙන් අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කළේය. ඒ සඳහා අප මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කරුණු විමසීමක් සිදු කරනු ලැබුණි.
මෙවැනි පණිවුඩ කාලයක සිට සමාජ මාධ්‍යවල සංසරණය වන බවත්, මෙම පණිවුඩය වර්තමානයේ ව්‍යාජ පණිවුඩයක් වුවද, මෙහි සඳහන් ගිණුම් අංකයට දැනට වසර කිහිපයකට පෙර මුදල් එකතු කළ බවත් අරුණ මහතා අප වෙත පැවසීය. එලෙස මුදල් එකතු කිරීම හරහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වූ නමුත් අපේක්ෂා කළ මුදල නොලැබීම නිසා එකතු වූ මුදලින් රෝහලට අවශ්‍ය වන CT Simulator යන්ත්‍රයක් මිලදී ගැනීමට අවසානයේ තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එම නිසා නැවත මුදල් එකතු කිරීමක් සිදු නොවන බැවින් මෙම ගිණුම් අංකයට තව දුරටත් මුදල් බැර කිරීමෙන් වළකින ලෙස අවසාන වශයෙන් අධ්යක්ෂවරයා ඉල්ලා සිටියේය.