ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමි වීම ජිවනෝපාය අහිමි වීම දුප්පත්කම ඇති වීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බවත් ජනතාවගේ පාරිභෝජනය, ආයෝජන, ඉතිරි කිරීම් හා නිෂ්පාදන අයිතියක් නොමැති බවත් රටේ අපනයන පවා බිඳ වැටී ඇති නිසා රටේ නව සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ ආර්ථිකය කුඩා කර ජනතාවගේ ජන ජීවිත කුඩා කර ජනතාවගේ මුදල් පසුම්බියට පිට්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් ඒ අතින් රට විනාශ කර රට පතුලට වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවරදී මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා හමුවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනතාවගේ කරපිට උපරිම බර පටවා සාමාන්‍යකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ගැන විවිධ අමනෝඥ කතා කියපු පුද්ගලයෝ රටේ ජනතාව රවටන අදහස් ඉදිරිපත් කරන විට ඒවාට තමා ප්‍රතිචාර නොදක්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

අපි ගාව බාර් පර්මිට් සංස්කෘතිය නැහැ

එසේ ම බාර් පර්මිට් වෙන්දේසි මෘදු සුරා බලපත්‍ර ලබා දීම ආදී වරදාන වරප්‍රසාද ආදී මිල මුදල් ලබා දීමේ කූඨ ගණුදෙනු ක්‍රියාත්මක වන බවත් නව ජනාධිපතිවරයා පත්වන්නේ අනුප්‍රාප්තිකව නොව රටේ ලක්ෂ 220ක් ජනතාවගේ ඡන්දයෙන් බවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදා මත්පැන් යුගයක් නිර්මාණය නොකරන බවත් දේශපාලන සූදුවට නැවතීමේ තිත තබන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

අයි. එම්. එෆ්. කොන්දේසි ලිහිල් කරනවා

ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා සේම ජනතාව මත අසීමිත බරක් පටවපු අයි. එම්.එෆ් කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනතාව දුකින් මුදවා ගන්න කටයුතු කරනවා

දුක්විදින ජනතාව දුකෙන් මුදවා ගන්න රට ගොඩනගන සැමට සෞභාග්‍ය උදාකරන සංවර්ධිත ශිලාචාර ශිෂ්ටසම්පන්න නීතිය හා සාමය රජ කරවන රටක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම සියලුම ආගමික නායකයන් ලබා දෙන අවවාද අනුශාසනා අවබෝධ කර ගෙන ශිෂ්ටසම්පන්න රටක් ගොඩනගන බවත් තමා වසර කිහිපයක් විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ සිට ව්‍යවස්ථාදායකයේ සිට ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දුන් ආකාරය සහ සේවාව සම්බන්ධයෙන් මහනායක හිමිවරු දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න