මෙරට ඖෂධ නිෂ්පාදන ආයතනයකට යුරෝපීය තත්ත්ව සහතිකය හිමිව ඇත්තේ පළමුවැනි වරට ය. ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේදී නියමිත පරිදි ලියකියවිලි පවත්වාගෙන යාම, නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය සහ ඒවා මිලදී ගන්නා ආයතනවල තත්ත්වය, නිෂ්පාදන ආයතනයේ තත්ත්ව කළමනාකරණය ආදී නිර්ණායක කිහිපයක් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

මෙම තත්ත්ව සහතිකය හිමිවීමෙන් පසු යුරෝපීය සංගමයේ රටවල්, ආසියානු සහ අප්‍රිකානු රටවලට ඖෂධ අපනයනය කිරීමේ හැකියාව සෙලොජන් ලංකා පෞද්ගලික සමාගමට හිමිව ඇත.

සෙලොජන් ලංකා පෞද්ගලික සමාගමට අයත් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටා ඇති අතර එහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2015 වර්ෂයේදීය. එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේදීය. එම සමාගමේ නිර්මාතෘ වෙන්ගදාසලම් නඩරාජා ය.

මෙරට රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ බිලියන පහකට අධික ප්‍රමාණයක් සෙලොජන් ලංකා පෞද්ගලික සමාගම මගින් වාර්ෂිකව සැපයෙයි. මෙලෙස නිෂ්පාදනය කෙරෙන්නේ ඖෂධ පෙති වර්ග, මෘදු ජෙලටින් කැප්සූල, දෘඪ ජෙලටින් කැප්සූල ඇතුළු විවිධ වර්ගයේ ඖෂධ වර්ග වේ. හෘද රෝග, දියවැඩියා, ආමාශ ආන්ත්‍රික රෝග, ස්නායු රෝග, වකුගඩු රෝග, නාරිවේදය, ළමා රෝග, විටමින් සහ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ඖෂධ රැසක් සෙලොජන් ලංකා පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදන කෙරෙයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න