 අපි රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා, එය ක්‍රියාත්මක වන විට රටේ අධ්‍යාපන පද්ධතියට සුභ දායක වෙයි.
 දරුවන්ට ඉදිරියට යාමට හොදින් ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම මග පෙන්වීම අපේ වගකීමයි.
                                                                                   අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ප්‍රතිසංස්කරණය කරන ලද මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ රේවත ප්‍රධාන ශාලාව සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (16) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.

අධිකරණ අමාත්‍යතුමා විසින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රධාන ශාලාව නවීකරණය සදහා මුල්‍යමය දායකත්වය ලබා දී තිබුණි.

එහිදී පැවති උත්සවය අමතමින් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය..

මෙම වසරේ පෙබරවාරි 02 වැනිද දින මෙම ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා . මාස පහක් වැනි කෙටි කාලයක් තුළ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වුණා. මේ පාසැල වසර අසුවකටත් වඩා පැරණියි. ඊ.ඩබ්ලිව් .අදිකාරම් මැතිතුමාගේ නාමයත් මෙම විද්‍යාලයේ පුවරුවක සටහන්ව තිබුණා. එ තුළින් විද්‍යාලයේ වැදගත්කම පෞරාණිකත්වය පැහැදිලි වෙනවා. මහරගම අධ්‍යාපන කලාපය තුළ පාසැල් 20 ක් තිබෙනවා.මේ හැම පාසලකම කුමන හෝ සංවර්ධන කටයුත්තක් සදහා මා දායක වී තිබෙනවා. වසර විස්සක් තුළ මාගේ විමධ්‍යගත අරමුදල් වෙන් කලේ පාසැල් හා රෝහල් සංවර්ධනය කිරීම සදහායි. මීට වසර දෙකකට පෙර මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැතිව රට බංකොලොත් වී ඇති වටපිටාවක් තුළ මේ විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් මාගෙන් ඉල්ලීමක් කළා. රජයෙන් මුදල් වෙන් කළ හැකි තත්වයක තිබුණේ නැහැ. ඒ නිසා මා ඒ බව ගරු ෆවුසි හිටපු අමාත්‍යතුමාට දැන්වුවා. එතුමා හිටපු පළාත්සභා මන්ත්‍රි නවුසර් ෆවුසි මැතිතුමා දැනුවත් කර මේ සදහා මුදල් ලබාදීමට කැමැත්ත පළ කළා.  එතුමන්ලා ලබාදුන් මුදලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපි කටයුතු කළා. ලබා දුන් මුදල් වැය කරමින් අදාළ භාණ්ඩ මිලදී ගෙන ඉදි කිරීමේ ශ්‍රම දායකත්වය සදහා යුද හමුදාවේ සහයෝගය ලබා ගත්තා. ඒ පිළිබදව යුද හමුදාපතිතුමා ඇතුළු සියලු දෙනාට කෘතඥ විය යුතුයි. එදා පාසැල්වල මේ ආකාරයේ පහසුකම් වලින් යුතු පාසැල් තිබුණේ නැහැ . මේ වගේ ප්‍රධාන ශාලාවක් පවතින පාසැලක ඉගෙනීම ලැබීමට මේ දියණියන් වාසානාවන්ත බව කිව යුතුයි. එදා පාසැල්වල තිබුණේ කළු ලෑල්ල පමණයි. එහෙත් අද ස්මාර්ට් බෝඩ් ආදී විවිධ පහසුකම් තිබෙනවා. ඡන්ද කාලය ආසන්න නිසා ඒවා බෙදා ගෙනත් යනවා. ඒ දේවල් කරන්නේ දරුවන් වෙනුවෙන් නිසා අපි සාදු කාර ලබා දිය යුතුයි. වර්තමානය වන විට අපි රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන විට රටේ අධ්‍යාපන පද්ධතියට සුභ දායක වෙයි. දරුවන්ට ඉදිරියට යාමට හොදින් ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම මග පෙන්වීම අපේ වගකීමයි. ෆවුසි මැතිතුමා එතුමාගේ පුත් නවුසර් ෆවුසි මැතිතුමා ජාති ආගම් භේදයෙන් තොරව කටයුතු කරනවා.මෙතන ජාතික ආගමික සංහිදියාව තිබෙනවා. එතුමන්ලා කරන මෙහෙවර අගය කළ යුතුයි. මහරගම ජනතාව දේශපාලන පක්ෂ භේදයෙන් තොරව අපත් සමග කටයුතු කළා.


මහරගම අධ්‍යාපන කලාපය තුළ පාසැල් විස්සක් තියෙනවා. මහරගම අවට මත්පැන් ශාලා තිස් අටක් තියෙනවා. මා මහරගම සම්බන්ධිකරණ කමිටු සභාපති වශයෙන් කටයුතු කළ කාලය තුළ එක මත් පැන් හලක්වත් විවෘත කරන්න අවසර දුන්නේ නැහැ. ඔබගේ පාසැලේ ලාංඡනයේ ආරභථ, නික්ඛම, යනුවෙන් සදහන් කර තිබෙනවා. ඉන් කියවෙන්නේ හොදින් ආරම්භ කර සාර්ථකව ඉදිරියට යා යුතුය යන්නයි. ඒ අනුව කටයුතු කරන ලෙස සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
ඩුබායි හි SAHEEDA පදනම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අලුත් වැඩියා කටයුතු සදහා මුල්‍ය දායකත්වය ලබා දී තිබුණු අතර, මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දී තිබේ.

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය ආරම්භ කර වසර 80 ක  පමණ කාලයක් ගතව තිබේ. මේ වන විට ශිෂ්‍යාවන් 3500 ක් පමණ විද්‍යාලය තුළ  අධ්‍යාපනය ලබයි.

මහරගම ගොඩිගමුව සද්ධර්මාරාමාධිපති, පුජ්‍ය හේනේගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද සිදු කළ අතර, SAHEEDA පදනමේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රි නවුසර් ෆවුසි, විද්‍යාකර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී දිල්රුක්ෂි පිරීස්, ශ්‍රී ජයවර්ධන පුර කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී අමා විජේසේකර යන මහත්ම මහත්මීන් අදහස් පළ කළහ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්.ෆවුසි , හිටපු පළාත්සභා මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් ඇතුළු විද්‍යාලයේ ගුරුවරුන් ,ආදි ශෂ්‍ය සංගමයේ නියෝජිතයින්, ශිෂ්‍යාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න