කොළඹ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව 99 අවුරුද්දකට බදු දීලා – අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ කරුණු බදු ගිවිසුමට ඇතුළත් කරලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි

  • නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සම්පුර්ණ වාර්තාවක් ලබාදෙන්න – කෝප් කමිටුව
  • කොළඹ පැල්පත් වාසීන් වෙනුවන් ඉදිකළ මහල් නිවාස සංකීර්ණ වල  නිවාස 66ක් තවමත් හිස් – 2023 හා 2024 වසරේ මැයි දක්වා නිවාස නඩත්තුවට නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 600කට අධික මුදලක් – කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 ක පමණ  ඉඩමක්  2019 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව රුපියල් බිලියන 12කට 99 අවුරුද්දකට බදු දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බව හෙළිදරව් විය. කෙසේ වෙතත් අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා සිදු කර නොමැති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව ඩී. ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 2යි පර්චස් 21.4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් අධිකාරියට දැරීමට සිදුවූ බවද මෙහිදී අනවරණය විය.ඒ අනුව මෙම සිදුවීම් පිළිබඳව විධිමත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී කරුණු දක්වමින් ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්හ. අධිකාරිය සතු අයෝජන ඉඩම්වල වටිනාකම් තක්සේරු කර ඇති ආකාරයද ප්‍රශ්නකාරී බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.පාර්ලිමේන්තු සංකීර්ණය පවතින ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව පෙන්වා දුන් විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ඉඩමේ හිමිකාරිත්වය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සියලු විස්තර ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට සති දෙකක් තුළ යොමු කරන ලෙසට උපදෙස් ලබා දුන්නේය.

කොළඹ අවට ජිවත් වෙන පැල්පත් වාසීන් වෙනුවන් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ රජයේ අරමුදල් මිලියන 48,156 භාවිත කර නිවාස ව්‍යාපෘති 22ක නිවාස එකක 13,602 ක් සම්පුර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය නිමවා ඇත. කෙසේ වෙතත් එම මහල් නිවාස සංකීර්ණ වල නිවාස 66ක් තවමත් හිස්ව පවතින බව විගණ කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්හ. එම හිස්ව පවතින නිවාස වල හැකි ඉක්මනින් අදාළ හිමිකරුවන් පදිංචි කිරීමට පියවර ගන්න බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් ඉදිකිරීම් අවසන්වී ඇති නිවාස ව්‍යාපෘති වලින් මේ වන විට සහධිපත්‍ය කළමනාකරණ සහතිකය ලබාගෙන ඇත්තේ එක් නිවාස ව්‍යාපෘතියක් සඳහා පමණක් බව විගණ කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්හ. ඒ හේතුවෙන් 2023 හා 2024 වසරේ මැයි දක්වා නිවාස නඩත්තුව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 667.6ක වියමක් දරා ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව නිවාස වල හිමිකාරිත්වය අදාළ පිරිස් වෙත පැවරීමෙන් පසු නිවාස නඩත්තු කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත්වන බව පෙන්වා දුන් එම නිලධාරීහු අදළ නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට නඩත්තු කටයුතු සිදුකරගෙන යාම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්හ.

තවද දෛනිකව කොළඹ නගරට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.අධිකාරිය විසින්ම ඉදිකිරීමට යෝජනා කරන ලද රථ ගාල් 2හිම වැඩ 2021 වසරේ අතරමග නවතා දමා තිබු අතර මේ දක්වා රුපියල් මිලියන 230 මුදලක් වියදම් ලෙස දර ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. ඒ අනුව මෙම රථ ගාල් 2 පවතින තත්වයෙන් භාවිතයට ගතහැකි ආකාරයට වැඩ නිමකිරීම සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දයාසිරි ජයසේකර, ගරු නීතිඥ මධුර විතානගේ, ගරු සංජීව එදිරිමාන්න, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න