• රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කෙරේ …..
• රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අධිකරණ ඇමති ඇගයීමට ……….

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ  පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා  වස විෂ රසායනාගාරය  නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ ( 25) සිදු විණි.
කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ( KOICA) මුල්‍ය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කරමින් 2022 – 2024 දෙසැම්බර් දක්වා කාලය තුළ ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රසායනාගර පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කර තිබේ.
දැනට පවතින පරීක්ෂණාගාරවල ඉඩකඩ පහසුකම් වැඩි කරමින් නව පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, පරීක්ෂණාගාර සදහා නවීණ උපකරණ ලබාදීම, පරීක්ෂණාගාරවල උපකරණවලින් ලබා ගන්නා දත්ත බාගත කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණුවීම් ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
මෙරට නිලධාරීන්  අට දෙනෙකු සදහා අධිකරණ විද්‍යාව පිළිබදව පශ්චාත් උපාධි ලබාදීම, මත් ද්‍රව්‍ය රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු කරනු ලබන නිලධාරීන් පස් දෙනෙකු සදහා කොරියාවේ  දින හැටක පුහුණුවක් ලබාදීම හා මත් ද්‍රව්‍ය පිළිබදව පරීක්ෂණ සිදු කරන කොරියාවේ විශේෂඥ නිලධාරීන් මෙරටට පැමිණ පුහුණුවීම් ලබාදීම මේ වන විටත් කර තිබේ. ලබන ජනවාරි මාසයේද තවත් නිලධාරීන් පිරිසක් කොරියාවේ පුහුණුවීම් සදහා යැවීමට නියමිතව ඇත. මෙරට අධිකරණ පද්ධතිය තුළ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ ධාරිතාවය ඉහල නැංවීම මෙම ව්‍යාපෘතියෙහි මුලික අරමුණයි.
රසායනාගර වැඩි දියුණු කිරීමේ උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරීතාවය වැඩි දියුණු කිරිම සදහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හා කොරියානු රජය ලබා දෙන සහයෝගයට එරට ජනාධිතිතුමාට, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයට, එරට ජනතාවට ස්තූතිය පළ කරනවා. 2015 වසරේ කොරියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 500 ක වියදමින් රසායනාගාර දෙකක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා ලබා දුන්නා. රසායානාගර පහසුකම්වලට අමතරව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා පුහුණුවීම් ලබාදීමට කොරියානු රජය කටයුතු කලා. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම හා පහසු කිරීම සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. නඩු තීන්දු ලබාදීමේදී රස පරීක්ෂක වාර්තාව ඉත් වැදගත් වෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ  කාර්යභාරය අගය කළ යුතුයි.

2015 වසර වන විට මසකට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමේ ධාරීතාවය සීයයට හැත්තෑවක් පමණ වුණා. එහෙත් 2016 වසර වන විට එහි වාර්තා ලබාදීමේ ධාරිතාවය සීයයට සීයක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා.

පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ පරීක්ෂණ සදහා අවශ්‍ය පරීක්ෂණ ද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුතාවය නිසා වාර්තා ලබාදීම කිසියම් ප්‍රමාදයක් සිදු වුවත් දැන් නැවතත් යථා තත්වයට පත්ව තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සදහා මෙන්ම මෙරට ශ්‍රමිකයින් සදහා රැකියා අවස්ථා ලබා දෙමින් කොරියානු රජය ලබා දෙන සහයෝගය අගය කළ යුතුයි. රැකියා ලබාදීමේ දී කොරියානු රජය ශ්‍රී ලාංකිකයින්හට වෙනත් රටවල්වලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාගාර වැඩි දියුණු කිරීමට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රාජකාරී කටයුතු කරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් හා පුහුණුවීම් ලබාදීමට කොරියානු රජය කටයුතු කර ඇති බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියොන් ලී, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ උප සභාපති YUN LEE YON , කොරියානු ජාතික අධිකරණ වෛද්‍ය සේවයේ අධ්‍යක්ෂක BON GO LEE, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ( KOICA) ශ්‍රී ලංකා නියෝජිත Myungin Kim , රජයේ රස පරීක්ෂක දීපිකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා  කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න