තිබුනාලුද බන් යුද්ධයක්
හංදියේ කඩේ ගාව
රස්තියාදු ගගහා හිටපු කොල්ලෙක්
ඇහුවේ තව කොල්ලෙකුගෙන්…

යුද්ධ නම් කාට කරන්න බැරිද
තව එකෙක් කිව්වේ උජාරුවෙන් …

පඩියටනෙ බන් ගියේ
එකෙක් කොක් හඬලා හිනා උනේ…

මේ සේරම දැනුන රණවිරු ආත්මයක්
මෙලෙස කිව්වේ………………..

උඹලා ඔය හංදියේ අද
රස්තියාදු ගහන්නෙ
අපි අරන් දීපු නිදහස නිසා …

කවුද බන් පඩියට මැරෙන්න යන්නෙ
මැරුණාම කෝටියක් ලැබුනත්
වැඩක් නැති බව
උඹලා වගෙ උන්ට තේරෙන්නෙ නැද්ද….

කිරි බිබී හිටපු පුංචි එකා.
උස්සලා පොළවෙ ගහද්දි
බඩ දරු අම්මගෙ බඩින්
නූපන් දරුවා ඇදලා ගද්දි
තැන තැන බුරුත පිටින්
බෝම්බ වලට බිලි වෙද්දි…
කාලා බීලා ගෙදර ට වෙලා
අපිටත් සැපේ ඉන්න පුළුවන් වෙද්දි…

කකියනවා බන් මේ පපුව
අපේම උන්
කපලා කොටලා ඝාතනය වෙද්දී….

දන්නවා මැරෙන බව
කමක් නෑ බන් මැරුනට
අපේ එවුන්ගෙ අනාගත දරුවෙක් හරි
මේ බිමේ නිදහසේ හුස්ම ගනියි…

ඒකයි පපුවෙ මැද තිබුන එකම අරමුණ …

ගිහින් බැලුවද
රණවිරු සෙවණට
නෑ නේද
කොහෙද උඹලට යන්න වෙලාවක්…

උඹලා හැමදාම කටින් බතල හිටෝපු එක කරේ  …

බස් පිපිරෙද්දි…
මුදුන් මල්කඩ ට බෝම්ම වැටෙද්දි
පුංචි සාමනේර වරු
කපලා කොටලා අපවත් කරද්දි…

නිවටයො වෙන්න බැරි උනා බන්
කටින් වීරයො වෙන්නත් බැරි උනා…

කකියනවා ලේ
හිතුනෙම මරාගෙන මැරෙන්න

ඔව් අපි ඒක කරා..

දැන් හංදියේ කඩ පිලට
බය නැතුව පලයන්
ගිහින් බැනපන්…

ඔය තැන නොතැන
ඕන තැනකට ගිහින් බැනපන්..
දැන් පිපිරෙන්නෑ බෝම්ම…

උඹ නිදහසේ බැනලා එන ගමන්
මතක් කරලා
අම්මේ මන් ආවෝ කියලා
කෑ ගහගෙන ගෙට පලයන්..

මොකද අපෙ අම්මලා
දන්නවා අපි එන්නෑ කියලා

ඒත් උඹලගේ අම්මලාට
ඒ බලාපොරොත්තු ව අපි ඉතුරු කරා…

හදවතක් තියන හැම මනුස්සයෙක්ගෙන්ම
    එක වචනය හරි ලියවෙලා තියේවි…

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න