ගෝටාභය රාජපක්ෂ ට ‘මෝඩයා’ යැයි ප්‍රසිද්ධියේ කියන උදවියම දැන් වක්‍රව කියන්නේ ” ගෝටාභය තමයි මහා මොළකරු” කියලාය . මෝඩයෙක් කොහොමද මොළකරුවෙක් වුනේ කියන ගැටළුව, මේ මම මෝඩයාට හිතෙන්න ගත්තේ බොහෝ කලකට පෙර සිට ය.
මටත් හැමෝම කිව්වේ මෝඩයා, පිස්සා කියලාය.
මියගිය මනුස්සයින්ට කරන්න තියෙන ඔක්කොම අපහාස, උපහාස, මළ මිනී විකුණගෙන කෑම ජයටම කෙරෙනවාය. කතිර මල්ල පුරවගන්න උත්සාහ කරන මේ කපටි දේශපාලකයින් හැමෝම අතීතයේ මිනීමරපු එවුන් නිසා මේ රහස හෙළිකරන්න මෝඩ මම හිතුවා.
ගෝටාභය අපේ ගමේ මිනිහ නේ, දවසක් මගෙන් ඇහුවා “කොහොමද බං ජනාධිපතිවරණය දිනන්නේ” කියලා.
ඒකට විසඳුමක් හිත හිත ඉන්න කාලේ තමයි අපේ ඩොටි නැන්ද දඹදිව වන්දනාවේ ගියේ.
මෝදි අගමැතිගේ ඇහැ ගැටිලා අපේ ඩොටි නැන්දව! නර්ගීස් හින්දි නිළිය වගේමයි අපේ ඩොටි නැන්ද! මෝදි ගේ ප්‍රියතම නිළියත් නර්ගීස් නේ. එහෙම හිතවත් වෙලා මෝදි සහ ඩොටි නැන්ද කතාවට වැටිලා.
ඒ වෙලාවේ තමයි මෝදි නාහෙන් අඬමින් කියලා තියෙන්නේ ඊළඟ මැතිවරණය දිනන්න අමාරු පාටයි කියලා. එවෙලෙ ඩොටි නැන්ද, මෝදි ට මගේ විස්තර කියලා.ඔන්න ඔහොම තමයි ලංකාවේ ජනාධිපතිවරණය සහ ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම දිනවන්න මට කොන්ත්‍රාත් එක ලැබුනේ.
තංගල්ලේ මුස්ලිම් වීදියේ මගේ යාළුවෙක් තමයි සහරාන්ගේ නැන්දගේ දුවෙක් කසාද බැඳලා හිටියේ. සහරාන් මට සෙට් වුනේ එහෙම.
ඒ කාලේ සහරාන් බණ භාවනා කරමින් තපස් රැක්කේ නැගෙනහිර
කැලෑ වේ. සහරාන් එක්ක ලොකු සෙට් එකක් හිටියා. හරිම අහිංසක එවුන්! කුරා කූඹියකුටවත් වරදක් කරලත් නෑ, කරන්නෙත් නෑ.
සහරාන් කිව්වා ” තංගල්ලේ අපේ මස්සිනා ගේ යාළුවා නේ අංකල්. එනිසා අංකල් ගේ වචනය අහක දාන්න බැහැනේ, ගෝටාභය මහත්තය ජනාධිපති කරන්න අපි ඔක්කොම මරාගෙන මරෙන්නම්, නෝ ප්‍රොබ්ලම් ” කියලා.
හැබැයි, සහරාන් මගෙන් ඇහුවා ” අංකල් අපට ඒ සඳහා මොනවද දෙන්නේ කියලා “
මම කිව්ව රුසියාවේ ජනාධිපති පුටින් මහත්තයා කියපු ඒවා උඹලට එහෙ ගියාම ලැබෙයි. මම කරන්නේ උඹලා එහෙට යවන එක විතරයි කියලා.
” මහා මොළකරු ” හොයන කන් කරච්චලය ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි මම තීරණය කෙරුවේ මේ මළ මිනී විකුණලා කරන දේශපාලනයට තිත තියන්නට නම් දැන්වත් මේ රහස හෙළිකළ යුතුයි කියලා.
පාස්කු දා මියගිය අහිංසක මිනිස්සු විකුණාගෙන කන්න, කතෝලික ප්‍රජාවගේ ඡන්ද ටික තමන්ගේ මල්ලට දාගන්න මුන් ඔක්කොම පාර්ලිමේන්තු විවාද සහ මාධ්‍ය හමු,සමාජ මාධ්‍ය යොදාගෙන ‘මාර ගේමක්’ දෙන බව ඉතා පැහැදිලිය.
භීෂණ කාලේ ත්‍රිකුණාමලයේ වධ කඳවුරු තුළ සිංහල කොල්ලෝ මරපු, දෙමළ මිනිස්සු මරපු හමුදා ලොක්කා දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය සමග මනාපය සඳහා “කිඹුල් කඳුළු” හලනවාය !
හැට දාහක් සිංහල කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑයේ ආදාහනය කරපු අප්පොච්චාගේ පුතාත් “කිඹුල් කඳුළු” හෙලනවාය.
භීෂණ සමයේ විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කී නොකී වටිනා මිනිස්සු සහ ගමේ අහිංසක අප්පුහාමිලා පවා මරපු ජවිපෙත් කතිරය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවාය.
ජවිපෙ විසින් දළදා මාලිගාව අසළ බෝම්බ ගහල මිනීමරල තියෙනවා. ජවිපෙ විසින් ඝාතනය කරපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ කතෝලික පූජක තුමන්ලාගේ ලැයිස්තුව රටම දන්නවාය. .
මුන් ඔක්කොම මිනී මැරුවන් බව මෝඩ ජනයාට අමතකය!
මේ අඬන්නේ, දිවුරුම් පොරොන්දු දෙන්නේ, තර්ක-විතර්ක, වාද-විවාද, තමන් සුදනා වෙලා අනෙකාට චෝදනා කිරීම ඇතුළු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ගිරිය කඩාගෙන කෑ මොර දෙන්නේ කතෝලික ප්‍රජාවගේ කතිරය සඳහා මිස වෙන ඇත්ත කැක්කුමකට නොවේ.
දැන් ඉතිං තොපේ විවාද, තර්ක ඉවරයි. මම තමයි යකෝ මහා මොළකරු!
මාව එල්ලපියව්!
“තංගල්ලේ අපි” වෙනුවෙන් පුංචිහේවා
2024.04.27