මාර්තු 07 වැනි දිනට යෙදී ඇති අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ දිනය වෙනුවෙන් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරිය වැඩ සටහන් රැසක් සංවිධානය කර තිබේ.
ඒ වෙනුවෙන් පාසැල් සිසුන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් අනුරාධපුර, මහවිලච්චිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී මාර්තු 06 සහ 07 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්හට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනත බල ගන්වමින් 2016 වසරේ සිට මෙම අධිකාරිය බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 428/11 ඒ දරණ ස්ථානයේ ස්ථාපිත කර තිබේ. වත්මන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එවකට අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මෙම පනත බල ගැන්වීම සදහා පියවර ගත් අතර, වර්තමානය වන විට අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ, සුහද ගමලත් මහතා කටයුතු කරනු ලබයි.
අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් සදහා විධිමත් නෛතික රාමුවක් සහ වැඩ පිළිවෙළක් හදුන්වාදීම, මගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සදහා මෙම අධිකාරිය ස්ථාපිත කර ඇති අතර, පනතේ 11 වන වගන්තිය යටතේ පිහිටුවා ඇති මෙම අධිකාරියේ කාර්ය සහ බලතල සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකියි.
අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් හදුනා ගැනීම, ගෞරව කිරීම, ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම,දැනුවත් කිරීම අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් කඩවීම පිළිබදව පැමිණිලි විමර්ශනය කිරීම හා විභාග කිරීම, එම උල්ලංඝණයට අදාළව උචිත රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය ආයතනවලට නියෝග නිකුත් කිරීම, අපරාධයක වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහාය සැලසීම, වන්දි ප්‍රදානය කිරීම, නියමු උපදේශන නිකුත් කිරීම හා  අධීක්ෂණය දැක්විය හැකියි.

වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට යම් ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නම් වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ අධිකාරියට, පොලිස් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශයට, අල්ලස් හෝ දුෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිෂන් සභාවට,පරීක්ෂණ කොමිෂන් සභාවකට,යම් පොලීසියක පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කළ හැකියි.
තොරතුරු හා උපකාර ලබා ගත හැකි අධිකාරියේ හා පොලිස් කොට්ඨාශයේ තොරතුරු පහත පරිදි වේ.
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය –
හදිසි ඇමතුම් අංකය – 1985
දුරකථන අංකය – 0112866452
ලිපිනය – පළමු මහල , 428/11 ඒ, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල
පොලිස් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය –
දුරකථන අංකය – 0112326314
ලිපිනය – නො. 09, මිහිදු මාවත, කොළඹ 12

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න